Opinion

පරිසර ප්‍රශ්න සහ පරිසරවේදීන්ගේ ප්‍රශ්න

Summary

මනුෂ්‍යයා විසින් සංජානනය කරන සියලු දේ මානවකේන්ද්‍රීය බව සියල්ලට කළින් අප පිළිගත යුතුය.

ගස් වෙනුවෙන් පෙනී සිටීම, ඒවා කැපීමට විරුද්ධ වීම හා ගස් සිටුවීම කෙරේ අධික ලෙස උනන්දු වීමත් , බලු පැටවුන් වෙනුවෙන් දිවි පරදුවට තබා ඉදිරිපත් වීමත් පසුගිය දශකය තුල නාගරික මධ්‍යම පන්තිය තුල වේගයෙන් පැතිරී ගිය ප්‍රවනතා දෙකකි. මෙකී ක්‍රියාකාරකම් වල යෙදෙන්නවුන් බොහෝ විට පරිසරවේදීන් යනුවෙන් නාමකරණය කිරීමද බහුල වශයෙන් නිරීක්ෂණය කිරීමට හැකි විය.

දශක කීපයකට පෙරාතුව කොළඹ ප්‍රභූ පවුල් වලින් බිහි වූ පරිසරය ගැන උනන්දු වූවන්, ඉන් පසු හැට හැත්තෑව දශක වලදී රුක් රැකගන්නෝ වැනි සංවිධාන හරහා කල එලි බැසි පරිසරවේදීන්, අසූව හා අනූව දශක වල හරිත සමාජවාදය වැනි අදහස් ඇසුරු කල පරිසර ක්‍රියාකාරීන් සහ දෙදාහ මුල් දශකය වන තෙක්ම විවිධ පාරිසරික ප්‍රශ්න වලදී මැදිහත් වීම් කල ක්‍රියාධරයනුත් මේ නව පන්නයේ පරිසරවේදීනුත් අතර කැපී පෙනෙන සුළු වෙනස්කම් ගනනාවක් තිබේ.

මින් පලමු කොට්ඨාසය බොහෝ විට තම ජීවිත වලට තදානුබද්ධව කුමන හෝ සමාජ ව්‍යාපාරයක බරපතල මට්ටමින් ශ්‍රමය වැගිරූ අය වූහ. ඇතැම් කලෙක මේ ශ්‍රමයේ වන්දිය වූයේ ජීවිතයයි. එමෙන්ම ඔවූහූ තම අනන්‍යතාවය යම් දෂ්ඨිවාදයක් මත පදනම් කොටගෙන සිටි අතර එය තියුණු කර ගැනීම උදෙසාත් වඩාත් සියුම්ව සුසර කර ගැනීම උදෙසාත් නිරන්තර වෙහෙසක සහ හැදෑරීමක නිරත වී සිටියහ. වැදගත්ම දෙය නම් මොවුන්ගේ සමස්ත ක්‍රියාකාරීත්වයම  වසාගෙන සිටි වැඩිහිටි ස්වරූපයයි. කුමන මතවාදී පාර්ශවයක සිටියද ඔවුන් තීන්දු තීරණ ගත්තේත් ක්‍රියාත්මක වූයේත් පැසුණු වැඩිහිටි ස්වරූපයෙනි. ඔවුන් තම සංවාද තුල කතා කලේ මතවාද සහ දැනුමය. ඔවුන් කරුණු වල නිරවද්‍යතාවය ගැන අතිශයින් සැලකිලිමත් විය. පෞද්ගලික මඩ ගැසීම්  සහ කාරණයට පරිබාහිර ද්වේශසහගත ප්‍රකාශ අවම විය. එමෙන්ම ඔවුන් උද්ගෝෂණයට එළැඹියේ අවසාන තේරීම ලෙසය.

මා සඳහන් කල නව පරපුරේ ගස් බදා ගන්නන් සහ සුනඛ ප්‍රේමීන් කෙරෙන් නිරන්තරයෙන් ප්‍රකට වන්නේ  අප අනු දැන සිටි පරිසරවේදී භූමිකාව නොව වෙනත් එකකි. ඔවුන් තුල සංවාද යනුවෙන් දෙයක් නැති ගනනය.  මේ යයි කිවහැකි මතයක් හෝ ද්‍යශ්ඨියක්ද ඔවුන් සන්තකයේ  නැත.  මින් දෙවන පාර්ශවය වන සුනඛ ප්‍රේමීන් මනුශ්‍ය ජීවිත වලටත් වඩා මහ මග වෙසෙන සුනඛයන්ගේ ජීවිත වැදගත්ය යන පදනමින් ක්‍රියාත්මක වෙයි. නගරයකට වසංගත කැඳවන දඩාවතේ යන බලු රෑන් ඉවත් කිරීම මොවුන් විසින් අර්ථ දක්වන්නේ මහා සත්ත්ව සංහාරයක් ලෙසිනි. මේ ආකාරයෙන්ම නගරයක මැද තිබෙන ගසක් ඉවත් කිරීම මහපොලොව  පෙරලිය යුතු විනාශයක් ලෙස සලකා පලමු කොට්ඨාසයට අයත් ක්‍රියාධරයන් කලබල කරනු පසුගිය කාලයේ සුලභව දක්නට ලැබිනි.

මේ සියලු දෙනාම දැනුමෙන් යාවත්කාලීන නොවෙති. පරිසරය සම්බන්ධ කිසිදු න්‍යායික, තාක්ෂණික , හෝ ප්‍රායෝගික දැනුමක් ලබා ගැනීමට මොවුනට උනන්දුවක් නැත. මේ සියලු දෙනාගේ පොදු ලක්ෂණ නම් ඉතා සුළු දෙයට අතිශයින් කලබලයට පත් වීම , කල කෝලහල කිරීම, අතිශය සදොස් තොරතුරු මත තීන්දු වලට බැසීම සහ අවසානයේ මේ සියල්ලේ සම්ප්‍රයුක්තය ලෙස මහා පරිසර විනාශයන් සිදු වන කල ඒවාට ප්‍රතිචාර නොදක්වා සිටීමත්ය ( එසේ නොදක්වා සිටීමට සිදු වීමයි). පාරක් අසබඩ තිබුණු ගසක් හෝ එහි සිටි කොට්ටෝරුවකු වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සූදානම් වූ පරිසරය වේදීන්ට රටපුරා රක්ෂිත භූමි වල ඉඩම් අනවසරයෙන් අල්ලන විටත්, රට පුරා ඇළදොළ ගංගා ඉවුරු වනසමින් වැලි ගොඩ දමන විටත් බ්‍රහ්මදණ්ඩ වෘතයෙන් සිටීමට සිදුවන්නේ එම නිසාය. මෙවැනි පිරිස් ,යම් දේශපාලන ව්‍යාපාරයකට තම න්‍යාය පත්‍රය උදෙසා නොදැනුවත්වම නොමග හැරීම සිදු කිරීම  පහසුය. එවැනි නොමග යැවීම් එසේ ගිය අයට  අවබෝධ වන කල සිදු වන්නේ ඒවාට අවංක සිතින් සම්බන්ධ වන තරුණ කොටස් සාහසික ලෙස කලකිරීමට පත් වීමයි. මෙකී කල කිරීම එල්ල වන්නේ යම් සංවිධානයකට හෝ ව්‍යාපාරයකට එරෙහිව නොව සමස්ථ රටටම එරෙහිවය.

මේ අනුව අපට නිගමනය කල හැක්කේ ඇත්ත වශයෙන්ම ලංකාවේ පරිසර ප්‍රශ්න වශයෙන් පෙනෙන්නට තිබෙන දේ කොටස් දෙකකට බෙදිය හැකි බවය. මින් පලමු කොටස නම් පරිසර ප්‍රශ්නය. අනෙක්වා නම් පරිසර වේදීන්ගේ ප්‍රශ්නය.

මෙය උදාහරණ කීපයකින් තේරුම් ගැනීමට උත්සාහ කරමු.

රැම්සා තෙත් බිමක් අනවසරයෙන් ගොඩ කිරීම ඇත්ත  පරිසර ප්‍රශ්නයකි. නමුත් නගර පුලුල් කරණයකදී පාරක් අසබඩ තිබෙන ගසක් කැපීමට සිදු වීමත් එහි වාසය කල කොකෙකුට තම කූඩුව අහිමි වීමත් පරිසර ප්‍රශ්නයක් නොව පරිසරවේදීන්ගේ ප්‍රශ්නයකි. ජෛව මංකොල්ලය  පරිසර ප්‍රශ්නයක් වුවද වගා හානි කරන සිය දහස් ගනනින් වන වඳුරු රංචු ආණ්ඩු මට්ටු කිරීමට සිදු වීම මහා අපරාධයක් ලෙස දැකීම පරිසරවේදීන්ගේ ප්‍රශ්නයකි. දළ පිණිස ඇතුන් දඩයම් කිරීම පරිසර ප්‍රශ්නයක් වුවද දළදා පෙරහැරේ ඇතුන් ගෙන යාම මහපොළොව නුහුලන අපරාධයක් සේ දැකීම පරිසරවේදීන්ගේත් සත්ත්ව සුභ සාධකයන්ගේත් ප්‍රශ්නයකි.

ලංකාවේ පරිසරයට ප්‍රශ්න ඇතුවාට අමතරව ලංකාවේ පරිසරවේදීන්ටද ප්‍රශ්න ඇත. පලමු ප්‍රශ්න කොටස විසඳීම රාජ්‍යයේ වගකීම වුවද දෙවන කොටස තම තමුන් විසඳාගත යුතුය. ඒ සඳහා අවශ්‍ය වන්නේ අධ්‍යාපනයත් ආකල්ප වර්ධනයත්ය.

අත්‍යන්ත පරිසරවේදය නැතහොත් Deep ecology යන අදහස සංගතව සහ සූත්‍රගතව ඉදිරිපත් කලේ නෝර්වීජියානු චින්තකයකු වූ Arne Næss විසිනි. මෙයින් සරලව කියැවුනේ මිනිසා කිසි ලෙසකින්වත් ප්‍රධාන හෝ වැඩියෙන් වැදගත් නොවන බවත් පරිසරයේ අනෙක් ක්‍රියාවලීන්ට ඉඩදී මනුෂ්‍යයා පාඩුවේ පසෙකට වී සිටිය යුතු බවත්ය. මෙය පරිසරය සම්බන්ධ තපස් වාදයක් ලෙස හැඳින්විය හැකිය. විසිඑක් වන සියවසේ රටක් ඉදිරියට කැන්දාගෙන යා හැක්කේ මෙවැනි තපස්වාද වලට නොව වෙලඳ ධනවාදය තුළ තිරසාර සංවර්ධනය දිරිමත් කෙරෙන ප්‍රායෝගික වාදයක් තුලය. ලංකාවේ ගස් බදාගන්නන්ට තමන් පිලිබඳ න්‍යායික කියවීමක් නැති වුවද ඔවුන් නොදැනුවත්ව අනුගමනය කරමින් ඉන්නේ කිසිදා යථාර්ථයක් කල නොහැකි තපස්වාදී අත්‍යන්ත පරිසරවාදී අදහස්ය.

මනුෂ්‍යයා විසින් සංජානනය කරන සියලු දේ මානවකේන්ද්‍රීය බව සියල්ලට කළින් අප පිළිගත යුතුය. අප විසින් සිදු කල යුත්තේ මේ මානවකෙන්ද්‍රවාදය  නග්න අසීලාචාර බවෙන් මුදවාගෙන උසස් සංස්කෘතික තලයක ස්ථාපනය කිරීමයි. එවිට සියලු සතා සීපාවාට ජීවන හිමිකමත් මහපොළොවට තිරසාර බවින් යුත් සැනසිල්ලත් ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published.