Opinion

පරිසර අරාජිකවාදීන්ගේ පුනර්ජනනීය මිථ්‍යාව

Summary

පුනර්ජනනීය බලශක්තිය පිලිබඳ මිත්‍යාමතික ඇදහිල්ල යුරෝපියානු ලිබරල් දේශපාලනය විසින් නිමවන ලද සෝභනකාරී ආභරණයකි. අප ඒවා පළඳන්නට ගොස් අමාරුවේ වැටිය යුතු නැත.

අන්ඔබ්ටෙනියම් (unobtanium) නමැති මූලද්‍රව්‍යක් පිළිබඳව ඔබ අසා තිබේද? ඇවටාර් (Avatar) නම් ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ සඳහන් පරිදි පැන්ඩෝරා නම් ග්‍රහලෝකයේ තිබෙන අසීමිතව ශක්තිය ලබා දිය හැකි මූලද්‍රව්‍යක් එනමින් හැඳින්වේ. මෙවැනි අසීමිත ශක්ති ප්‍රභවයන් පිලිබඳ අපට අසන්නට ලැබෙන්නේ මූලාශ්‍ර දෙකකිනි. පළමු වැන්න නම් විද්‍යා ප්‍රබන්ධය. දෙවැන්න නම් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අතිශෝක්තියෙන් කතා කරන පරිසරෙදීන්ගේ කතාය.

ලෝකයේ සමස්ථ බලශක්ති වුවමනාව, ඇති තරම් සූර්ය පැනල ,සුළං මෝල්  සහ බැටරි ඉදි කිරීම මගින් සපුරාලිය හැකි බව ඔවුහු සිතති. සරල සත්‍ය නම් එසේ කල නොහැකි බවය. අප ඇත්තටම මිහිකතටත් මනුෂ්‍ය සංහතියටත් ආදරය කරන්නේ නම් එසේ කල යුතුද නැත.

මෙය භෞතික විද්‍යාව පිලිබඳ සරල තර්කයකි. ඕනෑම ශක්ති ප්‍රභවයකට , අතික්‍රමණය කල නොහැකි සීමාවක් තිබේ. සූර්ය තාපය විදුලි බලය බවට පරිවර්තනය කල හැකි උපරිම කාර්යක්ෂමතාවය සීයට තිස් තුනකි. දැනට නිර්මාණය කොට තිබෙන වඩාත්ම දියුණු සූර්ය පැනල මගින් මෙම කාර්යය කල හැක්කේ සීයට විසිහයක කාර්යක්ෂමතාවයකින් යුක්තවය. සුළං මෝල් සඳහා මෙහි පළමු අගය සීයට හැටක් වන අතර දැනට අත්පත් කරගෙන තිබෙන උපරිම කාර්යක්ෂමතාවය සීයට හතලිස් පහකි. එනයින් අපට අවබෝධ වන්නේ භෞතික විද්‍යා මූලධර්ම අනුව නම් අප සූර්ය සහ සුළං බලයේ උපරිම කාර්යක්ෂමතාවයට ආසන්න බවය. මෙතනින් එහාට යාමට නම් එක්කෝ අලුත් භෞතික විද්‍යාවක් සොයා ගත යුතුය. නැතහොත් පැන්ඩෝරා ග්‍රහලෝකයට යා යුතුය.

අපට අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයෙන් සූර්යයා දිදුලන්නේ නැත. සුළං හමන්නේත් නැත. එසේ  සිදු වන අවස්ථාවේ බලශක්තිය නිෂ්පාදනය කොට එය ගබඩා කිරීමට නම් විශාල ශක්‍යතාව්‍යකින් යුත් බැටරි නිෂ්පාදනය කල යුතුය. මෙය භෞතික සහ රසායනික විද්‍යාවන් අනුව ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.

මෙය උදාහරණයක් මගින් පැහැදිලි කළහොත් , දැනට ලොව තිබෙන වඩාත්ම කාර්යක්ෂමතාවයෙන් වැඩි බැටරිය වන ටෙස්ලා බැටරිය නිෂ්පාදනය කරන අමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ තිබෙන කර්මාන්තශාලාවට ඇමෙරිකාවේ එක් දිනෙක පරිභෝජනයට අවශ්‍ය බලශක්තිය ගබඩා කිරීමට අවශ්‍ය වන තරමේ බැටරි නිෂ්පාදනය කිරීමට වර්තමාන ධාරිතාවයට අනුව වසර පන්සියයක් ගත වනු ඇත. වසර ගණනාවක් තිස්සේ ලොව පුරා බොහෝ රජයන් ඩොලර් බිලියන ගන්නේ සහනාධාර ලබා දීමෙන් පසුවත්, අදටත් සූර්ය තාපයෙන් සහ සුළං බලයෙන් පිරිමැසෙන්නේ ලෝක බලශක්ති අවශ්‍යතාවයෙන් සීයට තුනක් පමණි. මෙහි ආර්ථික සංරචකය පසෙකින් තැබුවද , යමකුට අවශ්‍ය ඇත්ත වශයෙන්ම පරිසරය ආරක්ෂා කිරීමට නම් සූර්ය තාපය සහ සුළං බලය පිලිබඳ දෙවරක් සිතීමට සිදුවනු ඇත. මේ සියල්ල නිෂ්පාදනය වන්නේ නැවත පරිසරයට එකතු කල නොහැකි අමුද්‍රව්‍ය වලිනි. උදාහරණයක් ලෙස විද්‍යුතයෙන් දුවන මෝටර් රථයක බැටරියක් ටොන් බාගයක් පමණ බරින් යුතුය. මෙවැන්නක් නිෂ්පාදනය කිරීමේ සමස්ථ ක්‍රියාවලිය තුල ලොව කොතැනක හෝ තිබෙන ඛනිජ සහ මූලද්‍රව්‍ය නිධි වලින් ටොන් දෙසිය පනහක් පමණ කැනීමට සිදු වේ. නිවාස හැත්තෑපන්දහසක් බලගැන්විය හැකි මෙගා වොට් සීයක සුළං මෝලක් තැනීම සඳහා වානේ ටොන් තිස්දහසක්, කොන්ක්‍රීට් ටොන් පනස් දහසක් සහ ප්ලාස්ටික් ටොන් නමසීයක් අවශ්‍ය වේ. මෙම බලශක්ති ප්‍රමාණයම උත්පාදනය කල හැකි සූර්ය බලශක්ති බලාගාරයක් සම්බන්ධයෙන් නම් මේ සියලු අගයන් සීයට එකසිය පනහකින් අධිකය. ඊට අමතරව ලෝක බලශක්තිය මේ දෙආකාරයෙන් උත්පාදනය කිරීමට නම් කොබෝල්ට් සහ ලිතියම් වැනි මූලද්‍රව්‍ය කැනීම් දැනට සිදු වන ධාරිතාවයට වඩා සීයට දෙදාහකින් ඉහල දැමීමට සිදු වේ. සූර්ය සහ සුළං බලශක්තිය මොන තරමේ පාරිසරික හානියකට මග පාදන්නේ දැයි මෙයින් සිතාගැනීමට අපහසු නැත. අනෙක් අතින් මෙවැනි කැනීම් සිදු කිරීමට යොදා ගැනෙන්නේද ෆොසිල ඉන්ධන දහනය කිරීමෙන් උත්පාදනය වන බලශක්තියයි. එනම් පුනර්ජනනීය ලෙස බලශක්තිය උත්පාදනය කිරීම සඳහා එසේ නොවන ලෙස උත්පාදනය කල බලශක්තිය සැලකිය යුතු ප්‍රමාණයක් අමතරව වැය කල යුතුය ! සාමාන්‍ය ගල් අඟුරු බලාගාරක හෝ ස්වභාවික වායු බලාගාරයක ආයු කාලය වසර පනහක් පමණ වන මුත් සූර්ය පැනල හෝ සුළං මෝල් පෙති වල කාර්යක්ෂම ආයු කාලය වන්නේ වසර විස්සකට අඩු කාලයකි. මෙසේ දශක දෙකක භාවිතාවෙන් පසු ඉවත ලන සූර්ය පැනල මගින් වසර දෙදහස් පනහ පමණ වන විට අලුත්ම පාරිසරික අභියෝගයක් ඇති කරන බවට ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති අධිකාරිය දැනටමත් අනතුරු අඟවා තිබේ. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ලෙස ඉවත ලන බැටරි සමූහයත් අමතර වශයෙන් මෙයට එකතු කල යුතුය.

අති විශාල භූමි භාගයන් අමතර වශයෙන් අවශ්‍ය වන, සුවිශාල ලෙස භෞමික අමුද්‍රව්‍යන් අවශ්‍ය වන, ඉතා බැරෑරුම් අපද්‍රව්‍ය අර්බුධයක් අනාගතයේදී ඇති කරන සුළු සූර්ය සහ සුළං බලශක්තියට සාපේක්ෂව ෆොසිල ඉන්ධන දහනය සැලකු කල අපට අවබෝධ වන්නේ කුමක්ද?

රොමෑන්තික පරිසරවේදීන් මොනවා කිව්වද මේ වන විටත් ලෝකය දුවනේ ඛනිජ ෆොසිල ඉන්ධන මතිනි. යුරෝපයේ ඇතැම් රටවල් තමන් අසවල් වසරේ අසවල් කාර්තුවේ උත්පාදනය කලේ පුනර්ජනනීය බලශක්තිය පමණක් යයි පාරම්බෑවද ඔවුන්ට නැගෙනහිර යුරෝපයෙන් එන බලශක්ති සැපයුම ගැන සඳහන් නොකරති. නැගෙනහිර යුරෝපය බලශක්තිය උත්පාදනය කරන්නේ පිම්මේ ෆොසිල ඉන්ධන දහනය කිරීමෙනි. පුනර්ජනනීය බලශක්තිය පිලිබඳ මිත්‍යාමතික ඇදහිල්ල යුරෝපියානු ලිබරල් දේශපාලනය විසින් නිමවන ලද සෝභනකාරී ආභරණයකි. අප ඒවා පළඳන්නට  ගොස් අමාරුවේ වැටිය යුතු නැත.

– දිනෙත් මල්ලිකාරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *