Opinion

නන්දිකඩාල් කලපුවේදී ඇසුණු නැසුණු ගී

Summary

කිසිවකුත් නොමැති හිස් සුන්දර කලපු දියමත නැගීසිටින සොල්දාදුවා සහ තුවක්කුව ගෙදර යවා ප්‍රජාවක් එක්ව එසවූ ජාතික ධජයක් එම ස්ථානයේ ඉදි කිරීමට තරම් පුළුල් දැක්මක් අප කවදා නිර්මාණය කරගමුද?
නන්දිකඩල් කලපුවේ ඇතිවූ යුද්ධයේ දී ජයගත්තේ කවුරුන්ද?
එම යුද්ධය අවසන් කල පසු ඉදිකළ සමාරකය අපට කියන පණිවිඩය කුමක්ද?
තවත් වසර ගණනකට පසු එම ස්ථානය පසුකරගෙන යන යුද්ධයේ කිසිඳු මතක සටහනකුදු නොමැති දරුවෙක්ට එම ස්මාරකය පිළිබඳව අප පවසන්නේ කෙසේද?

පසුගිය සතියේ බොහෝ කලකට පසු උතුරේ ගම්මාන වලට යාමට මට අවකාශ ලැබිණි. ඒ මා විසින් අලුතින් හදුන්වාදෙනු ලබන මූල්‍ය උපදේශන සේවාවක් පිළිබඳව සමූපකාර සංවිධාන සහ නිලධාරීන් දැනුවත් කිරීමටය. නොවැම්බර් 1 වෙනිදා යාපනයේ වැඩ අවසන් කර දෙවෙනිදා පාන්දර අප යාපනයෙන් පිට වුනෙමු..

අප ගමන් කරමින් සිටියේ ඕමන්තේ සිට මුලතිවු නගරය දෙසටය. අතිශයින් සුන්දර පරිසර පද්ධතියකින් යුතු එම ගමන් තීරුවේ ඇති කුඩා කඩමන්ඩි වල ලියැවී ඇති නම් අපගේ ජීවිතය තුලට ඇතුල්ව තුබුණේ අති බිහිසුණු යුධ සමයක මතක සටහන් ලෙසය. එහෙත් හිරු රැස් වැදී රන් පැහැයෙන් දිලිසෙන කලපු ජලය., තැන තැන නිදහසේ පෙලට සිට හිරු තපින දිය කාවුන්, කලාවකට අඩි තබමින් ගමන් කරන විවිධ වර්ගයේ කොක්කුන් සහ උදෑසන තැන තැන ඉඩහිටක පසුවෙන නිවෙසකින් නැගී එන දුම් රොටුවක් පරිසරයට එවන් යුධ සමයක් අමතක කරන සුන්දර නිදහස් සෞම්‍ය භාවයක් ගෙනවිත් තිබේ.

මුළු ජීවිත කාලයම යුද්ධය සමග ජීවත් වූ, මේ වන විට වසරක පමණ කාලයක් මා සමග රාජකාරි කටයුතු කරන දමිළ තරුණයෙක් වන සේයෝන් සහ අපගේ රියදුරු තිලක් මා සමග ගමන් කරමින් සිටියහ. තවම සම්පූර්ණයෙන් අවධි නොවූ කලපු ජලය සහ කඩොලාන සහිත, ජනාවාසයක් පෙනෙන තෙක් මානයක නැති ප්‍රදේශය පුරා තැවරී ඇත්තේඋදෑසනක ඇතිසුන්දර නැවුම් ශාන්ත භාවයකි.

යුද්දයේ අවසාන බාගයේ මෙම ස්ථානය තෙක් අප පසු කරගෙන පැමිණි සෑම ගමකම නම කොළොඹ සිටි අපට දැනුනේ සතුරාට අයත් අපගේ හමුදාව විසින් අත්පත් කොටගෙන නිදහස් කරගත යුතු ප්‍රදේශ ලෙසිනි. ප්‍රභාකරන් කවරනම් මොහොතක හෝ හමුදා ග්‍රහණයට හසු වූ පසු උතුරටත් දකුණටත් මිනීපෙට්ටි වලින් දරුවන් ආපසු එන යුගය අවසන් වන බැවින් එම යුද්ධය අවසන් වන තෙක් අපි පෙරුම් පිරුවෙමු.

දැන් යුද්ධය අවසන් වී වසර 12ක් ගතවී තිබේ. රටේ සෑම ප්‍රදේශයක මෙන් උතුරේද ඉතා වේගයෙන් එක ස්ථානයකින් තවත් ස්ථානයකට ගමන් කිරීමට හැකි කාර්පට් පාරවල් තිබේ. ඉතා විසාල නවීන ලෙස ඉදි කළ රජයේ ගොඩනැගිලි තිබේ. එහෙත් දකුණේද, උතුරේද අනෙත් සෑම පළාතකමද කුඹුරු පාලුවට ගොසිනි. තරුණයන් රටින් පිටවී යාමට සිහින දකිති.

“මැඩම්..මෙන්න මෙතන තමයි අන්තිම සටන තිබ්බේ!” තිලක් ගේ හඬින් හිස හරවා බලන විට දුටු දසුන මා මවිතයට පත් කළේය.
කිසිවෙකු නොමැති පාලු එහෙත් සුන්දර පරිසරය තුල රන්වන් ආලේප කළ සොල්දාදුවෙකු ගේ ප්‍රතිමාවක් කලපු ජලය මැද පිහිටුවා තිබේ. එක අතකින් ජාතික ධජය සහ අනෙක් අතින් තුවක්කුවක් ඔසවාගෙන ජයග්‍රහනයක සංකේතයක් ලෙස සිටුවා ඇති සොල්දාදුවාගේ එම ස්මාරකය මා රැගෙන ගියේ යුග ගණනාවක් පිටිපසටය.

යුද්දය අවසන් වී මහින්ද රාජපක්ෂ මහතා දෙවෙනි වරට ජනාධිපති කමට පත්වීමට චන්ද රැස්වීම් පවත්වන සමයක සණස ව්‍යාපාරයේ නායකයින් පිරිසක් සමග මහනුවර රජ ගෙදරදී ඔහු සමග රැස්වීමක් පවත්වා අවසන ඔහු සමග දිවා ආහාරයට මගේ පියා, මව සහ අප බැංකුවේ ඉහල නිලධාරීන් දෙදෙනෙක් සමග මම ද සහභාගී වූයෙමි.

උත්සවය අවස්ථාවේ සුදු ළමා සාරියෙන් සහ ජාතික ඇදුමෙන් සැරසී සිංහල බසින් ජාතික ගීය ගයන කිරීමට නුවර දරුවන් පිරිසක් සිටි අතර හිඳගල දෙමල විධයාලයේ දරුවන් ඔවුන්ගේ ක්‍රමයට ඉතා සුන්දර ලෙස සැරසී රටේ නායක තුමා ඉදිරියේ දෙමල බසින් ජාතික ගීය ගායනා කිරීමට නියමිතව තිබුණි. එහෙත් ජනාධිපති තුමාගේ සංවිධායක ලේකම් තුමිය ජාතික ගීය ගායනා විය යුත්තේ සිංහල බසින් පමණක් බව පවසා එය කපා හරින ලදී. උදේ පාන්දර සිට ඉතා සතුටින් උනන්දුවෙන් මේ සඳහා සූදානම්ව සිටි දරුවන් ගේ බරී වූ මුහුණු මගේ සිතේ අදටත් තදින් ලියැවී තිබේ. මම ඔබගේ නායකයා යයි දෙමල බසින් පවසන ජනාධිපති කෙනෙක් සිටින උත්සවයට ඔබට කැමති බසකින් අපේ රටේ සුන්දරකම, එකමුතුකම පිලිබඳ කියවෙන ජාතික ගීය ගයන්න යනුවෙන් පැවසීමට තරම් අපට විවෘත විය නොහැක්කේ මන්ද යන්න මට බරපතල ගැටළුවක් වුයෙන් අහර ගැනීම අවසානයේ ජනාධිපති තුමාගෙන් මම එම ප්‍රශ්නය විමසුවෙමි.

” ඔබතුමා ඉන්න උත්සව වලදී අපි ජාතික ගීය ගායනා කලයුත්තේ සිංහල බසින් පමණද?”
“ජාතික ගීය තියෙන්නේ සිංහලෙන් විතරයි!”
‘ අයි අර ප්‍රභාකරන් තහනම් කරපු සිංහලට පරිවර්තනය කරලා දෙමල ඉස්කෝලවල ගායනා කරපු ශ්‍රී ලංකා තායා සින්දුව”
“එහෙම එකක් නෑ . ඒ අර සංහිදියා කට්ටිය කරපු වැඩක්. කොයි රටේ ද ජාතික ගීත දෙකක් තියෙන්නේ?”
“ඒත් සිංහලෙන් කියද්දී දෙමල මිනිස්සුනට දැනෙන්නේ නැහැනේ මේ එයාලගෙත් රට කියල”
“ඔය මේ උගත් මිනිස්සුන්ට තියෙන ලෙඩක්! මම ඉගනගත්තේ දෙමල්. එයාලටත් පුළුවන් සිංහල ඉගෙන ගන්න . ” ලෙස ඔහු තවදුරටත් තම මතය පැහැදිලි කලේය.
ඒ කාලයේදී සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේ නායකයා ලෙස එතුමා කතා පැවැත්වූ අතර දෙමල බසින් පවා එතුමා කතා පැවැත්වූ බැවින් අපේ රටේ මීලග ප්‍රධාන වැඩසටහන විය යුත්තේ සිංහල දෙමල මුස්ලිම් බර්ගර් මැලේ ලෙස බෙදෙමින් විදේශිකයන් හෝ විදේශගතව සිටින ලාංකිකයන්ගේ අවශ්‍යතා වලට ක්‍රියාත්මක නොවී , එක රටක්, එක ජාතියක් ලෙස ලාංකීය ජාතිය ගොඩනැගීම බව තේරුම් ගැනීමට අමුතුවෙන් විශේෂඥතා ඇති පුද්ගලයන් අවශ්‍ය නැති තරමට පැහැදිලිව තිබුණි.

මෙය සිදු කල යුත්තේ ජාතික ගීය සහ ජාතික කොඩිය වෙනස් කිරීම හෝ නොකිරීම සඳහා තර්ක කරමින් හෝ, නොඑසේ නම් ත්‍රස්තවාදීන් දේශපාලන නායකයන් කිරීමෙන් හෝ , ජනාධිපතිතුමා දෙමල බසින් කතා කිරීමෙන් හෝ නොව මවුවරුන් මවුවරුන් ලෙස, දරුවන් දරුවන් ලෙස, තරුණ පුතුන් තරුණ දියණි වරුන් ජාතියේ සම්පත් ලෙස හදුනාගෙන ප්‍රජාවක් ශක්තිමත් කිරීමෙන් පමණක් බවත් එය ස්වදේශික ආර්ථිකයක් සහ ඉන්න හිතෙන රටක් ගොඩ නගා ගැනීම සදහා යන සුන්දර ගමනක් ලෙසත් මම සිතා සිටියෙමි.

යුද්ධය අවසන් වී වරින් වර බැංකු කටයුතු සඳහා උතුරට යන අවස්ථාවල උතුරේ නගර ගොඩ නැගෙන අයුරු, යුද්ධය නිසා විනාශ වූ පාසැල් නැවත වඩාත් ආකර්ශනීය ලෙස ගොඩ නැගී ඇති අයුරු දුටු අතර උතුරේ ජන ජීවිතය යථා තත්වයට පත් වෙමින් එන අයුරු සතුටින් අත් වින්දෙමි. 2002 වසරේ කෙයාර් ආයතනයේ කෙටි කාලයක් රැකියාව කරන වකවානුවේ පුදුකුඩුඉරිප්පු එල් ටී ටී පාලනය යටතේ පැවති සමයක එම ප්‍රදේශ වල ට යාමට මට හැකිවූ අතර එකල එම ප්‍රදේශවල පැවති දුප්පත්කම සහ දැඩි පාලනය වෙනුවට 2009 පසු, ව්‍යවසායක අවස්ථා සහ නිදහස ඇති වීමෙන් උතුරේ ජන ජීවිතය සතුටු දායක වී ඇතැයිද නැවත යුද්ධයක් ඇති නොවන ලෙස අපට රට ගොඩ නගා ගත හැකි වනු ඇතැයිද මම සිතුවෙමි.

එහෙත් යුද්ධය අවසන් වී වසර දොළහක් ගතවී තිබුනද අප තවම යුද්ධය පිළිබඳව මිස සාමය පිළිබඳව, ශ්‍රී ලාංකීය ජාතියක් පිළිබඳව කතිකාවක් නිසි ලෙස අරඹා නැත. යුද්ධයක් අමතක කල හැක්කේ යුද්ධය පිලිබඳ කතා කරමින් යුද්ධයෙන් මිය ගියවුන් සමරමින් ඔවුන් වෙනුවෙන් ගල් පිළිම සදමින් නොව, ඔවුන් මිය ගියේ අප සැමට ජීවත් වීමට රටක් ලබා දීමට බව තේරුම් ගැනීමෙන් සහ ඒ සඳහා ක්‍රියාත්මක වීමෙනි. යුද්දය නිසා තම අදරනීයයන් අහිමි වූවන්ට ස්තුති කල යුත්තේ නැවත එකම රටක මිනිසුන් පිරිසක් ඔවුනොවුන් මරා ගැනීමට ඔසවන අවි බිම තැබීමට උදවු කිරීමෙනි. ඔවුන් බේරා දුන් ගොවි බිම් වගා කර ගෝලීය ආර්ථිකයේ සරණාගත බවයෙන් නිදහස් වීමෙනි. සමාජ මාධ්‍ය ඔස්සේ ජාති වාදය වපුරන බොරු සිංහලයන් සහ විදේශ ගතව ජාතිවාදය වපුරන “ශ්‍රී ලංකික දෙමල ” කණ්ඩායම් පෝෂණය කරන විෂබීජ නිසා මිය යන්නේ අපේ රටේ අහිංසක දෙමවුපියන්ගේ වටිනාම සම්පත්ය.

කිසිවකුත් නොමැති හිස් සුන්දර කලපු දියමත නැගීසිටින සොල්දාදුවා සහ තුවක්කුව ගෙදර යවා ප්‍රජාවක් එක්ව එසවූ ජාතික ධජයක් එම ස්ථානයේ ඉදි කිරීමට තරම් පුළුල් දැක්මක් අප කවදා නිර්මාණය කරගමුද?
නන්දිකඩල් කලපුවේ ඇතිවූ යුද්ධයේ දී ජයගත්තේ කවුරුන්ද?
එම යුද්ධය අවසන් කල පසු ඉදිකළ සමාරකය අපට කියන පණිවිඩය කුමක්ද?
තවත් වසර ගණනකට පසු එම ස්ථානය පසුකරගෙන යන යුද්ධයේ කිසිඳු මතක සටහනකුදු නොමැති දරුවෙක්ට එම ස්මාරකය පිළිබඳව අප පවසන්නේ කෙසේද?

නන්දිකඩල් කලපුවේදී මෙන්ම වසර ගණනාවක යුද්ධයකදී ජීවිත අහිමිවූ යුධ සෙබළුන් සහ ජාතිවාදියෙක් පසුපස ගොස් ජාතික අනන්‍යතාවයට හිමිකම් නැති කරගත් දෙමල ප්‍රජාවක් පිළිබද ඇති වූ වචන වලින් පැවසිය නොහැකි ශෝකය සහ හිස් බව විසින් බොහෝ දුරක් යනතුරු මගේ සිත නතර කළ බවක් මට දැනුනි.

සාමදානි කිරිවන්දෙණීය

Leave a Reply

Your email address will not be published.