Opinion

නාථ දෙවියන් හමු වීමි

Summary

“දැන් දෙය්යො, අපේ රටේ ආණ්ඩු කරන්නෙ ඔහේනෙ. ඉතිං මම මේ ප්‍රශ්න වගයකට උත්තර හොයන්න ආවේ”

මම නාථ දෙවියන් මුණ ගැසීමට ගියෙමි. ඔහුගේ මන්දිරයේ ගේට්ටුවේ ‘නිරෝධායනය කළ නිවසකි’ යනුවෙන් පුවරැවක් එල්ලා තිබිණි. ඒ අතරෙ ජනෙල් රෙද්ද අස්සෙන් හොරෙන් එබී බලන දෙවියන් දුටිමි.

“මොකෝ ලැජ්ජ වෙලා? එන්නකො පොඩ්ඩක් කතා කරන්න” හැංගි හොරා කෙළින දෙවියන්ගෙන් මම ඉල්ලා සිටියෙමි.

කේ.95 මාස්ක් එකක් පැළඳි නාථ දෙවියෝ මා ඉදිරියේ මීටර් දෙකක් එහායින් ප්‍රාදූර්භූත වූහ.

“මේ මොකෝ මළ කෝළම්. දෙය්යන්ටත් කෝවිඩ් හැදෙනවද?” මම ඇසුවෙමි.

“මම අනාථ වෙලා ඕයි ඉන්නෙ” නාථ දෙවියෝ කීහ.

“ඇයි දෙය්යො?”

“මම මාස්ක් එකක් දාගෙන ඉන්නෙ වෙස්වලා ගන්න. අර ජයසුමනයයි නලීනුයි කරන වැඩ වලට මම කොහොමද ඕයි රෙද්දක් ඇඳන් පාරෙ යන්නෙ” දෙය්යෝ කන්කෙඳිරි ගාන්නට වූහ.

“ඉතිං අහවල් එකකටද පාරෙ යන්නෙ? යන්නකො එර්දියෙන්”

“දෙවියො කොහොමත් යන්නෙ එර්දියෙන් තමයි මිනිහො. ඒත් අහුවුණු අහුවුණු තැන් වල අනිත් දෙය්යො මාව බයිට් කරනවා ඕයි. ලඟදි දවසක් මම වඩිද්දි එකෙක් කියපි ‘නාථ ද සිල්වා’ කියලා. ලැජ්ජාවෙ බෑ බං. තව ඩිංගෙන් මම එර්දියත් නැතුව ගිහිල්ලා උඹලගෙ ලෝකෙටම වැටෙනවා” දෙවියො වූ අකරතැබ්බ විස්තර කරන්නට වන්හ.

“අනේ දෙය්යො කොහේට වැටුණත් කමක් නෑ ලංකාවට නම් වැටෙන්න එපා. නලීනුයි ජයසුමනයි අපිට දෙන ආතල් හොඳටම ඇති. ඒ අස්සට ඔයත් ආවොත් අපිට දරා ගන්න බැරි වෙයි”

“හරි දැන් කියනවකො තමුසෙ මොකද මෙහේ?” දෙවියො කතාවට බැස්සා.

“දැන් දෙය්යො, අපේ රටේ ආණ්ඩු කරන්නෙ ඔහේනෙ. ඉතිං මම මේ ප්‍රශ්න වගයකට උත්තර හොයන්න ආවේ”

“මට මුලින්ම පැහැදිලි කිරීමක් කරන්න ඕන. උඹලගෙ ආණ්ඩුව පත් කළේ හැට නව ලක්ෂයක් නරයෝ. මම කළේ ඒ ආණ්ඩුවේ වැඩ බලන්න ෂැඩෝ ගවර්මන්ට් එකක් දාපු එක විතරයි” දෙය්යො සීරියස් වුණා.

“හරි. මහර බන්ධනාගාරයේ වුණු මිනී මැරැම් සොයා බලන්න පත් කළ කොමිසම කියනවා සිරකරැවො සාධාරණයිලු. මොකක්ද මේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නෙ?” මම දෙවියන් ගෙන් ඇසීමි.

“ආණ්ඩුව පත් කරපු කොමිසන් කවදද ඕයි ඇත්ත කිව්වේ? මේකත් ඒ වගේම තමයි” මට දෙවියන් සිහි විණි.

“එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්න ඇති වුණේ කොහොමද?”

“ලංකාවෙ වෙලත් නන්දා මාලනීගෙ ‘කුමට එරට අධිකරණය හා විනිසුරන්?’ සිංදුව අහලා නැද්ද? ඔය සිංදුව අහලා කළකිරැණු නීතියෙ දෙවඟන සිය දිවි හානි කර ගන්න කරපු උත්සාහයක් තමයි ඒ ගින්න” නාථ කීය.

“එතකොට බාස් පැණියෙන් කොවිඩ් හොඳ වෙයිද?”

“ඒක අපි විද්‍යාත්මකව ඔප්පු කරන්න හදන්නෙ. (මේකට ‘කාලි’ත් සම්බන්ධ හින්දා මටත් පොඩි ඩවුට් එකක් තියෙනවා) ඕනම බෙහෙතක මුලින්ම කරන්නෙ ඇනිමල් ටෙස්ටින්නෙ. ඒ හින්දා මුලින්ම උඹලගෙ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරැ ටිකකට දුන්නා. ඔය සත්තු ටික තාම පණපිටින් ඉන්නෙ. ඊළඟට එන්නෙ මාස් ටෙස්ටින්. දැන් ඔය බීපු බීපු එවුන්ට ප්‍රතිපඵල ලැබෙන්නෙ”

“ධම්මික බණ්ඩාර අනුරාධපුරේදි පිස්සු නැටුවෙ ඇයි?”

“ඕවා මට තේරෙන්නෙ නෑ. නලින්ගෙන්ම අහගන්නවා”

“ඔහේගෙ ගෝලයා නලින් කියනවා පාඨලී ෆැසිස්ට්ලු”

“මිනිහා බොරැ නොකියන සමහර වෙලාවට ඇත්තත් කියනවා”

“මෙන්න මගෙ අවසාන ප්‍රශ්නය. ආණ්ඩුව කොහොමද කොවිඩ් මර්දනය කරන්නෙ?”

“තමුසෙලගෙ සෞඛ්‍ය ඇමති දේවිය කොච්චර ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්නවද බලනවකො. මුලින් හට්ටියක් ගඟට දැම්මා. ඊළඟට මුහුදට බිලි වෙන්න හැදුවා. අන්තිමට පැණියත් බිව්වා. ඒ ගෑණිට පොඩ්ඩක් පාඩුවෙ ඉන්න ඉඩ දෙනවකො. එයත් මනුස්සයෙක්නෙ” දෙවියෝ ගෝරණාඩු කරන්නට වන්හ.

“එතකොට වැක්සීන්?”

“තමුසෙ අන්තිම ප්‍රශ්නෙ අහලා ඉවර කළානෙ”

මේ රජයත් නාථ දෙවියනුත් අතර ඇති අනුලෝම ප්‍රතිලෝම සම්බන්ධය වටහා ගත් මම විමානයෙන් නික්මුනෙමි.

මා නිවසට පැමිණෙන විට දෙවියන් මට වට්ස්ඇප් පණිවිඩයක් එවා තිබිණි. “තමුසෙට මාව හම්බුණා කියලා අරැන් දෙන්නට නම් කියන්න එපා දෙය්යො”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *