COLUMN

පන්දාහ ලිපට

Summary

අපේ රටේ හැම ගෙදරක ම වගේ පොල් කටු තියෙනවා. ඒවා යොදලා පත්තුකරන ලිපක් හදන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්.

විශේෂ දීමනාවක් විදිහට ආණ්ඩුවෙන් රජයේ සේවකයන්ටත් රුපියල් පන්දාහක් දෙනවා කියලා ප්‍රවෘත්තියක් දැක්කා. තියෙන ආර්ථික අමාරුකම් හින්දා මෙහෙම මුදලක් ලැබෙන එක කාටත් හොඳයි. ඒත් මේ මුදල්වලින් ඊට වඩා දුරදිග යන වැඩක් කරන්න බැරි ද?
ගෑස් ප්‍රශ්නය හින්දා සෑහෙන දෙනෙක් අමාරුවේ වැටිලා. එක පැත්තකින් වෙලාවට ගෑස් ලැබෙන්නේ නෑ. ගෑස් එකක් ගන්න පෝලිම්වල ලගින්නත් ඕන. තවත් පැත්තකින් ගෑස් අනතුරු ගණනාවකුත් වාර්තාවුනා. ඊට අමතරව, ගෑස් මිලත් හොඳට ම ඉහළ ගිහිල්ලා. අවශ්‍ය විදේශ විනිමය (ඩොලර්) හොයාගන්න බැරිවුනොත් ගෑස් ගෙන්නන්නත් බැරිවෙයි.
ඉතින් ගෑස් වෙනුවට විකල්පයක් හඳුන්වාදෙන්න පුළුවන් නම් සෑහෙන දෙනෙක්ට ඒක උදව්වක් වෙයි. අපේ රටේ හැම ගෙදරක ම වගේ පොල් කටු තියෙනවා. ඒවා යොදලා පත්තුකරන ලිපක් හදන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්.
දැනටමත් මේ වගේ ලිප් නිර්මාණය වෙමින් තියෙනවා. ඒත් තවමත් මේවා වෙළෙඳපොළට ඇවිල්ලා නෑ. එහෙම ආවත් සුලබව දකින්නත් නෑ. ඒක වෙන්න නම් මේ ලිප් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරලා වෙළෙඳපොළේ බෙදාහරින්න ඕන.
මෙහෙම වැඩ කරන ව්‍යවසායකයන්ට මේ මුදල් දෙන්න බැරි ද? එක එක්කෙනාට පන්දාහ ගානේ දෙනවා වෙනුවට ප්‍රමාණවත් මුදලක් අදාළ ව්‍යවසායකයෙක්ට හරි කීප දෙනෙක්ට හරි දෙනවා නම් එහෙම ආයෝජනයකින් මේ ලිප් කර්මාන්තය දිරිගන්වන්න පුළුවන්. ඊට පස්සේ ආණ්ඩුවට පුළුවන් කිසියම් සහනාධාරයක් යටතේ ඒ ලිප් මිනිස්සුන්ට බෙදලා දෙන්න.
පන්දාහක් දෙනවාට වඩා මෙහෙම වැඩක් කරනවා නම් ඒක කාටත් ප්‍රයෝජනවත්. ඒ මාර්ගයෙන් ලිප් කර්මාන්තයත් වර්ධනය වෙනවා. තියෙන දේශීය සම්පත්වලින් වැඩගන්න අවස්ථාවකුත් ලැබෙනවා. බලශක්තිය වෙනුවෙන් වැයකරන විදේශ විනිමය සීමා කරගන්නත් පුළුවන්.

Leave a Reply

Your email address will not be published.