Opinion

පවිත්‍රා මුහුදට පනියිද ?

Summary

අපේ කියවන්නෝ කියන්නෙත් කිසිම දෙක අගක් මුලක් සන්දර්භයක් නොසොයන, එන ඕනෑම කුණුහරපයක් අනිත් එවුන් ශෙයා කරන්න කලින් වට්සැප් ගෘප් වල ශෙයා කරගන්න දතකන අන්ධභූත පිරිසක්.

pavithra-cartoon
  • Save

මේ ලිපිය පවිත්‍රා ඇමතිතුමිය ගැන නෙමෙයි. පවිත්‍රා සම්බන්ධ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හැසිරීම හරහා ‘දේශපාලන සන්නිවේදනය’ තේරුම් ගැනීමට කරන උත්සාහයක්. පවිත්‍රා වන්නිආරච්චි සමග ඉතාම හිතවත් සම්බන්ධයක් 2015 ඉදන් මට තියෙනවා. මේ ආණ්ඩුව බලයට ගේන්න ඇය තරම් ඇවිදපු, කතා පවත්තපු, වාද විවාද කරපු ගෑණියෙක් තවත් නැතුව ඇති. ලංකා ඉතිහාසයේ විශාලතම කාන්තා දේශපාලන සංවිධානය, පොදුජන කාන්තා පෙරමුණ ඇගේ දාඩිය මහන්සියේ ප්‍රතිපලයක්. ඔය සේරටම වඩා ඇය ගමේ ගෑණියක්. අම්මා කෙනෙක්. අක්කා කෙනෙක්. දුටු තැන ‘මොකක්ද මල්ලියේ ප්‍රශ්නය’ කියල අහන යාලුවෙක්. මිලින්දගේ කොරෝනා ඩයරියේ එක පෙරවදනක් ලීවේ ඇයයි.

වෙලාව බලල බබාට නම දාන, විභාගෙට කලින් බෝධි පුජා තියන, හැම අවුරුද්දෙම නොවරදවාම කතරගම පුජාවට යන, කේන්දර බලල කසාද බදින, රාහු කාලෙට එලියට නොබහින, නැකතක් නැත්නම් හැම වැඩේම කල් දාන, අත පිරෙන්න පිරිත් නුල් බැදන් ඉන්න එවුන් අහනවා ඇයි පවිත්‍රා වතුර කලේ ගගට දැම්මේ කියල.

මිලියනේකට වඩා මිනිස්සු මැරිලා මුළු ලෝකෙම මානසික ආතතියකින් ඉන්න වෙලාවක, පාප් වහන්සේගේ ඉදන් හැම ආගමික නායකයෙක්ම කොරෝනා වලින් මිනිස්සු එලියට ගන්න , මානසික හයියක් වෙන්න, ආගමත් උදව් කරගන්න වෙලාවක, හෙනම විද්‍යාවේදියෝ ටිකක් ෆේස්බුක් එකේ අහනවා, ඇයි පවිත්‍රා මේවා විශ්වාස කරන්නේ කියලා.

Political Communication හෙවත් දේශපාලන සන්නිවේදනයේදී සතුරා එක්ක ගණුදෙනු කරන විධික්‍රම කීපයක් තියෙනවා. තරහා, ආවේගය, නින්දා අපහාස කිරීම වගේම තවත් එක ප්‍රබල විධික්‍රමයක් තමා ‘උපහාසයට’ ලක් කිරීම. මේ සන්නිවේදන උපක්‍රමය විශේෂයෙන්ම පාවිච්චි කරන්නේ අනිත් ඉමොෂන්ස් වැඩකරන්නේ නැති වුනාම. උදාහරණයක් විදියට ගෝඨාභය ජනාධිපතිවරයා මහන්සිවෙනවා, මිනිස්සු බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා, විනයගරුකයි, පාතාලයට වැඩේ දෙනවා. එතකොට තරහා, නින්දා අපහාස වගේ ආවේග පාවිච්චි කරන්න බෑ. හැබැයි මොකක් හරි කොනක තියෙන දෙයක් අල්ලාගෙන ඒක ප්‍රහසනයට ලක්කරලා ලොකු වැඩෙන් ඔලුව අයින් කරනවා. හරියට දාහක් දේවල් අස්සේ පවිත්‍රා අල්ල ගන්නවා වගේ.

මේක මුලින්ම හරින් ප්‍රනාන්දු සහ මංගල සමරවීර වගේ අය පාවිච්චි කලේ මයිත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට එරෙහිව. ඇත්තටම අපි වගේ ශ්‍රී ලංකා කාරයෝ සිරිසේන ජනාධිපතිවරයා එක්ක තරහින් ඉද්දී, යු අන් පී කාරයෝ සිරිසේන ගැන ආඩම්බරයෙන් ඉද්දී, යු එන් පී පාක්ෂිකයන්ව සිරිසේන ජනාධිපතිවරයාගෙන් බිදවන්න මේ අය මුලින්ම කලේ සිරිසේන විහිලුවකට ගැනීම. ඒක ගොඩාක් වියදම් කරලා, මනා ලෙස සැලසුම් කරලා කරපු ප්‍රචාරණ වැඩක්.

ලෝකේ ලොකුම සෞඛ්‍ය තර්ජනය තියෙද්දී ඇය සෞඛ්‍ය ඇමතිනිය. ලංකාවේ ඉතිහාසයේ කිසිම සෞඛ්‍ය ඇමතිවරයෙක් මේ තරම් අභියෝගයකට මුහුණපාලා නෑ. සිරිමාවෝ අගමැතිනිය හෝ චන්ද්‍රිකා ජනාධිපතිනියාවත්, කාන්තා නායිකාවන් විදියට මේ තරම් පීඩනයක් මැද වැඩකරලා නැතුව ඇති. කාන්තා නායිකාවන් ඉන්න රටවල්වල කොරෝනා කළමනාකරණය ඉහල බවට නවසීලන්ත ජර්මන් නායිකාවන්ගේ පොටෝ බුකියේ දාපු ගොඩක් අය කුහකකමට හිතාමතාම ලංකාවේ සෞඛ්‍ය ඇමතිනිය කාන්තාවක් බව අමතක කළා.

අද ඇතැම් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් කීප දෙනෙක් ‘කොරෝනා වලින් රට බේරා ගන්න නම් මම මුහුදට පනින්න වුනත් සුදානම්’ යයි සෞඛ්‍ය ඇමතිනිය කිවා යයි හෙඩ් ලයින් වල ගැහුවේ ඇගේ සම්පුර්ණ කතාවම පලකරන්නේවත් නැතුව. ඇගේ කතාවේ තනි වාක්‍යක් පමණක් ගත්තම මුළු සන්දර්භයම වෙනස් වෙනවා. අනෙක් පැත්තට අපේ කියවන්නෝ කියන්නෙත් කිසිම දෙක අගක් මුලක් සන්දර්භයක් නොසොයන, එන ඕනෑම කුණුහරපයක් අනිත් එවුන් ශෙයා කරන්න කලින් වට්සැප් ගෘප් වල ශෙයා කරගන්න දතකන අන්ධභූත පිරිසක්. කොහොමවුනත් ඇගේ කතාවේ නැට්ට අල්ලාගෙන තියෙන හැටි දැක්කම පවිත්‍රා ඇමතිතුමියට දැන් හිතෙනවා  ඇති ‘මුන් වෙනුවෙන්ද මම මුහුදට පනින්න හැදුවේ’ කියලා.

මේ මොහොතේ දේශපාලනය ඇතුලේ සන්නිවේදන හැසිරෙන හැටි අවබෝධයෙන් බලා සිටීම ආතල් වැඩක්. සල්ලි ගෙවලා කමෙන්ට් දාන එක, බොරු ප්‍රොෆයිල් වලින් බනින එක, පේජ් වලට ගෙවල පොස්ට් දාන එක වගේ වැඩ දැන් කොහොමත් එදිනෙදා සත්‍යයක්. ඒ නිසා ඒ ගැන කතාකරන්න කාලය මිඩංගු නොකොට දැන් අවධානය යොමුකරන්න ඕන Communication Strategy එකට. ‘කියන්නේ’ මොනවද කියන එක නෙමෙයි ‘මෙහෙම කියන්න’ සලස්සන්නේ කවුද? කොහොමද? කොහෙද? කියන එක ගැන.

රෑට පිරිත් අහල නිදාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap