Opinion

නිර්මාල්ගේ වහල් තියරිය

Summary

අපි චීනය ගැන උනන්දු වෙන්න ඕන උන්ගේ “අනුහස් කලාපය” අස්සේ රිංගන්න නම් නෙවෙයි. චීන්නුන්ගෙන් අපිට කඩා වඩා ගන්න පුළුවන් දේවල් මහ ගොඩක් තියෙනවා.

  • Save

අපේ නිර්මාල් මහත්තයා අලුත් තියරියක් ඉදිරිපත් කරලා. මේ සඳහා මූලික වෙච්ච නිරීක්‍ෂණයක් ගැනත් කියලා තමයි එතුමා ඒ වැඩේ කරලා තියෙන්නේ.මෙන්න ඒ නිරීක්‍ෂණය.

“වර්තමාන චීනයට ලෝකය සම්බන්ධයෙන් මහා සැලැස්මක් ඇත.”

ඒ නිරීක්‍ෂණය මත පදනම් වෙලා හදපු තියරිය මේකයි.

“ගෝලීය භූ දේශපාලනය තුළ ඉහළ කේවෙල් කිරීමේ ශක්තියක් අත්පත් කරගැනීමට අවශ්‍ය සෙසු සාධක නොමැති ලංකාවේ ඉරණම තනිකරම ඇත්තේ පරිබාහිර කාරකයින් අතර ය. එනම් චීනය හා චීන ආධිපත්‍යය සමඟ කේවෙල් කිරීමේ හයියක් ඇති, එසේම ලංකාව සම්බන්ධයෙන් අභිලාෂ සහිත සෙසු බලවතුන්ගේ හැසිරීම තුළ ය. සාමාන්‍යයෙන් ජාතික ස්වෛරීභාවය වැනි දේ ගැන උනන්දු වෙනවා නම් චීනයේ අනුහස් කලාපය තුළ සිටිනවාට වඩා බටහිර අනුහස් කලාපය තුළ සිටීම සාපේක්‍ෂව ලංකාව වැනි රටවලට වාසිදායක ය.”

මේ කියන සෙල්ලම වැරදුනොත් “වයිට් හවුස් එක ඉදිරිපිට හෝ ලන්ඩනයේ හෝ ජීනීවාහී හෝ බටහිර ආධිපත්‍යයට විරුද්ධව උද්ඝෝෂණය කිරීමේ හැකියාවක්” අපිට තියෙනවා කියලා නිර්මාල් මහත්තයා කියනවා.

නිර්මාල් මහත්තයා “අනුහස් කලාපය” කියලා කියන්නේ “ආධිපත්‍යය” කියන අර්ථයෙන් වෙන්න පුළුවන්.. තව ටික දවසකින් අපිට ඒක ටක්කෙට ම දැන ගන්න පුළුවන් වේවි.

කොහොම වුනත් අවුරුදු විස්සක් විතර කාලයක් එක දිගට ම චීනය ගැන හොයන කෙනෙක් විදිහට මේ ගැන යමක් කියන්න ඕන කියලා මට හිතෙනවා.
බටහිර රටවලුත් චීනය ගැන හොයනවා. මේ සම්බන්ධ විශේෂඥභාවය ලබාගෙන ඉන්න අයට ඉංග්‍රීසියෙන් කියන්නේ Sinologists කියලා. අදාළ විෂයයට කියන්නේ Sinology කියලා. ඇමෙරිකාවේ, එංගලන්තේ, ජර්මනියේ, ප්‍රංශයේ සහ රුසියාවේ හුඟක් විශ්වවිද්‍යාලවල මේ විෂයය උගන්වනවා. වෙන එකක් තියා මීට අවුරුුදු 1610 කට කලින් අපේ රටට වැඩම කරපු ෆාශියැන් හාමුදුරුවෝ ගැනත්, අපේ රට ගැන ලියපු ශුවාන් ත්සාං හාමුදුරුවෝ ගැනත් අපි දැන ගත්තේ බටහිර Sinologistsලාට පින්සිද්ද වෙන්න.

Sinology විෂයය ඉතිහාසය, සංස්කෘතිය සහ සාහිත්‍ය අධ්‍යයනය කරන්න විතරක් සීමා වෙච්ච එකකුත් නෙවෙයි. චීනයේ සමාජ – ආර්ථික සහ දේශපාලනික කරුණු අධ්‍යයනය කරන එකත් ඒ යටතේ සිද්ද වෙනවා. ඉතින් අදටත් බටහිර ඉන්න Sinologistsලා දවල් රෑ නැතුව චීනයේ හැම රෙද්දක් ගැන ම පර්යේෂණ කරනවා.
මේ විදිහට කරන පර්යේෂණ හින්දා ඒ අයට විශාල ප්‍රතිලාභයකුත් ලැබිලා තියෙනවා. අපේ අයට ඇලර්ජික් වුනාට චීන විශ්වවිද්‍යාලවලට අරක් ගත්ත බටහිර ගුරුවරු සහ ශිෂ්‍යයෝ මහ විශාල ප්‍රමාණයක් ඉන්නවා. චීන අධ්‍යයන කාර්යය වෙනුවෙන් ඒ අය තමන්ගේ ශිෂ්‍යයන්ව පුරුදු පුහුණු කරනවා. ඒ වෙනුවෙන් තමන්ගේ මුදල් වියදම් කරනවා.

මේ විදිහට පුහුණු කරවන සෑහෙන පිරිසක් මම පුද්ගලිකව අඳුරනවා. මාත් එක්ක චීන භාෂාව ඉගෙන ගත්ත ජර්මන් හාදයෙක් ගැන කියන්න පුළුවන්. මාත් එක්ක ඉගෙන ගන්න දවස්වල ඒ ඉලන්දාරියාගේ වයස අවුරුදු 21 යි. අපි දෙන්නා අවුරුුදු දෙකක් එකට ඉගෙන ගත්තා.

විශ්වවිද්‍යාල නිවාඩුවට මම ගෙදර ආවත් මේ හාදයා යන්නේ චීනයේ යුන්නාන් පළාතේ ගමකට. ඒ වෙනුවෙන් ජර්මන් ආණ්ඩුව උදව් කරනවා. ඉතින් ඒ ඉලන්දාරියා ඇටෙන් පොත්තෙන් බේරෙන කාලයේ ඉඳලා ම චීනයේ අහුමුළු ගැන හොයලා බලන වැඩේ කරනවා.
මෙහෙම කරන අධ්‍යයනවලින් බටහිර අය සෑහෙන්න ප්‍රයෝජන ගන්නවා. අපි දන්නේ නැති වුනාට ලෝකයේ තියෙන ලොකුම වෙළෙඳපොළ චීනය කියලා බටහිර අය දන්නවා. හැරී පෝටර් පොතේ ඉංග්‍රීසි පිටපතටත් කලින් වෙළෙඳපොළට දාන්නේ චීන පරිවර්තනය. හුඟක් හොලිවුඩ් චිත්‍රපටි වුනත් එහෙමයි. ඉතින් වෙළෙඳ ව්‍යාපාරික කටයුතු වෙනුවෙනුත් චීනයේ බින්න බැහලා ඉන්න බටහිර මිනිස්සු ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බෑ.

කලින් කියපු විදිහට මමත් එක දිගට ම අවුරුදු විස්සක් විතර චීනය ගැන කරුණු හොයලා තියෙනවා. මම තවමත් ඒ වැඩේ කරනවා. මේ වෙනුවෙන් යම් පමණකට චීන භාෂාව ඉගෙන ගන්නත් මට පුළුවන් වෙලා තියෙනවා. මුල් කාලයේ මම උනන්දු වුනේ චීන භාෂාව, ඉතිහාසය, සංස්කෘතිය සහ සාහිත්‍යය ගැන හොයන්න. ඒත් අපේ රටේ දැන් තියෙන ප්‍රශ්නවලට උත්තර හොයද්දි ඒ දේවල් සෘජුව ම අදාළ කරගන්න අමාරුයි. ඉතින් පහුගිය අවුරුදු දහය තුළ මම එක දිගට ම මහන්සි වෙලා තියෙන්නේ චීනයේ සමාජ – ආර්ථික සහ දේශපාලන කාරණා ගැන හොයන්න.

අපි චීනය ගැන උනන්දු වෙන්න ඕන උන්ගේ “අනුහස් කලාපය” අස්සේ රිංගන්න නම් නෙවෙයි. චීන්නුන්ගෙන් අපිට කඩා වඩා ගන්න පුළුවන් දේවල් මහ ගොඩක් තියෙනවා. මේ දවස්වල “අරුණ” පත්තරයට ලියන “චීන විස්තරය” තීරු ලිපි මාලාවෙන් මම කතා කරන්නේ ග්‍රාම සංවර්ධන කාර්යයේ දී අපිට චීනයෙන් ලබා ගන්න පුළුවන් පාඩම් ගැන. ඒ වගේ ම, පහුගිය සතියේ ඉඳලා “දිවයින” බදාදා අතිරේකයට ලියන ලිපි මාලාවෙන් මම කතා කරන්නේ චීනයේ දේශපාලන පාඩම් ගණනාවක් ගැන.

අපේ ප්‍රශ්න විසඳගන්න මේ දැනුම වැදගත්. අපි මේවා ඉගෙන ගන්න ඕන චීන්නුන්ට වහල්කම් කරන්න නෙවෙයි. ඒ වගේ ම උන්ගේ “අනුහස් කලාපය” අස්සේ රිංගන්නත් නෙවෙයි.

ආර්ථික කාරණා වුනත් එහෙමයි. චීනය කියන්නේ ලෝකයේ තියෙන ලොකුම වෙළෙඳපොළ. ඒ වෙළෙඳපොළට චීන චිත්‍රපටයක් හදලා වික්කත් සෑහෙන ගානක් කඩා වඩා ගන්න අපිට පුළුවන්. කොරියාව වගේ රටවල් මේ කර්මාන්තයට බැහලා සෑහෙන කාලයක්. සාමාන්‍යයෙන් ඩොලර් ලක්‍ෂ 50 ක් විතර වියදම් කරලා එහෙම චිත්‍රපටියක් හැදුවොත් ඩොලර් ලක්‍ෂ 2000 ක විතර ආදායමක් උපයා ගන්න පුළුවන්. චීනයට අයිති ඩොලර් ට්‍රිලියන තුනකට වැඩි විදේශ සංචිතවලින් වුනත් වැඩ ගන්න පුළුවන්. ඒත් ඉංග්‍රීසි පම්පෝරි කියවා කියවා මේවා කරන්න බෑ. ඒ රටෙන් වැඩක් කරවා ගන්න පුළුවන් “යතුරු දෙක” ගැන අපේ ආණ්ඩු දන්නේ නෑ. විශ්වවිද්‍යාලවලට වෙලා “අනුහස් කලාප” ගැන තියරි හදන ආචාර්යවරු මේවා ගැන හොයන්නෙත් නෑ.

නිර්මාල් මහත්තයා නිරීක්‍ෂණය කරන “මහා සැලැස්ම” මොකක්ද කියලා මට නම් හිතා ගන්න අමාරුයි. මේ කොරෝනා කලබලය මැද්දෙත් චීනයේ විදේශ සංචිත එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන තුන ඉක්මවලා තියෙන බව නම් මම දන්නවා. ඒ වගේ ම, මේ මහා මුදල ආයෝජනය කරන අදහසින් “මාවතක් – තීරයක්” කියලා වැඩසටහනක් චීනය විසින් ක්‍රියාත්මක කරලා තියෙන බවත් මම දන්නවා.

“මාවතක් – තීරයක්” වැඩෙත් එක්ක හම්බ කරගන්න ආවත් සංස්කෘතික මිෂනාරි වැඩ ගැන කිසිම අදහසක් චීන්නු ළඟ නෑ. ඇත්තෙන්ම ථෙරවාදි අපි අපේ අදහස් පතුරුවන්න සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. ඒත් චීන්නු ‍එහෙම නෑ. අවුරුදු දෙදාස් පන්සීයක් විතර චීනයේ තියෙන කොන්ෆියුශියානු, තාඕ අදහස් ගැන හිතන්න. මේ අදහස් තමන්ගේ භූමියෙන් එපිටට පටවන්න චීන්නු කවදාවත් මහන්සි වෙලා තියෙනවා ද?

මේ සිරිලංකාව කියන “චීන කොලනිය” ගැන හිතලා බලන්න. එක චීන සින්දුවක් හරි අහපු අය, චීන ගායකයෙක්ගේ නළුවෙක්ගේ නමක් දන්න අය කී දෙනෙක් අපි අතර ඉන්නවා ද? මේ සම්බන්ධයෙන් මම තනියෙන් කරන වැඩවත් චීන්නු කරන්නේ නෑ.

ලෝක ජනගහනයෙන් පහෙන් පංගුවක් පාලනය කරගන්න චීන ආණ්ඩුව මහන්සි වෙනවා. එහෙම තියෙද්දි ලෝකයේ තව දේවල් අල්ලා ගන්න පුළුවන්කමක් ඒ අයට නෑ. ඉන්දියාව වගේ අවුලකට අත තියන්න චීන්නු හිතන්නෙත් නෑ.

චීන්නුත් එක්ක බිස්නස් කරද්දි අපි පරිස්සම් වෙන්න ඕන. ඒ වැඩේ දී උන් අපිට වඩා දක්‍ෂයි. ඒ වගේ ම හරියට වැඩ කරනවා නම් උන්ගේ කනෙන් රිංගන්නත් අපිට පුළුවන්. දැනටත් ජර්මන්නු ඒ වැඩේ කරනවා. ඇමාරිකාව චීනයත් එක්ක ඇවිළුනාට ජර්මනිය කවදාවත් එහෙම කරන්නේ නෑ ජර්මන්නු දන්නවා චීන්නුන්ගෙන් වැඩ ගන්න විදිහ.

අපි අනුන්ගේ අනුහස් කලාප අස්සේ රිංගන්න මහන්සි වෙන්න ඕන නෑ. මේ ලෝකයේ වැඩ කරන්න පුළුවන් හඳුනාගෙන උන්ගෙන් යමක් ඉගෙන ගන්න පුළුවන් නම් අපිට අපේ ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන්.

කිසිම වැඩක් හරියට කරගන්න බැරි එංගලන්තය වගේ රටවල් පස්සේ තවත් යන්න ඕන නෑ. ජර්මනිය, ඊශ්‍රායලය වගේ බටහිර රටවල්වලින් අපිට සෑහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන්. අපි චීනය දිහා බලන්න ඕනත් ඒ විදිහට.

නිර්මාල්ගේ වහල් තියරියෙන් අපිට වැඩක් නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap