Opinion

නූතන සියමේ සුදු ජාතික මව: ඇනා ලියනොවන්ස්

Summary

Ways of England are the ways of the world. Its a wise man who knows that කියල පැරණි ඉංග්‍රීසි කියමනක් තිබෙනවා. තුවක්කුවෙන් බයිනෙත්තුවෙන් බැරි උනත් මේ තනි ඉංග්‍රීසි ගැහැණියට පුළුවන් උනා ඉදිරි ශතවර්ෂයක සියම් රටේ හැඩ තල සකසන්න

ඇනා ලියනොවන්ස් කියන්නෙ දහනම වන සියවසේ මුල් භාගයේදී බ්‍රිතාන්‍ය ජාතික දෙමව්පියන්ට දාව බ්‍රිතාන්‍ය ඉන්දියාව තුල ඉපදිච්ච සුදු කාන්තාවක්. වෘත්තියෙන් ගුරුවරියක් වෙච්ච ඇයගෙ ස්වාමි පුරුෂයා ඔවුන්ගේ එකම පුතා ඉතා කුඩා කාලයේදීම යුද්ධයට ගිහින් මිය යනවා. ඔහු යුධ සෙබලෙක්.

මේ කාන්තාව තමයි එක්දාස් අටසිය පනස් එකේ ඉඳන් එක්දාස් අටසිය හැට අට වෙනකල් සියම් රාජ්‍යය පාලනය කරපු චක්‍රි රජ පරපුරේ හතරවැනි පුරුක, එහෙම නැත්නම් හතරවැනි රාමා රජතුමා නොහොත් මොන්ග්කුට් රජතුමාගෙ රාජකීය දරුවන් පනස් අට දෙනාට ඉංග්‍රීසි උගන්වපු ගුරුවරිය. ස්වාමි පුරුෂයාගේ වියෝවෙන් පසු ඇයට සියම් රජ මැදුරෙන් ආරාධනාවක් එනවා එකි රජ මැදුරෙ නේවාසිකව ඉන්න.

මැය සියම් රජ මැදුරට එන්නෙ ඔටුන්න හිමි කුමාරය වෙච්ච චූලාලන්කොර්න් කුමාරයට ඉංග්‍රීසි උගන්වන්න. නමුත් ඇයට අවසානයේදී දරුවන් සියලු දෙනාටත් රජතුමාගෙ අන්තප්පුරයට අලුතෙන් එකතු වෙන තරුණ කුමාරිකාවන්ටත් ඉංග්‍රීසි පමණක් නොවෙයි දන්න කියන විදිහට අනෙක් සියලු බටහිර විෂයයන් උගන්වන්න සිද්ධ වෙනවා.

මේ කියන කාලය සියම් රාජ්‍යයට අතිශයින්ම වැදගත් කාල පරිච්ඡේදයක්. එක අතකින් ඔවුන් වසර දහසක් පමණ තිබුණු බුරුම සියම් යුධ මාලාව තීරණාත්මකව නිමා කරල සිටියා. ඊට අමතරව සියම් රාජ්‍යයට නැගෙනහිරින් තිබෙන කාම්බෝජය, ලාඕසය, සහ වියට්නාමය කියන රටවල් සියල්ල ප්‍රංශය විසින් අත් පත් කරගෙන තිබුනා. දකුණෙන් සහ නැගෙනහිරින් තිබුණු මැලේසියාව, බුරුමයේ දකුණු කොටස  සහ බංග්ලාදේශය ( එවකට බ්‍රිතාන්‍ය ඉන්දියාව) ඉංග්‍රීසීන් යටත් කරගෙනයි තිබුනේ. උතුරු බුරුමයේ ආවා රාජධානිය 1885 දි ඉංග්‍රීසීන්ට යටත් වීමෙන් පසුව සමස්ථ බුරුමයම යටත් විජිතයක් බවට පත් වෙනවා. නමුත් අපි මේ කතා කරන්නෙ 1851 සිට 1868 දක්වා කාල පරිඡේදය. ඉංග්‍රීසි සහ ප්‍රංශ යන දෙකොටසටම, ඉතාම සෞභාග්‍යමත් දේශයක් වෙච්ච සියම යටත් කරගැනීමට නොහිතන්න හේතුවක් තිබුනෙ නැහැ. නමුත් මේ දෙපිල එකිනෙකා වෙත දක්වපු බිය විසින් ඔවුන් සියම තුලදී මුහුණට මුහුණ හමු වීම කල් දැමෙමින් තිබුනා. උතුරු බුරුම රාජධානිය සියමට ප්‍රහාර එල්ල කරල යටත් කරගන්න තරම් බලවත් තැනක නොහිටියත් ඔවුන් බ්‍රිතාන්‍ය සමග ගෙන ගිහිපු සංකීරණ දේශපාලන ක්‍රියාවලිය ඇතුලෙ බ්‍රිතාන්‍ය වුවමනාවක් වෙනුවෙන් පාර හමුදා බලඇණියක් විදිහට සියමට ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාවක් තිබුනා. මේ සියල්ල මැද සියම් රජ මැදුර තිබුනෙ දේශපාලනිකව අතිශයින්ම උණුසුම් තැනක.

ස්වාමියා මිය ගිහිපු වැන්දබුවක් විදිහට රජ මැදුරට එන මැයට මොන්ග්කුට් රජතුමාගෙ පොපියන ආදරය බවට පත් වෙන්න වැඩි කල් ගත වෙන්නෙ නැහැ. සියම් රටේ මේ වෙනකොට ගැහැණිය කියන්නෙ ඒ තරම් බලයක් තිබුණු කෙනෙක් නොවෙයි. මේ තත්වය තමයි රජ මාලිගාවේ පවා තිබුනෙ. නමුත් ඇනාට පුළුවන් වෙනවා රජුගේ රාජකීය බිරින්දෑ වරු කිසිවකුටත් නොතිබුණු බලයක් අත් පත් කරගන්න. හැබැයි ඇය මේ බලය පාවිච්චි කරන්නෙ රටේ උන්නතිය සඳහා.

සියම කියන්නෙ යටත්විජිතයක් බවට පත් වීමෙන් නොවෙයි,  උවමනාවෙන්ම නූතනත්වය වැලඳ ගත්ත රටක්. මේ නූතනකරණ ක්‍රියාවලියට වැඩිම දායකත්වයක් සපයල තියෙන්නෙ චූලාලන්කෝන් රජතුමා වුනත් ඒ ක්‍රියාවලිය හිතා මතාම ආරම්භ කරන්නෙ ඔහුගෙ පියා වෙච්ච මොන්ග්කුට් රජතුමා. ඔහුට ඒ ආරම්භක ආවේගය ලබා දෙන්නෙත් ඔහුව දිශානති කරන්නෙත් මෙන්න මේ ඉංග්‍රීසි පෙම්වතිය. අදටත් තායිලන්තයේ රාජ මාලිගා වලින් වැඩි හරියක් නිම වෙලා තියෙන්නෙ බටහිර යුරෝපියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුව. මේ දේවල් ආරම්භ කලේ මොන්ග්කුට් රජතුමා. ඒ වගේම රජ මාලිගය ඇතුලෙ ඉංග්‍රීසි සිරිත් විරිත් අනුව ආහාර අනුභවය ඒ වගේම රාජකීය තනතුරු දරන්නවුන් සඳහා ඉංග්‍රීසි පන්නයට නිල ඇඳුම් පවා නිර්මාණය වෙන්නෙ මේ යුගයේදී. මේ වගේ සංඛේතාත්මක දේවල් වලට වඩා වැදගත් වෙන්නෙ ඇය විසින් රටේ අධ්‍යාපනය සහ රාජ්‍ය පරිපාලනය වෙනුවෙන් කරපු මැදිහත් වීම. රටේ සියලු දරුවන්ට සමසේ අධ්‍යාපනය ලැබිය හැකි අධ්‍යාපනය ක්‍රමයක් ස්ථාපනය කලයුතු බවත් රටේ පාලන විධික්‍රමය පරිපූර්ණ රාජාණ්ඩුවක සිට ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් වෙතට සීරුමාරු විය යුතු බවත් මුල් වරට යෝජනා කරන්නෙ ඇයයි. එරට එකල තිබුණු තත්වය අනුව මෙවැන්නක් යෝජනා කිරීම මරණීය දණ්ඩනය පවා ලැබීමට හේතුවක් වෙන්න පුළුවන් උනා.

මොන්ගුට් රජතුමා කියන්නෙ කොහොමත් රජකමට වඩා විද්‍යාවට , ගණිතයට උනන්දු වෙච්ච කෙනෙක්. එතෙක් සියමේ භාවිතා වෙච්ච ජෝතිෂ්‍ය ගණිතයෙන් එහාට ගිහින් බටහිර ගණිතය භාවිතා කරල රාජ්‍ය පාලන කටයුතු කරන්න පටන් ගන්නෙ ඔහු. 1868  ඇති වෙච්ච සුප්‍රසිද්ධ සූර්යග්‍රහණයක් නරඹන්න විශාල රාජකීය උත්සවයක් සංවිධානය කරල ඒකට බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ තාරකා විද්‍යාඥයන්ටත් එන්න කියල ඔවුන් ඉදිරිපිට තමන් කරපු ගණනය කිරීම ඔවුන්ගේ ගණනයන්ට වඩා නිවැරදි බව ඔප්පු කරපු ඓතිහාසික කතාව සියම් රටේ ප්‍රසිද්ධ එකක්. මේ සිද්ධියෙන් වටහා ගන්න පුළුවන් ඔහුට මොන තරම් විෂයානුබද්ධ ඇම්මක් තිබුනද කියල. ඔහු අන්තිමේ මිය යන්නෙත් මේ සූර්යග්‍රහණ නිරීක්ෂණ උත්සවය අතර තුරදී මැලේරියාව හැදිලා.

ඇනා ගෙ යෝජනා ඇත්තටම යතාර්ථයක් බවට පත් වෙන්නෙ තමන්ගෙ ශිෂ්‍යා වෙච්ච චූලාලන්කොන් කුමාරයා රජ උනාට පස්සෙ.  නූතන තායිලන්තයේ නිර්මාතෘ විදිහට සැලකෙන්නේ එතුමාවයි. ඔහුට වසර නවයක් ඉගැන්නුවේ මේ කියන ඉංග්‍රීසි ගැහැණියයි.  පසුකාලීනව  රටපුරා අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න දම්රෝන් කුමාරයා සහ රටේ ව්‍යවස්ථාව යාවත්කාලීන කරන්න ප්‍රිස්දාන්ග් කුමාරයා විශේෂයෙන් කටයුතු කරනවා. මේ සියල්ලට මූලාරම්භය ලබා දෙන්නෙ මේ ගැහැණියයි.

Ways of England are the ways of the world. Its a wise man who knows that කියල පැරණි ඉංග්‍රීසි කියමනක් තිබෙනවා. තුවක්කුවෙන් බයිනෙත්තුවෙන් බැරි උනත් මේ තනි ඉංග්‍රීසි ගැහැණියට පුළුවන් උනා ඉදිරි ශතවර්ෂයක සියම් රටේ හැඩ තල සකසන්න.  ඔය කියමනට අනුව  සියම් රටේ wise man වෙන්නෙ මේ ගැහැණිය තම සිරි යහනට කැඳවා ගත් මොන්ග්කුට් රජතුමා වෙන්න ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *