Opinion

පරිසරවේදීන් දිනා ගැනීමට ආණ්ඩුව කල යුත්තේ කුමක්ද?

Summary

සිංහරාජය යනු ධන ආකරයකි. වඩාත් ආර්ථික වශයෙන් ලාභ දායි වන්නේ සිංහරාජය එලි කිරීමවත් ඒ මැදින් පාරවල් තැනීමවත් නොව එය හැකි තරම් පුළුල් කරමින් තව තවත් සංරක්ෂණය කිරීමය

පරිසරවේදීන් ආණ්ඩුව සමග පරල වී තිබේ. පරල වී තිබෙන්නේ ආණ්ඩුව විසින් සිංහරාජය මැදින් පාරක් සෑදීම නිසාය.  මේ පරල වීම සාමාන්‍ය අවබෝධය අනුව හේතු යුක්තය. පරිසරවේදීන් යනුවෙන් සාමාන්‍යයෙන් පිළිගැනෙන පිරිස ආණ්ඩුව සමග පරල වීම වාසියක් ලෙස ආණ්ඩුව දකින්නේ නම් ආණ්ඩුව සමග  කතා කල යුතු දෙයක් නැත. නමුත් යම් හෙයකින් එය අවාසියක් ලෙස ආණ්ඩුව දකිත් නම් ඔවුන් නැවත දිනා ගැනීම උදෙසා කල යුතු දේ ගැන ඉතා කෙටි සටහනකි මෙය.

සිංහරාජයේ කතාව මේ වන විට ප්‍රමාණවත් තරම් සාකච්ඡා වී තිබෙන නිසා ඒ ගැන අමුතුවෙන් සඳහන් කල යුතු නැත. දැන් ආණ්ඩුව පළමුව කල යුත්තේ සිංහරාජය වටා දැනටමත් තිබෙන රක්ෂිත සීමාව ශක්තිමත්ව තහවුරු කිරීමයි. ඉන් පසුව කල යුත්තේ  එම සීමාවෙන් ඇතුලත තිබෙන අනවසර වගා බිම් සහ ජනාවාස නීති ප්‍රකාරව ඉවත් කිරීමයි. ඉනුත් පසුව ඉතා වැදගත් කර්තව්‍යයක් කල යුතුය. එනම් සිරිසේන ජනාධිපති වරයාගේ අන්තිම සතියේ ඔහුගේ නියමයෙන් කෙටුම්පත් කරන්නට යෙදුනු සිංහරාජය අවට ඇති , දැනට වෙනම රක්ෂිත ලෙස පවතින එම ප්‍රවර්ගයේ කුට්ටි වනාන්තර  සියල්ල සිංහරාජයට අනුයුක්ත කොට ගැසට් කිරීමයි. මෙසේ දැනටමත් රක්ෂිත ලෙස ඇති මෙම වනාන්තර සිංහරාජයට එකතු කල විට සිංහරාජයේ වපසරිය ඒක රැයකින් දැනට තිබෙන ප්‍රමාණය මෙන්  තුන් ගුණයක් දක්වා ඉහල යනු ඇත. ඉනුත් පසුව දැනටමත් නිර්දේශ කෙරී ඇති පරිදි අවට කලාපයේම සිංහරාජයේ සීමාවට මායිම්ව තිබෙන ඉඩම් ප්‍රතිසංස්කරන සභාවට අයත් වනාන්තර ඉඩම් සියල්ලමත් සිංහරාජයට එකතු කල යුතුය. එයින් සිංහරාජයට තවත් හෙක්ටයාර තුන් දහසක් පමණ එකතු වනු ඇත.

ආණ්ඩුව කියන පරිදි ලංකාගමට පාර කැපෙන්නේ තනිකරම එහි ගම්  වැසියන්ගේ ඉල්ලීම පරිදිය. නමුත් පරිසරවේදීන් මේ සම්බන්ධයෙන් සැක පහල කරති.  කුමන හේතුවකට පාර කැපුවත් එමගින් සිංහරාජයේ මල ගම ආරම්භ වන බව ඔවුන්ගේ අදහසයි . මේ අදහස ඉවත දැමිය හැක්කක් නොවේ. කාපට් පාරක් යනු ජනාවාසකරණයේ අඩි තාලමයි. ලෝක උරුමයක් ලෙස සැලකෙන වනාන්තරයක් තුළටත් නීති විරෝධීව  පැතිරුණු ජනකායක් ඒ අසලින් කාපට් පාරක් තනා දුන් පසු මායිම ආරක්ෂා කරාවිය යන්න සාමාන්‍ය ව්‍යවහාර බුද්ධියට අනුව තාර්කික නැත. විල්පත්තුව මැදිනුත් පළමුව ඉදි කෙරුනේ මහා මාර්ගයකි. ඉන් පසුව සිදු වුනු දෙය සියලු දෙනා මේ වන විට දනිති. එසේ නම් කුමන හේතුවකට මාර්ගය ඉදි වුවද එය සිංහරාජයේ මළගම ඉක්මන් කිරීමක් ලෙස කල්පනා කිරීම සහේතුකය.

ඇතැමුන් කියන්නේ ලංකාගම  තිබෙන තැනින් එලියට ගෙන ප්‍රති ස්ථානගත කල යුතු බවය. එයද ප්‍රායෝගික නැත. මේ ගැමියන්ගෙන් බහුතරයක් දෙනා එක් හෝ තවත් ආකාරයකට තම පැවැත්ම උදෙසා වනාන්තරය හා බැඳී පවතින අතර ඔවුන් එතනින් ඉවත් කිරීම ඔවුන්ගේ ජීවනෝපාය අනතුරේ හෙලීමකි. නමුත් මේ ඇති වී තිබෙන නව තත්වය උඩ, එනම් සියලු නාගරික අවශ්‍යතා වනාන්තරය  අද්දර සිටම බුක්ති විඳීමේ උන්නතිකාමී ආශාවන්ගෙන් මඩින ලද මනස් සහිත ගැමියන් පිරිසක් විසින් ගමේ සමාජ දේශපාලන්නය හසුරුවන තත්වයක් උඩ ඔවුන්ගේ සියලු ඉල්ලීම්  සන්තර්පණය කරමින් ඔවුන්ව මේ සිටින තැනම රැඳවීමද කල නොහැක. ආණ්ඩුව උපාය මාර්ග තීරණය කල යුත්තේ මේ ප්‍රයෝගික ඇත්ත කල්පනාවට ගනිමිනි. එමෙන්ම එම උපාය අවංකව ම සිංහරාජයේ වටිනාකම අවබෝධ කරගෙන එය සංරක්ෂණය කිරීම දිරිගන්වන සුළු එකක්ද විය යුතුය.

අපට පරිසරය ගැන මොන තරම් රොමැන්ටික් කතා කිව හැකි වුවද ආණ්ඩුවට සල්ලි අවශ්‍යය. ඉතින් සල්ලි හම්බ කල හැක්කේ ගමේ මිනිසුන්ට තවත් අක්කර ප්‍රමාණයක් කැලය කපා තේ වගා කිරීමට දීමෙන් ලැබෙන නොගිනිය හැකි තරම් වන ආර්ථික ප්‍රසාරණයෙන් පමණද? එසේත් නැතිනම් ඒ දෙපස අලුතෙන් ඉදි කරන කුඩා පරිමාණයේ හෝටල් කිහිපයකින් පමණද? කිසි සේත්ම නැත.


සිංහරාජය යනු ධන ආකරයකි. වඩාත් ආර්ථික වශයෙන් ලාභ දායි වන්නේ සිංහරාජය එලි කිරීමවත් ඒ මැදින් පාරවල් තැනීමවත් නොව එය හැකි තරම් පුළුල් කරමින් තව තවත් සංරක්ෂණය කිරීමය . ලොව අනර්ඝතම වැසි වනාන්තර අතලොස්ස තුලට වැටෙන සිංහරාජයේ පහස ලැබීමට ලොව වටා ඕනෑ තරම් ධනවත් සංචාරකයන් සැදී පැහදි සිටිති. ආණ්ඩුව කල යුත්තේ රටේ පොදු ජනයාට අයිතිය තහවුරු වන සේ මේ කලාපය තුල නූතන පන්නයේ සංචාරක ආයෝජනයක් කිරීමය. ඉහත සඳහන් කෙරුණු අයුරින් දැනට තිබෙන සීමාවන් සහ අලුතෙන් අවශෝෂණය කරගෙන  සීමාවන් ශක්තිමත්ව තහවුරු කිරීමෙන් අනතුරුව කල යුත්තේ  ගැමියන්ගෙන් විශාල මිලක් දී ඉඩම් මිලදී ගැනීමය. මෙම ඉඩම් ශක්තිමත් කොන්දේසි යටතේ  ආයෝජකයන්ට බදු දිය  හැකිය. කිසිදු ලෙසකින්වත්  නීති රෙගුලාසි වලට පිටින් වනාන්තරය පරිහරණය නොකරන බවට සහතික කෙරෙන විශේෂ නීතිමය කොන්දේසි මේ වෙනුවෙන් ඇති කල හැකි අතර මෙසේ ලබා දෙන ඉඩම් තුලද වන වගා ඇති කොට ඒ ඇසුරින් “ සුවිශේෂී සිංහරාජ වනජ අත්දැකීමක්” නිර්මාණය කල හැකිය. අවශ්‍ය නම් මෙසේ ගැමියන්ගෙන් ලබා ගත් ඉඩම් තුල වන වගා කිරීමද කොන්දේසියක් ලෙස බල ගැන්විය හැකිය. මෙවැනි සංචාරක පැකේජයක් අති විශාල මුදලකට විකිණිය හැකිය. කොවිඩ් තත්වය පහ වන විට අප මෙවැන්නකට යන්තමින් හෝ සූදානම් වී සිටියහොත් එය අති  විශාල අනාගත ආර්ථික විභවයකට දොරගුළු විවර කරනු ඇත.

පරිසරය ගැන දැඩි ලෙස උනන්දු පිරිස ගණනින් අඩු වුවද ඔවුන්ගේ සමාජ මතයට ඇති කල හැකි බලපෑම සුළු පටු නැත. 2015 රාජපක්ෂ රෙජීමය බිඳවැටීම පිටුපස පරිසර සංවිධානද තීරක කාර්යයක් ඉටු කල බව රහසක් නොවේ. එනිසා “ පරිසර ත්‍රස්තවාදීන් රට දියුණු කරන්නට දෙන්නේ නැහැ” යයි වක්‍රාකාර මාර්ගයන්ගෙන් ප්‍රකාශ කරමින් ආණ්ඩුව කරගන්නේ අනුවණ කමකි. මෙතෙක් වැඩ සිදු වී තිබෙන්නේ මේ අනුවණ කම වර්ධනය වන දිශාවටය. මේ ගමනේ වර්තනයක් යෝජනා කල හැකි “ වියතෙක්” දැන් මතුව ආ යුතුය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *