Opinion

නිර්මාංශිකයන්ට රටක් කල හැකිද?

Summary

විශාල කිරි කර්මාන්තයක් තිබෙන ඕනෑම රටක ඊට අනුබද්ධිත විශාල හරක් මස් කර්මාන්තයක්ද තිබේ. සුදු ක්‍රිස්තියානි ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය මෙන්ම දුඹුරු හින්දු ඉන්දියාව සම්බන්ධයෙන්ද මේ කරුණ සත්‍යයය.

පසුගිය දවසක ලංකාවේ විශාල මස් කර්මාන්ත ශාලාවක් විවෘත කල බව දැන්  ප්‍රසිද්ධය  . මේ ගැන වැඩිදුර තොරතුරු කිසිත් මා දන්නේ නැත. ඇතැම් විට මෙය මේ ආණ්ඩුවේ ව්‍යාපෘතියක් විය හැක. නැතහොත් පසුගිය ආණ්ඩුව පටන් ගත් ව්‍යාපෘතියක් සම්පූර්ණ කොට විවෘත කිරීමක් විය හැක. ඇතැම් විට මෙහි මස් සැකසෙන්නේ පිටරටට අපනයන කිරීම උදෙසා විය හැක. නැතහොත් ඒවා රට තුල පරිභෝජනය සඳහා සැකසෙනවා     විය හැක.  මෙහි සැකසෙන්නේ කුමන වර්ගයක මස් ද යන්නත් මා දන්නේ නැත. මෙහි වියදම , අපේක්ෂිත ආදායම සහ මීට සම්බන්ධ මුදල් ගනුදෙනු ගැන කිසිත් දන්නේත් නැත.

දැන් විපක්ෂය සහ ඊට අනුබද්ධිත යයි සැලකිය හැකි ඇතැම් කොටස් වෙතින් මීට යම්  විරෝධයක් ගොනු වෙමින් තිබේ. එහි මූලිකත්වය ගෙන තිබෙනු දකින්නට ඇත්තේ ආණ්ඩුවේ නොවන භික්ෂූන් වහන්සේ කීප පොළකි.

බුදු හාමුදුරුවන් මස් මාංශ අනුභවය ගැන දේශනා කොට ඇති දේ පිලිබඳ වාද කිරීම දීර්ඝ වෙහෙසකර එමෙන්ම අනවශ්‍ය කටයුත්තකි. මෙය ඇත්තටම බුදු දහම පිලිබඳ ගැඹුරු ධර්ම කාරණාවක් නොව යම් පුද්ගලයකු යම් අදහසක් ග්‍රහණය කර ගන්නේ කෙසේද යන්න පිලිබඳ කාරණයකි.  බුදු දහමේ මස් මාංශ පරිභෝජනය පිලිබඳ විනිශ්චයකාරි අදහසක් නැත.

බුදු දහම රාජ්‍යකට බලපෑ හැකි විවිධාකාර විධි තිබෙයි. මේ බොහෝ විධි වලින් එය ලංකා රාජ්‍යයටද ( ලංකාව සහ ලංකාව ලෙස   අද හඳුනාගැනෙන භූමි කලාපයේ අතීත ස්වරූපයන් )  ඇති තරම් බලපා  තිබේ. කෙසේ නමුත් මේ බලපෑම කළමනාකරණය කරගැනීම රාජ්‍යක ශක්තියත් පැවැත්මත් කෙරේ බලපායි. බුදු දහම අපට තිබෙන්නා වූ ශක්තිමත්ම රාජ්‍ය පාලන උපකරණය වෙයි. නමුත් රටේ ආහාර නිෂ්පාදන සහ ආර්ථික ක්‍රියාවලිය තීරණාත්මක ලෙස වෙනස් කිරීමට බුදු දහමේ මූලධර්මයකැයි ඇතැමුන් සිතන යමකට ඉඩ දීම භයානකය. නැවතත් කියන්නේ නම්, මස් මාංශ අනුභව කිරීමට බුදු දහමෙන් තහංචියක් පණවා නැති අතර, යම් හෙයකින් එසේ තිබුනත් රාජ්‍යයක් ලෙස අප එය පිළිපැදිය යුතු නැත.

රට වටා මුහුදු තිබුනද, රට පුරා වැව් තිබුනද ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට පිරිසිදු මත්ස්‍ය ආහාර වේලක් සාධාරණ මිලකට ලබා ගැනීමට කිසිදාක පුළුවන් වුයේ නැත. කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ මත්ස්‍ය වර්ග හැරුණු කල අනෙක් වර්ගයන් කලාතුරකින්  හෝ පරිභෝජනය කිරීම පහල මධ්‍යම පංතියේ පවුලකට පවා අසීරු කටයුත්තක් වී තිබේ. කුඩා දරුවන්ට ගුණදායක යයි සැලකෙන එළු මස් දෙස බැලීමටවත් මේ පංතියේ මිනිසුනට හැකියාවක් නැත. ඌරු මස් ද ලාභ නැත. යම් තරමකින් හෝ ලබා ගත හැකි මිලකට තිබෙන්නේ කුකුළු මස් පමණි.

මීට කලකට ඉහතදී හරක් මස් යනු සාමාන්‍ය දුප්පත් මනුෂ්‍යයාට ඉඳ හිට හෝ දැරිය හැකි මිලකට ගත හැකිව තිබුණු මාංශ වර්ගයයි. පෝෂ්‍ය ගුණය අතින්ද,(හරකා  ස්වභාවයේ පවතින වස විසෙන් තොර දේ අනුභාවයෙන් හැදෙන බැවින් )ගුණාත්මක භාවය අතින්ද,  හරක් මාංශය පිරිපුන් බව අප දනිමු. කෙසේ හෝ පසුගිය දශක එකහමාරක පමණ කාලය තුලදී දුප්පත් මිනිසාට පහසුවෙන් සපයාගත හැකිව තිබුණු මේ එකම මාංශ වර්ගයටත් කන කොකා හඬවනු ලැබිණි. ධර්මපාල තුමා හරක් මස් නොකෑ යුතුයි කිවේ මීට සියවසකටත් එහා පැවති වෙනස්ම කොන්දේසි  ක්‍රියාත්මක වුනු සන්ධර්භයක් තුළදීය. එකල හරක් මාංශ  විරෝධය බලගතු අධිරාජ්‍ය විරෝධී අවියක්ද විය. ධර්මපාල තුමන්ගේ නූතන අදහස්ද , ඔහුගේ දුරදක්නා සුළු ආර්ථික සැලැස්මද තඹ දොයිතුවකට මායිම් නොකර හරක් මාංශ විරෝධය පමණක් ගෙඩි පිටින් ගැනීම විකාරසහගතය. ධර්මපාල  තුමන් ජීවත්ව සිටියදී ඔහුගේ හරක් මාංශ විරෝධයට කෙතරම් අනුමැතියක් ලැබුනේද යන්න පිලිබඳ මට අවබෝධයක් නැත. නමුත් අප කුඩා කලදී නම් මෙවැනි හරක් මස් විරෝධයක් තිබුනේ නැත. හරක් මස් සහ හරක් පීකුදු හොඳින් අනුභව කල අපේ ගෙදර හරක් මසින් තොර වීමට පටන් ගත්තේ ගංගොඩවිල සෝම හිමියන් වැඩි වශයෙන් ජනප්‍රිය වූ අනූව දශකය අග භාගයේදීය.  බොහෝ  බෞද්ධ දේශක වහන්සේලා මේ නූතන හරක් විරෝධය පිටුපස සිටින බව පසුව දක්නට ලැබිණ.

හරක් මැරීම පිලිබඳ කතා කල යුතු අනෙක් කාරණය නම් , ලංකාව කිරි ආහාරයෙන් ස්වයංපෝෂණය කිරීමට නම් ඊට අනුබද්ධ මාංශ කර්මාන්තයක්ද නියත වශයෙන්ම තිබිය යුතුය යන කරුණය. ලංකාව කිරි වලින් ස්වයං පෝෂණය කිරීම කල හැකිය හෝ එසේ කල යුතුය යනුවෙන් මා විශ්වාස නොකරමි. එසේ කළහොත් සිදු වන්නේ අපට අවශ්‍ය වන එම අතිරේකය නිෂ්පාදනය කිරීමට තවත් වන බිම් විශාල ප්‍රමාණයක් එලි පෙහෙළි කිරීමටය. කෙසේ වෙතත් මෙවැනි ජනප්‍රිය ඉල්ලීමක් රටේ පවතින බැවින් යම් ලෙසකින්  හෝ එසේ කල හැක්කේ කෙසේද යන්න සිතා බැලිය යුතුය. විශාල කිරි කර්මාන්තයක් තිබෙන ඕනෑම රටක ඊට අනුබද්ධිත විශාල  හරක් මස් කර්මාන්තයක්ද තිබේ. සුදු ක්‍රිස්තියානි ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය මෙන්ම දුඹුරු හින්දු ඉන්දියාව සම්බන්ධයෙන්ද මේ කරුණ සත්‍යයය. හරකාට දේවත්වයෙන් සලකන ඉන්දියාව ඇතැම් වසර වලදී ලෝකයේ විශාලතම හරක් මස් අපනයන කරුවා වී තිබේ. රතන හාමුදුරුවන් ලංකාව කිරි වලින් ස්වයංපෝෂිත කිරීමට සැරසෙන්නේ මේ කිසිත් නොදැනය.

පිරිසිදු මාංශ වේලක් සාධාරණ මිලකට  තම පුරවැසියන්ට ලබා දීම යම් රටක ආණ්ඩුවක පරම යුතුකමක් ලෙස මා විශ්වාස කරමි. රටේ සාම්ප්‍රදායික ආගමික සංස්ථාව මෙන්ම ඊට තදින් බැඳුනු ජනතාවත් ඉතාම සාහසික ලෙස රවටන අපේ ආණ්ඩු සැමදාම කලේ ඔවුන් කිසිදා පිළිනොපදින ව්‍යාජ සදාචාර නියමයන් ප්‍රදර්ශනාත්මක ලෙස ජනයා මත පැටවීමය. මෙය මස් මාංශ වලට මෙන්ම මත පැන් වලටත් අදාලය.

ගැඹුරින් සලකා බලන විට අප වෙනස් කල යුත්තේ එක් එක් ආණ්ඩු නොව, මේ ව්‍යාජ සාටෝපකාරි ක්‍රමයයි. විපක්ෂය කටයුතු  කල යුත්තේ මස් කර්මාන්ත ශාලාව වැසීමට නොව, එවැනි දේට විරුද්ධව පාලක පක්ෂයේ සමාජ ප්‍රවාහ ඔවුනට බලය නැති කලදී ව්‍යාජ ලෙස පවත්වාගෙන යන  සමාජ බලපෑමට විරුද්ධවයි. බලයට පත් වන කිසිම කෙනෙකුට මේ ව්‍යාජ බෞද්ධ ප්‍රතිපදා පිළිපැදීමට අවශ්‍ය නැත. මේ ආණ්ඩුවේ මස් කඩයට විරුද්ධ වන විපක්ෂය කෙදිනක හෝ බලයට පත් වුවහොත් එදාට ඔවුන් විවෘත කරන මස් කඩයට දැන් ඉන්නා පාලක පක්ෂය මෙවන් සිය ගුණයක බලයෙන් විරුද්ධ වනු ඇත. මෙය කිසිදා නිම නොවන විෂම චක්‍රයකි. අනෙක් අතින් මෙවැනි විප්‍රයෝග වලින් සමනයට පත් කල  හැකි ජනතාවක් පාලනය කිරීම ලෙහෙසි පහසු නැත. බලය ලැබුනද එය අප්‍රසන්න අත් දැකීමක් වනු ඇත. මගේ කල්පනාව නම් බලය ලබා ගැනීමට පෙර යම් ප්‍රමාණයකට හෝ පාලනය කල හැකි ගුණාත්මක රටක් ලබා ගැනීමට විපක්ෂය උත්සාහ  කල යුතු බවයි.

අලුතෙන් විවෘත වූ මස් කර්මාන්ත ශාලාව කෙරේ මගේ ඇත්තේ ප්‍රසාදයකි. ඒ වෙනුවෙන් කාට හෝ වේවා  මගේ ගෞරවය හිමිය…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *