Opinion

පහන්තුඩාවේ එන්නත

Summary

“අවුරැදු හැටට වැඩි අයට ඉස්සර වෙලා තිහට වැඩි අයට එන්නත දෙන්න ඕන කියලා තීරණ ගත්ත උන් ගහගත්ත එන්නත මොකක්ද කියලා මට දැන ගන්න ඕන. මොකද ඒවගේ ඔළමොට්ටල තීරණ ගත්තේ ලැබුණු ඉන්ජෙක්ෂන් එකේ වරදින්ද කවුද දන්න?”

  • Save

කෝවිඩ් වැක්සීනය ලබා ගැනීමට අකමැති පිරිසක් හැම රටකම වෙසෙති. මේ සිරිලක ද ඊට විරැද්ධව නානාවිධ අදහස් සමාජගත වී ඇත.
“මම නම් එන්නතට විරැද්ධයි. ඒකේ සැගවුණු බලයකට පුළුවන්ලු අපිව ‘වහල්ලු’ කරන්න” එක් මිතුරෙක් කීවේය.
“ඒ වුණාට කෝවිඩ් එන්නත ලංකාවට ආවේ 2021 ජනවාරි මාසෙනේ?”
මිතුරාට මා කියූ දෙය වැටහුණේ නැත.
“ඇමරිකන් එන්නත ගහපුවම අපි ඇමරිකන් ගැති වෙනවලු” තවත් මිතුරෙක් කීය.
“විශ්වාස කරන්න අමාරැයි. අඩුගානේ යූඇන්පී ආණ්ඩුවක් කාලෙවත් කිව්වනම් පොඩ්ඩක් හිතලා බලන්න තිබුණා” තවෙකෙක් වහා විරැද්ධ විය.
“එක අතකට උන්ට ගැති වෙන එක හොද නැද්ද බං මුන්ට ගැති වෙනවට වැඩිය?” අදහස් ගලා එන්නට ගති.
“ඒත් අපි ගැහුනව් චීන එන්නතනේ” අයෙක් දුකින් කීහ.
“ඒ ගැන නම් බිංදක්වත් පසුතැවිලි වෙන්න එපා. මොකද උන් අපිට ඉන්ජෙක්ෂන් එක දීලා දැන් සෑහෙන කාලයක්. අමුතුවෙන් වෙන්න දෙයක් නෑ දැන්” චීන විරෝධියෙක් රතු ධජයක් එසැවීය.
“එන්නත ඇතුලේ චිප් එකක්තියෙනවලු. ඒකෙන් උන්ට පුළුවන්ලු අපිව කන්ට්‍රෝල් කරන්න” තාක්ෂණය පිළිබඳ දැනුමැතියෙක් කීවේ.
“සමහර දොස්තරලා මේසන් බාස්ලා හදපු පැණි ගන්න පෝලිමේ ගියා මතකද? ද්‍රවයක් ඇතුලේ චිප් එකක් තියෙනවා කිව්වම හරියට මොකක් වගේද ඔහේලට දැනෙන්නේ?” මම ඇසුවෙමි.
“ඒවා අමු තකතීරැ කතා වුණාට මටත් ප්‍රශ්නයක් තියෙනවා එන්නත් ගැන” එතෙක් වෙලා නිහඬව සිටි මිතුරියක් මුව විවර කළාය.
“ඒ මොකක්ද?”
“අවුරැදු හැටට වැඩි අයට ඉස්සර වෙලා තිහට වැඩි අයට එන්නත දෙන්න ඕන කියලා තීරණ ගත්ත උන් ගහගත්ත එන්නත මොකක්ද කියලා මට දැන ගන්න ඕන. මොකද ඒවගේ ඔළමොට්ටල තීරණ ගත්තේ ලැබුණු ඉන්ජෙක්ෂන් එකේ වරදින්ද කවුද දන්න?” ඇය සැක පහළ කළාය.
“නෑ. නෑ. ඒ අය ගත්තේ ලංකාවෙම හදපු ඉන්ජෙක්ෂන් එකක්නේ. ඇයි මතක නැද්ද? ඒකත් පෝළිමේ ගිහින්නෙ අපි දුන්නේ” මිතුරෙක් අතීතය සිහි කළේය.
“එතකොට මේ වැක්සීන් ගැන තියෙන දුර්මත සමාජයෙන් අයින් කරලා මිනිස්සුට වැක්සීනය ගන්න පොලඹවන්න ආණ්ඩුව කරන්නේ කොයි වගේ දැනුවත් කිරීමක්ද?” පිටරටක සිට සම්බන්ධ වූ මිතුරියක් ඇසුවා.
“වෙළද සංගම් ස්වයං ලොක්ඩවුන් දාගත්තා වගේ තමයි. මේ කාරණේ ගැන උනන්දු සමාජ ක්‍රියාකාරිකයෝ තමන්ට හැකි තරමින් වීඩියෝ හදලා සමාජජාලාවලට නිකුත් කරනවා. මේ වෙලාවේ ආණ්ඩුව කරන්න ඕන වැඩ, ප්‍රගතිශීලී මිනිස්සු පුද්ගලික – සාමූහික මට්ටමි වලින් කරනවනේ” මෙරටින් මිතුරියක් පිළිතුරැ බැන්දාය.
“දැන් එතකොට ඒ විඩියෝ බලලා මිනිසුන්ගේ අදහස් වෙනස් වෙලා ඒ අය එන්නත ගන්න යනවද?” එතෙර මිතුරිය ඇසුවාය.
“ඒක නම් හරියටම තාම කියන්න බෑ” මෙතෙරින් ලැබුණේ එවන් අවිනිශ්චිත පිළිතුරකි.
“හරි. මට මරැ අදහසක් ආවා එන්නතට අකමැති උන් කැමති කරව ගන්න. මේක ඇහුවම අවුරැදු සීය වෙනකම් ඕන එකෙක් එන්නත ගන්න පෝළිමේ යනවා තනි කකුළෙන්” මිතුරෙක් උද්දාමයෙන් පැවසුවේය.
“ඒ මොකක්ද?” අපි කිහිප දෙනෙකුම එකවර ඇසුවෙමු.
“පහන්තුඩාවේ ජෝඩුවට එහෙම හැසිරෙන්න හිතුනේ කලට වේලාවට එන්නත් දෙකම ගත්ත නිසා කියලා දැන්වීමක් දාමු”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap