Opinion

නූතනත්වය යනු පෙරපර දෙදිග සාමූහික ප්‍රයත්නයකි

Summary

ලිබරල් වාදයේ ආරම්භය යටත්විජිත ස්වාමියාට “ආසියානු ගුප්ත මිනිසා ” අභිමුඛ වීම දක්වාම පසුදින කල හැකිය. මේ සියල්ල සැලකු කල නූතනත්වය යනු බටහිරයාට පෙරදිග අභිමුඛ වීමේ ප්‍රථිපලය ලෙසත්, ලිබරල්වාදය යනු යටත්විජිතවාදයේ පසුතැවිල්ල ලෙසත් නම් කල හැකිය.

  • Save

ප්‍රංශයේ එක්තරා පිටිසරබද පෙදෙසක පිහිටි නිස්කලංක ස්වාභාවික ගල් ගුහාවකි. කාලය එක්දහස් හත්සිය ගණන්ය. පළාතේ සිටින ප්‍රභූ පවුල් කිහිපයකට අයත් තරුණ දරුවන් කිහිප පොලක් ඔවුන්ගේ විවේක කාලයේ වනයේ සංචාරය කරන අතරතුර ඔවුනට මේ ගල් ගුහාව හමු වේ. මන බඳින සුළු සුන්දරත්වයකින්ද, ඊට නොදෙවැනි ගුප්ත බවකින්ද යුත් ගල් ගුහා පරිසරය වෙතට ඔවුන් ආකර්ශනය වන්නේ නිරායාසයෙනි. එහි ගොස් තමන් ගෙනා ආහාර අනුභව කොට හෝරාවක් දෙකක් රැඳී සිටින අතරතුරදී ඔවුන් කරන්නේ තමන්ගේ හිතට දැනුනු අදහස් යම් කාව්‍යමය ස්වරූපයකින් එහි ලියා තැබීමය. මෙසේ ලියන්නට ඔවුන් තෝරා ගන්නා ගල් බිත්තියේම ඊට කලින් යමකු විසින් අඳින ලද යම් රූප සටහන් ගොන්නක්ද වෙයි. ඒවායේ දල වශයෙන් දක්නට ලැබෙන්නේ බයිසන් ගවයන්, උන් දඩයම් කරන්නට දිව යන දඩ බල්ලන් සහ උන්ගේ ස්වාමීන් යයි සිතිය හැකි මිනිසුන්ය. ඊට අමතරව යම් සංඛේත වශයෙන් සැලකිය හැකි සලකුණු කිහිපයකි. මේ සිතුවම් පිලිබඳ ඉහත කී ප්‍රභූ දරුවන් කිසිවක් සඳහන් කොට නැත. ඒවා දැකීමෙන් ඔවුන් අමුතු ප්‍රහර්ෂයකට පත් වූ බවක්ද පෙනෙන්නට නැත. මේ ප්‍රභූ දරුවන් ගල් ගුහා බිත්ති වල ලියා තැබූ දෙයින් ඔවුන්ගේ ජීවිත වල ආර්ථික හෝ නිෂ්පාදන ක්‍රියාවලිය පිලිබඳ ඍජු තොරතුරක් උකහා ගත නොහැකිය. නමුත් ඔවුන්ට මහත් ප්‍රහර්ෂයෙන් යුක්තව කවි ලියා තබන්නට තරම් විවේක කාලයක්ද භාෂා ඥාණයක්ද තිබුණු බව අපෝහොනය කල හැක.

උක්ත කී සත්ත්ව රූප සහ අනෙකුත් සංඛේත ගල් ගුහාවේ අඳින ලද්දේ මීට වසර දහතුන් දහසකට පෙර ඒ ප්‍රදේශ වල සිටි ප්‍රාග් ඓතිහාසික මානවයන් විසිනි. දයමින් කල් ගෙවූ ඔවුන්ගේ ජීවිත වල ඍජු අත්ක්දකීම් එම කටු සටහන් රූප වල දක්නට ලැබෙන්නේ යයි උපකල්පනය කල හැකිය. එය තමන්ගේ ජීවිත වල එදිනෙදා අත්දැකීමට ලැබුණු සිද්ධි දාමයන්ගේ සරල නිරූපිතයකි.

මේ ගල් ගුහාවටම එක්දහස් නමසිය අනූ හතර වර්ෂයේදී ප්‍රාග් මානව ඉතිහාසය හදාරන පුරාවිද්‍යාඥයන් පිරිසක් ඇතුළු වෙති. පළමුව ප්‍රාග් ඓතිහාසික මානවයාගේ රූපමය සටහනුත්, දෙවනුව එක්දහස් හත්සිය ගණන් වලදී එහි පැමිණි ප්‍රභූ දරුවන්ගේ සටහනත් දකින මොවුන් ඉවසා ගත නොහැකි ප්‍රහර්ෂයෙන් උතුරා යන්නෝය. මෙය වහ වහා මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරෙන අතර එතැන පුරාවිද්‍යා පර්යේෂණ භූමියක් බවට පත් කෙරෙයි.

එකම ගල් ගුහාවට කාල වකවානු තුනකදී ඇතුළු වූ තත්කාලීන මානවයා එතැන සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාර වල දක්නට තිබෙන , අහසට පොලොව මෙන් වෙනස් වූ ස්වභාවයන් පිළිබඳව අපට කිව හැක්කේ කුමක්ද? කාලානුරූපව ගතහොත් මින් පළමු වැන්නා තමන්ගේ ජීවිතයේ එදිනෙදා අත්දැකීම් තම විවේක කාලය තුලදී මෙතුල සිතුවම් කොට තිබේ. දෙවැනි පිරිස සංවිධිත භාෂාවක් පරිහරණය කල පිරිසකි. එමෙන්ම කාලයේ ගලායාම ගණන් තැබූ පිරිසකි.  ඔවුන් එදිනෙදා අත්දැකීම් වලට එහා ගිය සාහිත්‍යමය අන්තර්ගතයක් දින වකවානු සහිතව සඳහන් කොට තිබේ. තෙවනුව ඇතුල් වුයේ අපේ යුගයට අයත් විද්‍යාඥයන් පිරිසකි. ඔවුන්ට මෙය බරපතල ලෙස හැදෑරිය යුතු විශ්මයජනක ස්ථානයක් විය. මේ තුන් කොට්ඨාශය , විශේෂයෙන්ම මෙයින් දෙවැනි සහ තුන් වැනි කණ්ඩායම් , තමන් අතීතය ලෙස දකින දෙයට දැක්වූ ප්‍රතිචාරයේ ඇති වෙනස කුමක්ද ? ඒ වෙනස අපට පැහැදිලි කල හැක්කේ කෙසේද?

මේ දෙපිරිසර දැක්වූ ප්‍රතිචාර වල තිබෙන ප්‍රධානතම වෙනස නම් ඉන් පළමු වැනි පිරිස තමන් අතීතය ලෙස දුටු දෙය කෙරෙහි කිසිදු උනන්දුවක් නොදැක්වීමත්, ඊට වෙනස්ව තුන් වැනි පිරිස තම අතීතය දෙස ඉතා ප්‍රහර්ෂයෙන් සහ විශ්මයජනක ලෙසින් එබී බැලීමත්ය.

නූතනත්වයට ඇති සිය ගණනක් වූ අර්ථ දැක්වීම් අතුරින් වඩාත් හුරුබුහුටි අර්ථදැක්වීමක් වන්නේ “නූතනත්වය යනු අතීතය දෙස විශ්මයෙන් යුතුව බැලීමයි” යන අර්ථදැක්වීමය. බටහිර නූතනත්වය හටගන්නේ යුරෝකේන්ද්‍රීය යටත්විජිතවාදයේ උප්පත්තියත් සමගය. තම ආගමත්, අතිශය බලවත් ආර්ථික අභිලාශයනුත් අතින් දරාගෙන නැගෙනහිරට කඩා පනින බටහිරයාට නැගෙනහිර තුලදී තමන්ගේ සුසමාදර්ශ වලට ඉඳුරාම වෙනස් පදනම් මත ගොඩනැගුනු ශිෂ්ඨාචාර හමු වෙයි. මෙය ඔවුන් හඳුනා ගන්නේ තම අතීතය මුහුණට මුහුණ ලා හමුවීමක් ලෙසය . ඉන් පසුව සිදු වන්නේ තම අතීතය යයි යටත්විජිතවාදීන් උපකල්පනය කරන ලද තත්කාලීන ආසියාව (සහ අප්‍රිකාව) දෙස ඔවුන් වඩාත් උනන්දුවෙන් එබී බැලීමයි. ඉන් පසුව එම අතීතය හැදෑරීම උදෙසා දැනුම් පද්ධතියක් ගොඩනැගීමයි. නූතනත්වයේ හටගැනීම යනු මෙයයි. නූතනත්වය බටහිර නිෂ්පාදනයක් වුවද එය උත්පාදනය කිරීමට අවශ්‍ය අත්දැකීම ඔවුන් වෙත ලබා දුන්නේ නැගෙනහිර ශිෂ්ඨාචාරය විසිනි.

යුරෝපයේ ඒක දේවවාදී ආගම් වලට ආසියාවේ බහු දේවවාදයත් ආසියාවේ බහුදේවවාදී ආගම් වලට යුරෝපයේ ඒක දේව වාදයත් බලපෑය. ආසියාවේ තිබුණු රාජකාරිමය කුල ක්‍රමය යුරෝපීයන් ප්‍රයෝජනයට ගන්නා ලද අතර යුරෝපයේ තිබුණු ධූරාවලිගත අදහස ආසියානු කුල ක්‍රමය තුලට කාවද්දන ලද්දේය. කුල භේදය සහ උස් පහත්කම් අතර ගැටුම තීව්‍ර ලෙස ඇති වන්නේ මේ අනුවය. මීට ප්‍රතිපක්ෂව ආසියාවේ තිබුණු වෘත්තීය ශ්‍රේණි වල බෙදීමේ ස්වභාවය යුරෝපයටද බලපෑවේය. ඇත්ත වශයෙන්ම යුරෝපයේ තිබුණු වැඩවසම් යුගය කෙලවර වන්නේ එයිනි.

උදාහරණයක් ලෙස ලංකාවේ කුල ක්‍රමයට පෘතුගීසීන් ඇති කල බලපෑම මෙන්ම ඔවුන් ආසියාවේ කුල ක්‍රමය වෙතින් ලැබූ බලපෑමත් සඳහන් කල හැකිය. සරල ධූරාවලිගත බෙදීමකට අනුව පහල ස්ථානයක පිහිට ශිල්පීය කුලයකට අයත් රාජකීය සිත්තරාට රජුට පවා තදින් කතා කල හැකි වීම (අනවශ්‍ය උපදෙස් දීමට ගොස් කීර්ති රාජසිංහ රජුට සිත්තර නයිදේ තරවටු කිරීම), මාලිගාව තුල හිස් පළඳනාවක් බැඳ සිටීමට හැකියාවක් ඇති එකම පුද්ගලයා පහත් යයි සම්මත බෙරව කුලයට අයත් කෙනෙකු වීම, වියලි කලාපයේ වැව් ගම්මාන වල වරිග සභා වලදී විවිධ කුල වලට අයත් වැඩිහිටියන්ට තීන්දු ගැනීමට තිබුණු හිමිකම යනාදියෙන් කියවෙන්නේ ලංකාවේ තිබුණු සාම්ප්‍රදායික කුල ක්‍රමය බටහිරයන් මුල් වරට දුටු කුල ශ්‍රේණිගත කිරීම මෙන් සරල ඒක රේඛීය එකක් නොවන බවය. මේ සඳහන් කරන ලද, නුවර යුගයේ අත් දැකීම් නොව, පෘතුගීසීන් මුල් වරට දකින්නට ඇත්තේ මීටත් වඩා ප්‍රකෘති තත්වයේ තිබුණු සමාජ සැකැස්මක්ය. ලංකාව මෙන්ම අනෙකුත් ආසියානු රටවලද, පෘතුගීසීන් මෙන්ම අනෙකුත් යුරෝපීය ජාතීන්ද ලැබූ අත් දැකීම මීට සමාන වූවාට සැක නැත. මෙහි ප්‍රතිපල ලෙස පළමු වටයේදීම යුරෝපයේ සමාජ ධූරාවලි වල යලි සකස් වීමක් ඇති වුනු අතර ඉන් නොනැවතී එය වැඩවසම් යුගයේ අවසානයත් ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භයත් සනිටුහන් කළේය. මානව නිදහස පිලිබඳ වඩාත් විස්තීර්ණ අදහස් ඇති වන්නේ මින් අනතුරුවය. මෙනයින් ගත් කල ලිබරල් වාදයේ ආරම්භය යටත්විජිත ස්වාමියාට “ආසියානු ගුප්ත මිනිසා ” අභිමුඛ වීම දක්වාම පසුදින කල හැකිය. මේ සියල්ල සැලකු කල නූතනත්වය යනු බටහිරයාට පෙරදිග අභිමුඛ වීමේ ප්‍රථිපලය ලෙසත්, ලිබරල්වාදය යනු යටත්විජිතවාදයේ පසුතැවිල්ල ලෙසත් නම් කල හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap