COLUMN

නේම්බුක් එක

Summary

ගවර්මන්ට් එක, පාර්ලිමන්ට් එක, කැබිනට් එක, ස්පීච් එක, ගැසට් එක, රිවර්ස් එක, බජට් එක, ඩෙපිසිට් එක, ස්ට්‍රයික් එක, ඉකොනොමි එක, ලෝන් එක, බොන්ඩ් එක, බෑන්ක් එක, ඩෙබ් ට්‍රැප් එක, හාබර් එක, අයි-එම්-එෆ් එක, වර්ල්ඩ් බෑන්ක් එක, ජොගිං-පාත් එක, සිස්ටම් එක, චේන්ජ් එක.
ඇයි අම්මේ මේ හැම වෙලාවේම “එක, එක, එක” කියලා කියන්නේ?
එහෙම කළාම අපිට ඉක්මනින්ම ජාත්‍යන්තරයට යන්න පුළුවන් පුතා.

එන්න පුතේ “නේම්බුක් එක” කියවන්න. මෙතැනින් පටන්ගන්න.
විලේජ් එක, ටවුන් එක, ප්‍රොවින්ස් එක, ස්ටෑන්ඩ් එක, පාර්ක් එක, ස්ටේෂන් එක, බස් එක, වෑන් එක, කාර් එක, ගියර් එක, ට්‍රේන් එක, ට්‍රැක්ටර් එක, බැකෝ එක, ක්‍රේන් එක, ඇක්සර්ලේටර් එක, බ්‍රේක් එක, ඇක්සිඩන්ට් එක. ඇම්බියුලන්ස් එක.
හොස්පිටල් එක, වෝර්ඩ් එක, තියටර් එක, ඔපරේෂන් එක, ඔක්සිජන් එක, ප්‍රෙෂ්ර් එක, රිපෝට් එක, ලෙවල් එක, ටැබ්ලට් එක, ඉන්ජෙක්සන් එක, ටිකට් එක, බෙඩ් ෂීට් එක, ඉමර්ජන්සි එක, අයිසීයූ එක.
හරි පුතා, දැන් මෙතැන ඉඳලා කියවන්න.
අලාම් එක, කිචන් එක, ගෑස් එක, ටැප් එක, කෙටල් එක, කප් එක, බෙඩ් ටී එක, ප්ලේ‍ට් එක, බ්‍රෙක්ෆස්ට් එක, ජොබ් එක, ඕ-ටී එක, ලේට් එක, ලන්ච් එක, ලීව් එක, ෂෝර්ට්-ලීව් එක, සැලරි එක, ඩිනර් එක, ටීවී එක, නිවුස් එක, ඩ්‍රාමා එක, රියැලිට් ෂෝ එක, ටොයිලට් එක, වොෂ් එක, ඩ්‍රීම් එක.
දැන් පුතා මේ කොටස කියවන්න.
ෆෝන් එක, චාජර් එක, ස්විච් එක, ස්ක්‍රීන් එක, වොල්‍යුම් එක, හෙඩ්සෙට් එක, සෙටිං එක, මැසේජ් එක, කෝල් එක, ඇප් එක, මැසෙන්ජර් එක, වට්ස්අප් එක, ෆේෂ්බුක් එක, ….
අම්මේ ෆේෂ්බුක් එකට “මූණුපොත” කියන්න බැරි ද?
බෑ. බෑ. බෑ. පිස්සු ද? පව් සිද්දවෙන කතා කියන්න එපා. හරියට කියන්න. මොකක්ද?
ෆේෂ්බුක් එක.
හරි. ඉතිරි ටිකත් කියන්න.
ෆේෂ්බුක් එක, සූම් එක, ගූගල් එක, සර්ච් එක, ඉමේජ් එක, ඇල්බම් එක, කැමරා එක, රිසොලුෂන් එක, ෆොටෝ එක, අප්ලෝඩ් එක, ඩවුන්ලෝඩ් එක, සිග්නල් එක, සයිලන්ට් එක, එයාර්-ප්ලේන් මෝඩ් එක.
හරි. දැන් මෙතැන ඉඳලා කියවන්න.
ගවර්මන්ට් එක, පාර්ලිමන්ට් එක, කැබිනට් එක, ස්පීච් එක, ගැසට් එක, රිවර්ස් එක, බජට් එක, ඩෙපිසිට් එක, ස්ට්‍රයික් එක, ඉකොනොමි එක, ලෝන් එක, බොන්ඩ් එක, බෑන්ක් එක, ඩෙබ් ට්‍රැප් එක, හාබර් එක, අයි-එම්-එෆ් එක, වර්ල්ඩ් බෑන්ක් එක, ජොගිං-පාත් එක, සිස්ටම් එක, චේන්ජ් එක.
ඇයි අම්මේ මේ හැම වෙලාවේම “එක, එක, එක” කියලා කියන්නේ?
එහෙම කළාම අපිට ඉක්මනින්ම ජාත්‍යන්තරයට යන්න පුළුවන් පුතා.
ඒ කොහොම ද අම්මේ?
ඒකට ඕන මෙන්න මේක. මේ මොකක්ද?
බ්‍රැකට් එක.
හරියට හරි. අපිට පුළුවන් මේ බ්‍රැකට් එක දාලා කොමන් ෆැක්ටර් එක විදිහට “එක” එළියට ගන්න. එතකොට අපි කොහෙද? ජාත්‍යන්තරයේ. ඒ හින්දා හොඳ පුතා වගේ මේක දිගටම කියවන්න. ප්‍රැක්ට්ස් එක තමයි වටින්නේ.
ස්කූල් එක, පීරියඩ් එක, පෙන් එක, ඉරේසර් එක, කටර් එක, ටියුෂන් එක, සූම් එක, පාස්කෝඩ් එක, නෝට් එක, එක්සෑම් එක, රිසල්ට් එක, යුනිවර්සිටි එක, රැග් එක, ලෙක්චර් එක, ප්‍රොටෙස්ට් එක, පෝස්ටර් එක.
අම්මේ මේ වගේ තව පොත් තියෙනවා ද?
ඔව්. “වලදාන පොත” කියලා එකක් තියෙනවා. ඒක අපි අනිත් දවසේ කියවමු. පුතා දැන් කාටුන් එක බලන්න.
ආතල් එක …
අසා ලිව්වේ,

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

Your email address will not be published.