COLUMN

නීති සම්පාදනයට සුදුස්සෝ – 15 වැනි කොටස

Summary

ජනරජයේ නීති, අන පණත් සම්පාදනය කළ යුත්තේ ජාතික ව්‍යවස්ථාදායක සභාව විසිනි. ජනමත විචාරණයක දී ජනතාවට ද ඒ සඳහා සෘජුව ම සහභාගී වීමේ අවස්ථාව හිමි වෙයි. නීති සම්පාදනය උදෙසා ජාතික ව්‍යවස්ථාදායක සභාව කටයුතු කළ යුත්තේ “උත්තරීතර උපදේශක සභාව” විසින් ලබාදෙන උපදෙස්වලට අනුගතව ය.

බෞද්ධ ජනරජ ප්‍රවාදය

මෙයට පෙර ලිපිවලින් පැහැදිළි කළ ආකාරයට බෞද්ධ ජනරජය තුළ පක්‍ෂ ක්‍රමය අදාළ කරගනුයේ “ජනතාවගේ විධායක බලය” ක්‍රියාත්මක කිරීමට පමණකි. ජනතාවගේ උපදේශන, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලතල ක්‍රියාත්මක කිරීමට නිර්පාක්‍ෂික ක්‍රමයක් යොදා ගැනෙයි. පක්‍ෂ ක්‍රමයෙන් බැහැර වී “ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය” ක්‍රියාත්මක කළ හැක්කේ කෙලෙසින් ද? මෙම ලිපියෙන් අපි ඒ ගැන විමසා බලමු.

රාජ්‍ය පාලනයට අවැසි ජනතා උපදේශනයේ වගකීම පැවරුණු උත්තරීතර උපදේශක සභාවක් පිහිටුවිය යුතු බව ද, ජාතික අරමුණුවලට අනුගතව අවශ්‍ය උපදෙස් සැපැයීම සඳහා ඒ ඒ විෂයය පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති අය ඒ සඳහා පත් කළ යුතු බව ද අපි හඳුනා ගත්තෙමු. ඒ වෙනුවෙන් තෝරා ගන්නා නියෝජිතයන් “විෂයානුබද්ධ ජනතා ප්‍රවාහ” ඔස්සේ බිහි කළ යුතු බව ද අපි පෙන්වා දුන්නෙමු. ඒ ඒ විෂයය පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති අය මෙ ලෙසින් අදාළ විෂයානුබද්ධ ජනතා ප්‍රවාහය විසින් තෝරා පත් කර නම් කළ යුතු අතර ඒ සඳහා අදාළ කරගත යුතු නිර්ණායක සහ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කළ හැකි ය.

ජනරජයේ නීති, අන පණත් සම්පාදනය කළ යුත්තේ ජාතික ව්‍යවස්ථාදායක සභාව විසිනි. ජනමත විචාරණයක දී ජනතාවට ද ඒ සඳහා සෘජුව ම සහභාගී වීමේ අවස්ථාව හිමි වෙයි. නීති සම්පාදනය උදෙසා ජාතික ව්‍යවස්ථාදායක සභාව කටයුතු කළ යුත්තේ “උත්තරීතර උපදේශක සභාව” විසින් ලබාදෙන උපදෙස්වලට අනුගතව ය.

කෙසේ වුව ද, නීති සම්පාදනය යනු ඕනෑ ම අයකුට කළ හැකි කාර්යයක් නොවන බව ද අපි වටහාගත යුත්තෙමු. ව්‍යවස්ථා සහ නීති සම්පාදනයට දැනුමක් ඇති අය පමණක් ජාතික ව්‍යවස්ථාදායක සභාවට පත් කරගත යුතු වෙයි. එ ලෙසින් පත් කෙරෙන අය තුළ ජාතික අරමුණු කෙරෙහි දැඩි බැඳීමක් තිබිය යුතු අතර බෞද්ධ දේශපාලන මූලධර්ම, සංස්කෘතිය, නීතිය, භාෂාව සහ සාහිත්‍යය, ඉතිහාසය, සමාජ – ආර්ථික කරුණු, පරිසරය වැනි විෂයයන් පිළිබඳ පුළුල් දැනුමක් තිබිය යුතු ය.

උත්තරීතර උපදේශක සභාව සඳහා තෝරා පත්කර ගන්නේ ඒ ඒ විෂයය පිළිබඳ “ගැඹුරු” දැනුමක් ඇති අය ය. එ නමුදු ජාතික ව්‍යවස්ථාදායක සභාව සඳහා තෝරා පත්කර ගත යුත්තේ උක්ත සඳහන් විෂයයන් සම්බන්ධයෙන් “පුළුල්” දැනුමක් ඇති අය ය. මෙවැනි පිරිසක් ජනතාව අතුරෙන් තෝරා පත්කර ගත හැක්කේ කෙසේ ද? මෙම කාර්යය සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කුමක්ද?

ජාතික ව්‍යවස්ථාදායක සභාව සඳහා තෝරා පත්කර ගත යුතු අය තුළ තිබිය යුතු දැනුම සහ ඒ සඳහා ඔවුන් විසින් සම්පූර්ණ කළ යුතු අනෙකුත් සුදුසුකම් කවරේ ද යන්න උත්තරීතර උපදේශක සභාව විසින් තීරණය කළ යුත්තේ ය. එ ලෙසින් හඳුනාගනු ලබන දැනුම අන්තර්ගත විෂයයන් ආවරණය වන පරිදි පවත්වනු ලබන විභාගයකින් සමත් වී තිබීම මේ සඳහා සම්පූර්ණ කළ යුතු මූලික සුදුසුකම වේ. මෙවැනි ඇගැයීමක් ජාතික මට්ටමින් මෙන් ම කෝරළ මට්ටමින් ද කළ යුත්තේ ය. පොදු කරුණු සම්බන්ධයෙන් ජාතික මට්ටමේ ඇගැයීම කළ යුතු අතර ඒ ඒ ප්‍රදේශයට අදාළ කරුණු සම්බන්ධයෙන් කෝරළ මට්ටමේ ඇගැයීම කළ යුතු ය. මෙම කාර්යය මෙහෙයවනු ලබන “ජාතික ඇගැයීම් ආයතනය” උත්තරීතර උපදේශක සභාව යටතේ පිහිටුවිය යුත්තේ ය.

වාර්ෂිකව පවත්වනු ලබන මෙම ඇගැයීමෙන් ඉහළ ම සුදුසුකම් ලබන තුන් දෙනා කෝරළ බුද්ධි මණ්ඩලයට පත් කළ යුත්තේ ය. තම බල ප්‍රදේශයේ අදාළ ආයතන සමඟ සම්බන්ධ වී ප්‍රාදේශීය ගැටලු, අවශ්‍යතා, සම්පත් සහ විසඳුම් පිළිබඳ විධිමත් පර්යේෂණ සිදු කිරීම කෝරළ බුද්ධි මණ්ඩලවල වගකීම වේ. මෙම බුද්ධි මණ්ඩලවල සේවය කරන අය ඇගැයීමේ ක්‍රමයක් ද උත්තරිතර උපදේශක සභාව විසින් හඳුන්වා දිය යුතු ය. ඔවුන් විසින් සිදු කරන පර්යේෂණවල ස්වභාවය, ඒ සම්බන්ධයෙන් පළ කරනු ලබන වාර්තා, ඔවුන් විසින් යෝජනා කරනු ලබන විසඳුම්වලින් ජාතික අරමුණු සාක්‍ෂාත් කරගැනීම සඳහා ලැබෙන දායකත්වය වැනි කරුණු පදනම් කරගෙන මෙම ඇගැයීම කළ හැකි ය.

ව්‍යවස්ථාදායක සභාව නියෝජනය සඳහා සෑම කෝරළයකින් ම එක් සභිකයා බැගින් තෝරා පත් කළ යුතු ය. එ ලෙස තෝරා පත්කිරීම සඳහා සළකා බැලිය යුත්තේ ඉහත සඳහන් ඇගැයීමෙන් සමත් වන අය යි. එ ලෙස සමත්වන අය අතුරෙන් සුදුස්සකු තේරීම සඳහා වන ඡන්ද බලය ඒ ඒ කෝරළයේ ග්‍රාමීය සහ නාගරික සභා නියෝජිතයන් වෙත ලබාදිය හැකි ය. සමාජයේ බිම් මට්ටම සමඟ යහපත් සම්බන්ධතාවක් පවත්වනු ලබන, එ මෙන් ම, නීති සම්පාදනය පිළිබඳ පුළුල් දැනුම ඇති නියෝජිතයන් ව්‍යවස්ථාදායක සභාවට පත් කරගැනීමේ අවකාශයක් මෙම ක්‍රමය තුළින් නිර්මාණය වෙයි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

Your email address will not be published.