COLUMN

‘නැෂනල් එකේ’ අර්බුදය !

Summary

සිංහල සමාජයේ පවුල් පරිසර තුළ මෙවැනි අදහස් නිතර කියැ වේ. මෙයින් සංඥා කිරීමට උත්සාහ කෙරෙන්නේ සුද්දන් විසින් මෙරටට හඳුන්වා දෙන ලද බටහිර සංස්කෘතියට එරෙහි ස්වදේශික චින්තනය කෙරෙහි තිබෙන නාම මාත්‍රික ගරුත්වයකි.

‘ඔය වගේ උත්සවේකට නං ටයිකෝට් අඳින්න හිතන්නවත් එපා. ‘නැෂනල් එකක්’ ඇඳන් යන්න’

සිංහල සමාජයේ පවුල් පරිසර තුළ මෙවැනි අදහස් නිතර කියැ වේ. මෙයින් සංඥා කිරීමට උත්සාහ කෙරෙන්නේ සුද්දන් විසින් මෙරටට හඳුන්වා දෙන ලද බටහිර සංස්කෘතියට එරෙහි ස්වදේශික චින්තනය කෙරෙහි තිබෙන නාම මාත්‍රික ගරුත්වයකි.

මෙරට බොහෝ දේශපාලුවෝ අදටත් පොදු අවස්ථාවලට සහභාගි වීමේදී මේ ‘නැෂනල් එක’ යනුවෙන් හඳුන්වනු ලබන ඇඳුම අඳින්නට පුරුදු වී සිටිති. 1950, 60 දශකවල ටයිකෝට් ඇඳ ජාතික දේශපාලනයේ කටයුතු කළ අංගලකාමී ධනේශ්වර සමාජයේ, උපන් කෛරාටිකයෙකු වන ජේ.ආර්. ජයවර්ධන පසුකාලීන ව සැරසී සිටියේ ද මෙලෙසිනි.

නූතන ලාංකික රොබර් බැරන් කෙනෙකු සේ සැලකිය හැකි රවි කරුණානායක ද, මුදල් ඇමති ධුරය දරා සිටි කාලයේ ටයිකෝට් අතහැර ‘නැෂනල් එකට’ බසිමින් අයවැය වාර්තාව ඉදිරිපත් කළේ ය.

ස්වදේශික මානසිකත්වය උදෙසා නිර්මාණය කර ගන්නා ලද ඇඳුමක් මෙලෙස ‘නැෂනල් එක’ වන්නට ඇත්තේ කෙසේ ද? ‘නැෂනල් එකේ’ තරම වටහා ගන්නට නම්, අවම වශයෙන් National වර්ගයේ වෙළෙඳ භාණ්ඩ වැනි දේ පිළිබඳ ව අවධානය යොමු කළ යුතු ය.

ඉංග්‍රීසි පන්නයට ‘නැෂනල් එක’ නමින් ප්‍රකට සුදු රෙද්දෙන් මසනු ලබන මේ ‘රෙද්ද සහ බැනියම’ සමාජයට හුරු කරන ලද්දේ 20වැනි සියවසේ මුල්භාගයේ ජාතික නිදහස පිළිබඳ මතවාද රට තුළ ප්‍රචලිත වුණු අවධියේ ය.

ජාතික මනස නිර්මාණය කිරීමේ උදාර අරමුණුසහගත ව දියත් කරන ලද ‘ජාතික ඇඳුම් ව්‍යාපාරය’ පසුකාලීන ව දේශපාලන ලෝකයේ මහා පෙරළියක් ඇති කළේ ය. එය මුල් කාලයේ ම මහාචාර්ය ගුණපාල මලලසේකර, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර වැන්නන් ගේ පිළිගැනීමට ලක් වී, ‘හෙළ හවුල’, වාමාංශික ව්‍යාපාරය ඔස්සේ සාහිත්‍යවේදීන්, කලාකරුවන්, රජයේ සේවකයන්, ගුරුවරුන්, වෙද මහත්වරුන් අතර සමාජ රැල්ලක් බවට පත් වී ගියේ ය.

එහි ප්‍රධාන නියමුවෙකු වූයේ බ්‍රිතාන්‍යයේ, ඔක්ස්පර්ඩ් විශ්වවිද්‍යාලයේ උගෙන ලංකාවට පැමිණ ජාතික දේශපාලනයේ නිරත වෙමින් සිටි එස්.ඩ්බ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ය. එතුමන් ගේ සහ සිරිමා බණ්ඩාරනායක ගේ මංගල පින්තූරය ද ස්වදේශික සම්ප්‍රදායෙන් යුක්ත වූවකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දුන් ‘පංච මහා බලවේගය’ නියෝජනය කළ සඟ පරපුර හැර, වෙද, ගුරු, ගොවි, කම්කරු ආදි සෙසු සියල්ලෝ ද, ජාතික ඇඳුම තෝරා ගත් හ. 1956 බණ්ඩාරනායක ආණ්ඩුවේ කැබිනෙට්ටුවට ටයිකෝට්කාරයන් සිටියේ ද එක් අයෙකි.

එසේ ද වුවත්, බණ්ඩාරනායක වරක් ජාතිය අමතමින් මෙසේ කීවේ ය.

‘මං තමුන්නාන්සේලා ගෙන් සමාව ඉල්ලා සිටිනවා මට හොඳින් සිංහල භාෂාවෙන් කතා කිරීමට නො හැකි වීම ගැන. කාලයක් විදේශගත ව සිටි නිසයි එහෙම වුණේ. නමුත් මං තමුන්නාන්සේලාට පැහැදිලි ව කියනවා මගේ හදවත ලාංකිකයි.’

ජනතාවට එසේ කීව ද එතුමන් නිවස තුළ බොහෝ විට සිට ඇත්තේ බටහිර ඇඳුමෙන් සැරසී ගෙන ය.

පොදුජන සමාජයේ පිළිගැනීමට ලක් වූ ‘ජාතික ඇඳුම’ පසුව ‘නැෂනල් එක’ වන්නට ඇත්තේ විවිධාකාර පුද්ගලයන් ගේ මෙවැනි දෙපිටකාට්ටු වැඩ නිසා ය.

‘ජාතික ඇඳුම’ කවර හෝ හේතුවක් නිසා ‘නැෂනල් එක’ යනුවෙන් හැඳින්වීම, නිදහස් චතුරස්‍රය ‘ටොරින්ටන් එක’ යනුවෙන් හඳුන්වන ආකාරයේ ම කුණුහරුපයක් බව කිය මනා ය.

මෙහි ලා අප තේරුම් ගත යුතු වන්නේ රට, ජාතිය වනසන බොහෝ තක්කඩි දේශපාලුවන් සමාජයට පෙනෙන ලෙස ‘ජාතික ඇඳුම’ ඇඳ සිටිය ද, ඔවුන් මනසින් ඇඳ සිටින්නේ ‘නැෂනල් එක’ බව ය.

‘සුදුරෙදි හොරා’, ‘සුහද කොකා’ යනු ඔවුහු ය.

KL/2022/05/29@gotagohome

Leave a Reply

Your email address will not be published. Required fields are marked *