Opinion

ප්‍රභාකරන් පරද්දලා දිනාගත්ත නිදහස අපි චීනෙට හරි ඇමරිකාවට පාවලා දෙනවා නම් ඒක වීරකම නෙමෙයි

Summary

ජයග්‍රහණයක් නොවන ඕනෑම දෙයක් මහා ජයග්‍රහණයක් කියලා හිතාගැනීමේ හැකියාව අපට තියෙනවා. එහෙම ගත්තාම සියේට තුනක් නෙමෙයි සීයේට අනූනමයක් ම මේ රටේ ඉන්නෙ වහල්ලු.

  • Save

ඇමරිකාව වියට්නාමය ඉස්සරහ දණ ගැහෙව්වා. ඊට පස්සෙ ඇමරිකාව ගැන තිබුණ හුඹස් බය බොහෝදුරට අඩුවුණා. හැබැයි ඇමරිකාවේ වැඩකටයුතුත් ඊට පස්සෙ ඊට වඩා සූක්ෂම වුණා. තමන් අත පුච්චා ගන්නේ නැතිව බළලුන් ලවා කොස් ඇට බාවා ගැනීමේ පිළිවෙත් ඊට පස්සෙ ප්‍රවර්ධනය කළා. රම්බෝලා චිත්‍රපටිවලට විතරක් සීමා කරලා අල්කයිඩා අයිඑස්අයිඑස් වගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළා.

ඇමරිකාව විතරක් නෙමෙයි චීනෙත් වියට්නාමය එක්ක යුද්ධ කරලා පැරදුණා. හැබැයි මේ චීනෙ නෙමෙයි සමාජවාදී චීනෙ. සමාජවාදී චීනෙ අන්තිම කාලෙ වගේ ඒක වුණේ. කොහොම හරි චීනෙටත් බැරිවුණා යුද්ධෙන් වියට්නාමය මට්ටු කරන්න. යුද්ධෙකදී ආයුධ බලය වගේ ම ජනතාවගේ වීරත්වයත් තීරණාත්මකයි.

අද ඇත්තමට ගත්තොත් ඇමරිකාවට වඩා චීනෙ බලවත්. ඒ් නිසා චීනෙන් ආරක්ෂා වීමේ ක්‍රම ගැනත් හිතන් ඕනැ. මේක චීන විරෝධයක් නෙමෙයි. බලවත් වෙන්න වෙන්න මිනිසුන්ට වගේම රටකට වුණත් වරදින තැන වැඩිවෙනවා.

අපි යූඇන්පියෙන් ආරක්ෂා වෙන හැටි ගැන හිතනවා. ජේවීපී එකේ වැඩි මතවාදවලින් ආරක්ෂා වෙන එක ගැන  හිතනවා. රාජපක්ෂ පවුල්වාදයේ අනිටු ප්‍රතිවිපාකවලින් ගැලවෙන හැටි ගැන හිතනවා. පොන්සේකා මහත්තයාගේ නරක ගැන වගේම හොඳ ගැනත් හිතනවා. සන්නස්ගල කියන දේවල් ආරුලුබූරුලු ඇරලා ගන්න එක ගැන හිතනවා. මේ ඒ කවුරුවත් එක්ක තියෙන තරහට නෙමෙයි. ඒක තමයි කටයුතු කළ යුතු ආකාරය. කෝකටත් සූදානම් සරීරෙන් කියන්නෙ. කෝකටත් පරිස්සමෙන් කියන්නෙ. මනුස්සයෝ හැටියට අපි අනුගමනය කරන ඒ ක්‍රම රටක් හැටියට ඊටත් වඩා අනුගමනය කරන්න ඕනැ.

ඒත් එදා ඇමරිකන් සල්ලිවලින් ඇතැම් කටවල් වැහුණා. ඇතැම් කටවල් ඇරුණා. ඒ විදිහටම අද චීන සල්ලිත් ක්‍රියාත්මක වෙනවා. හැබැයි සමහරවිට අනුන් ලවා කියවන්න වියදම් කරන්නෙ නැතිව චීන තානාපති කාර්යාලමත් ඒ දේ කරනවා. චීන සල්ලි ලැබෙන්නෙ නැතිව චීන සල්ලි ගැන හිතලා වැහෙන කටවල් තියෙන්නත් පුළුවන්.

කොහොම නමුත් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කතාව චීන කතාවක් විදිහට තවත් ඉස්සරහට යන්න අවශ්‍ය නෑ.

ඒත් අපි චීනෙන් ගැලවෙන්න හදන්නෙ තවම යුරෝපයෙන් හරි ඇමරිකාවෙන් හරි හරියට ගැලවෙන්නෙ නැතිව. ඇමරිකාවේ යුරෝපේ ආධිපත්‍යය ඇතුළේ ඉඳගෙනම අපි මේ රටේ සමාජවාදය එහෙම නැතිනම් ලිබරල්වාදය බිහිකරන්න හදනවා. අපේ තියෙන්නෙ එහෙම වැඩ. කියන්නෙ කෙරෙන වැඩ වලට වඩා නොකෙරෙන වැඩවලට අපි කැමතියි. එතකොට ඒවා හැමදාම කරකර ඉන්න පුළුවන්.

ප්‍රභාකරන් පරද්දලා අපි දිනුව බව ඇත්ත. ඒත් අපිට දිනාගන්න බැරිවුණ සටන් තවත් ගොඩක් තියෙනවා. අපි ගොවිතැන් කරන්නෙ වසවිස දාලා. ප්‍රභකරන්ගෙ ත්‍රස්තවාදෙන් දැන් මිනිස්සු මැරෙන්නෙ නැතිවුණාට මේ වස විස කාලා වකුගඩු රෝගවලින් පිළිකාවලින් මිනිස්සු මැරෙනවා.

කොරෝනාව පිටරට වෛරසයක් වුණත් සුද්දො හරි චීන්නු හරි ඇවිල්ලා ඒක මේ රටේ පතුරුවන්නෙ නෑ. අපිමයි පතුරුවා ගන්නේ. ඕනෑනම් ආණ්ඩුවයි ජනතාවයි එකතු වෙලා කියන්න පුළුවන්.

ත්‍රස්තවාදී සටන දිනුවා නම් මේ සටන අපට දිනන්න බැරි වෙන්නෙ නෑ.

රටක් දියුණු වෙන්නෙ යුද්ධයක් එක්ක. යුද්ධෙන් පැරදුනාට ජපානෙ වැටුණෙ නැත්තෙ යුද්ධෙ එක්ක පණ ගැන්වුණ යාන්ත්‍රණය නොමැරුණු නිසයි.

යුද්ධය අපි දිනුවේ අවුරුදු තිහක් පුරා ජාතිකත්වය පණ ගැන්වීමෙන්. ඒ පණ ගැන්වූ ජාතිකත්වය ඉදිරියට ගෙන ගියා නම් අපට වෙන ආර්ථික න්‍යායයන් අවශ්‍ය වෙන්නෙ නෑ.

විශේෂයෙන්ම යුද්ධය ජයග්‍රහණය කළේ ඔක්ස්ෆඩ් ෆුල්බ්‍රයිට් උගත්තු නිසා නෙමෙයි. ගමේ ගොඩේ කොල්ලන්ගේ මොළේ යුද්ධය හමුවේ වූ  අභියෝග සමග අවදි වූ නිසයි.

 ඒ අවදි වූ මොළ ආර්ථික ගමන ඉස්සරහට ගෙනයාම සඳහා අඛණ්ඩව ඉදිරියට ගෙනයන්න තිබුණා. ඒත් ඒක වුණේ නෑ. යුද්ධය අවසන් වුණාට පස්සෙ ආයෙත් අර ඔක්ස්ෆඩ් කේම්බ්‍රිජ් ෆුල්බ්‍රයිට් සෙන්තෝමස් රාජකීය මොළ යළිත් පෙරමුණට ආවා. අපේ ගමන අඩපණ වුණා. ප්‍රභාකරන්ගෙන් ගැලවෙලා ආපහු චීනෙට ඇමරිකාවට යටවෙන තැනට ආවා.

යුද්ධය ජයගත් රණවිරුවා ඉහළින් තබා ඒ පිටුපස පැවති දේශීය බලවේගය අකර්මණ්‍ය කරවීමක් සිදුවුණා. රණවිරුවා ආරක්ෂා කිරීම යනු ඔවුන් නිර්මාණය කළ දේශීය බලවේග රැකගැනීම හා පෝෂණය කිරීමයි.

මේ ඇති. වැඩිය ලිවීමෙන් හා කියවීමෙන් සිදුවන්නේ ක්‍රියාවෙන් නොව කියවීමෙන් ම තෘප්තිමත් වීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap