Opinion

නාට්‍යකාරයන්ට නවීන විද්‍යාව එක්ක හැප්පෙන්න බෑ

Summary

පීසීආර් සහ ඇන්ටිජන් කියන්නේ ඉතා දක්ෂ නාට්‍යකරුවෙකු අධ්‍යක්ෂණය කරන ලද නාට්‍ය දෙකක්.

මේකෙන් ලොකු නාට්‍ය පීසීආර්. උප නාට්‍ය ඇන්ටිජන්.

  • Save

මේ දවස්වල අලුතින් නාට්‍යයක් එහෙම කරන්නෙ නැද්ද?’

පුරුද්දට වගේ සමහර යාළුවෝ එහෙම අහනවා.

මං ඉතින් කියනවා.

‘තාම නං අදහසක් නෑ’

ඒත් මගෙ  හිතෙන් මෙහෙම උත්තරයක් මතුවෙනවා.

‘මේ දවස්වල ලොකූ නාට්‍ය දෙකක් දුවනවා. ඒ දෙක  අනිත් නාට්‍ය සේරම යට කරගෙන. ඒ නිසා  පොඩි පොඩි නාට්‍යවලට ඉඩ නෑ’

ඒ හිතේ මතුවෙන අදහස මං කටින් කියන්නෙ නෑ. ඒත් මට නාට්‍යකාරයෙක් හැටියට හොඳටම දැනෙනවා 

‘පීසීආර් සහ ඇන්ටිජන් කියන්නේ ඉතා දක්ෂ නාට්‍යකරුවෙකු අධ්‍යක්ෂණය කරන ලද නාට්‍ය දෙකක් බව’

මේකෙන් ලොකු නාට්‍ය පීසීආර්. උප නාට්‍ය ඇන්ටිජන්.

පීසීආර් නාට්‍යය කොච්චර දක්ෂ විදිහට අධ්‍යක්ෂණය කරලා තියෙනවද කියනවා නම් හැම දෙයක්ම නාට්‍ය වගේ දකින්න හදන මා වගේ  කෙනෙකුට හැරෙන්න වෙන කෙනෙකුට කවදාවත් මේක නාට්‍යයක් කියලා හිතෙන්නෙ නෑ.පීසීආර් නාට්‍යය සාර්ථකව රඟදැක්වෙන කොට ඒක තවත් ශක්තිමත් කරන්න ගෙනාව නාට්‍යය තමයි ඇන්ටිජන්. ඇන්ටිජන් නිසා පීසීආර් ශක්තිමත් වෙනවා. පීසීආර් නිසා ඇන්ටිජන් ශක්තිමත් වෙනවා. 

දෙකම ශක්තිමත් නිසා වෙන කිසිම නාට්‍යයකට ඉඩක් නෑ. අද වෙන කිසිම නාට්‍යයකට ඉඩක් නැතිව ලෝකය පුරා ම රග දැක්වෙන එකම නාට්‍ය දෙක මේ දෙක.

නාට්‍යයකින් ලැබෙන සියලුම ආනන්දය පීසීආර් නාට්‍යයෙන් ලැබෙනවා. ඒකයි මං කියන්නෙ මේක ඉතාම දක්ෂ රචනයක් කියලා. නාට්‍යයක තියෙන එක ලස්සනක් තමයි මොකක්ද කියලා හරියට තේරුම් ගන්න බැරි එක.  නාට්‍යයක් කියන්නෙ ඇත්තත් නොවෙයි. ඇත්ත නොවෙන්නෙත් නොවෙයි. නාට්‍යය කියන්නෙ ජීවිතයත් නොවෙයි ජීවිතය නොවෙන්නෙත් නොවෙයි. ඒක පීසීආර් එකේ හොඳටම තියෙනවා.

අනිත් එක නාට්‍යයක තියෙන කරුණ තමයි ඊළගට මොනවා වෙයිද කියලා හිතාගන්න බැරි එක. ඒකට ගැටුම කියලත් කියනවා. කොයි පැත්තට පෙරලෙයි ද කියලා හිතාගන්න බැරි එක. පර්වත මුදුනක තියෙන ගල් කුට්ටියක් වගේ. පීසීආර් එකේ ඒකත් තියෙනවා. කොයි පැත්තට පෙරලෙයි ද කියලා හිතාගන්න බෑ. 

පීසීආර් එක එකවර ජීවිතය හා මරණය කියන දෙකම දෙනවා. නාට්‍යයත් එහෙමයි. ෂේක්ස්පියර්ගෙ නාට්‍යයත් එහෙමයි. ජීවිතය හා මරණය දෙකම එකවර දෙනවා. පීසීආර් එක ඊටත් වඩා හොඳට ඒක කරනවා. පීසීආර් එකෙන් හරියට මොකුත් කියන්නෙ නෑ. ඒ කියන්නේ කිසිම රෝග ලක්ෂණයක් නෑ. සාමාන්‍ය මනුස්සයෙකුටත් වඩා නිරෝගී කෙනා පීසීආර් එකෙන් පොසිටිව් වෙනවා. ඒ කියන්නේ කොරෝනා කියලා කියනවා. මෙතනත් නාට්‍යමය ආතතියක් තියෙනවා. මරණීය රෝගයක් බව කියනවා. ඒත් හෙම්බිරිස්සාවක්වත් නෑ. එහෙම නාට්‍යයක් එක්ක අපි හැප්පෙන්නෙ කොහොමද? 

අනිත් එක ඒ කතාව කියන්නෙත් නිකම්ම නෙමෙයි. මේ අදහ ගන්නත් අමාරු, පියවි සිහියෙන් අදහගන්නත් අමාරු කතාව කියන්නෙ නිකං නෙවෙයි. සම්පූර්ණ නවීන විද්‍යාවම පසුබිමින් තියාගෙන. ලෝකයේ අපි දන්න වටිනාම දේ වන, අපි වැඩියෙන් ම විශ්වාස හා අගය කරන දේවන, දෙවියන්ට වඩා අප විශ්වාස කරන එකම දේ වන නවීන විද්‍යාව අපිට කියනවා කිසිම රෝග ලක්ෂණයක් නැතිව ඔයාට මරණීය ලෙඩක් තියෙනවා කියලා. මීට වඩා නාට්‍ය කොහෙද තියෙන්නෙ? අපි මැරෙන්නෙ යනවා කිසිම රෝග ලක්ෂණයක්වත් නැතිව.මීට වඩා නාට්‍යයක් හිතාගන්නත් පුළුවන්ද?

පීසීආර් කියන්නෙ දැවැන්ත පසුතල හා දැවැන්ත කොස්ටියුම් එක්ක කරන නාට්‍යයක්. පීසීආර් පරීක්ෂණ කරන්න එන අය ඇදගෙන එන්නෙ මාර ඇදුම්. නාට්‍යවලවත් ඒ වගේ කොස්ටියුම් නැහැ. ඔවුන් ඒ චරිතය රගදැක්වීමේ දක්වන සීරියස් භාවය කිසිම නළුවෙකුට කරන්න බෑ. ඒකට හේතුව හිතාගත්ත මරණ බයකට වඩා ඇත්තම මරණ බයකින් ඔවුන් එය කිරීම. කොස්ටියුම් එකට වඩා දෙයක් නාට්‍යය වෙනුවෙන් ඔවුන්ගේ හිතේ ඇතිව තිබෙන හැගීම් මගින් කෙරෙනවා. මං මේ කියන්නේ පීසීආර් පරීක්ෂණය කරන්න එන අය ගැන.ඒ අය නළුවෝ කියලා මං කියන්නෙ නෑ. ඒත් එතන තියෙන නාට්‍යමය ස්වරූපය වෙන කිසිම නාට්‍යයකට වඩා වැඩියි කියලයි මං කියන්නෙ. ඒ සියල්ල ම හරියටම අධ්‍යක්ෂණය කරලා තියෙනවා.

අනිත් ඒක නාට්‍යයේ නම. මෙහෙම නමක් නාට්‍යයකට තිබිලා ම නෑ. නම විතරයි දන්නෙ. තේරුම දන්නෙත් නෑ. ඒ නිසා ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් හිතාගන්න පුළුවන්. අනිත් එක රිද්මය. ඒබීසී කියන කොට රිද්මයක් තියෙනවා. ඒත් පීසීආර් කියන කොට තියෙන රිද්මය ඊටත් වඩා ලස්සනයි. ඒබීසී කියන්නේ ගුරු තුනක්. පීසීආර් කියන්නෙත් ගුරු තුනක් ම තමයි. මේ දෙකම භූමි ගණයේ කියලා අහන්නත් ලැබුණා. එතකොට පීසීආර් කියන්නේ ගණ පිහිටුවලා දාපු නමක්. එහෙම නාට්‍ය ලේසියෙන් අසාර්ථක වෙන්නෙ නෑ. කොච්චර සාර්ථක ද කියනවා නම් අද වෙනකොට අපේ ජීවිතයේ ඒබීසී, පීසීආර් වෙලා තියෙනවා. ඒබීසීවලටත් වඩා පීසීආර් ලස්සනයි.

පීසීආර් එකෙන් කියන්නේ පොසිටිව් හරි නෙගටිව් හරි කියලා විතරයි. ඒත් පොසිට්ව් කිව්වට කොරෝනා හැදිලා කියලා කියන්නෙත් නෑ. රෝග ලක්ෂණ නැතිව කොරෝනා තියෙනවා කියලා කියනවා. ඒ විදිහෙ පොසිටිව් වුණ කෙනෙකුන් තව කෙනෙකුට බෝවෙන්න පුලූවන් ද නැතිනම් රෝගය බෝවෙන්නේ කොයි වගේ කෙනෙකුගෙන් ද ආදී ප්‍රශ්නවලට පීසීආර්වලින් නිශ්චිත උත්තර නෑ. වෙන ක්‍රමවලින් නිශ්චිත උත්තර හොයන්න හදන්නෙත් නෑ.එතන අවිනිශ්චිතතාවක් තියලා තියෙනවා. ඒක කරන්නෙ මේකෙ නාට්‍යමය ගුණය වැඩි කරන්න.

හැබැයි කොහොම වුණත් මේ පීසීආර් හා ඇන්ටිජන් නාට්‍ය පෙන්වන්නේ එන්නත කියන නාට්‍යය එනකං විතරයි. එන්නත කියන නාට්‍යයේ පූර්ව රංගය තමයි පීසීආර්. වෙළද දැන්වීම් භාෂාවෙන් කියනවා නම් ටීසර් එක. ටීසර් කියලා කියන්නෙ ප්‍රධාන දැන්වීම එන්නට පෙර එයට පසුබිම සකස් කරන දැන්වීමට. ඒ කියන්නේ පීසීආර් ඉවර වුණත් නාට්‍ය ඉවර වෙන්නෙ නෑ. එන්නත එනවා. ඒ නාට්‍යය මීටත් වඩා රසවත් වන ලකුණු දැන්ම පහළ වෙලා තියෙනවා. ඒ කියන්නෙ අපට තවත් සෑහෙන කාලයකට නාට්‍ය කරන්න වෙන්නෙ නෑ. 

නවීන විද්‍යාව දැන් නාට්‍යවලටත් තියෙන තැන අරගෙන ඉවරයි. දැන් නාට්‍ය කරන්නෙත් නවීන විද්‍යාව විසින්. 

නවීන විද්‍යාව එක්ක අපට හැප්පෙන්න බෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap