Opinion

ප්‍රශ්නය: මහර යන්නේ කොහොමද? පිළිතුර: මල්ලේ පොල්!

Summary

රජය මෙන්ම ආණ්ඩු විරෝධීන්ද මහර බන්ධනාගාර කෝලාහලය දකින්නේ එක් සිද්ධියක්, කුමන්ත්‍රණයක් සහ මානව හිමිකම් උල්ලංඝනය වූ අවස්ථාවක් මිස මෙම කැරැල්ලට තුඩු දුන් වාස්තවික තත්ත්වයන් නොවේ.

‘Prison Riot’’ නොහොත් ‘‘බන්ධනාගාර කෝලාහලයක්’’ වනාහි සාමාන්‍ය සිරකරුවන් විසින් බන්ධනාගාර අධිකාරියට එරෙහිව ක්‍රියාත්මක කරන කැරැල්ලකි. බන්ධනාගාර කෝලාහලයකට තුඩු දෙන සාධක සංකීර්ණය. බන්ධනාගාර ඇතුළත පවතින තදබදය, ඉතා දුර්වල සනීපාරක්ෂක, පහසුකම් සහ සෞඛය සේවා, සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති අයුතු සම්බන්ධතා සහ තවත් බොහෝ දේ මෙයට ඇතුළත් විය හැකිය. මෙවැනි කෝලාහල ඉතා භයානක වීමට ඉඩ කඩ බොහෝය පසුගිය සතියේ මහර බන්ධනාගාරයේ ඇති වූ කෝලාහලයෙන් රැඳවූවෝ එකොළොස් දෙනකු මිය ගොස් තවත් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

බන්ධනාගාර කෝලාහලයක් ඇති වීමට තුඩු දුන් වාස්තවික කාරණා පිළිබඳ සොයා බැලීම පසෙකලා රජයේ ක්ෂණික ප්‍රතික්‍රියාව වූයේ ‘‘අදිසි හත්සයක්’’ විසින් කැරැල්ල මෙහෙය වූ බව සහ වැලිකඩ සිට මහරට මාරු කරන ලද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු රැඳවූවන් අතර මත්ද්‍රව්‍ය බෙදා හැර ප්‍රචණ්ඩත්වයට පොලඹවා ඇති බව සමාජගත කිරීමයි. ආණ්ඩු විරොධී පිරිස් ද ක්ෂණිකව ඇදී ගියේ 2012 මහින්ද රාජපක්ෂ රජය යටතේ වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ කෝලාහලය මැඬපැවැත්වීම සඳහා ගත් දැඩි පියවර විවේචනය කිරීම සහ වත්මන් ජනාධිපතිවරයාට මින් පෙර එල්ල වූ චෝදනා සිහිපත් කිරීමයි. ඔවුන්ගේ අරමුණ රැඳවුවන් නොව, 2021 ජිනීවායි.

මෙම කණ්ඩායම් දෙකම මහර බන්ධනාගාර කෝලාහලය දකින්නේ එක් සිද්ධියක්, කුමන්ත්‍රණයක් සහ මානව හිමිකම් උල්ලංඝනය වූ අවස්ථාවක් මිස මෙම කැරැල්ලට තුඩු දුන් වාස්තවික තත්ත්වයන් නොවේ.

ඉතිහාසය පුරාම ලෝකයේ විවිධ රටවල සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරීන් සිරගෙවල්වල ඇති වූ කෝලාහලවලින් ජීවිතක්ෂයට පත්වී ඇත. බන්ධනාගාර කෝලාහලයක් උත්ප්‍රේරණය විය හැක්කේ විවිධ කල්ලි අතර ඇතිවන ගැටුම්, සමූහ ප්‍රචණ්ඩත්වය ඇතැම් සිරකරුවන් විසින් පැන යාමට දරන ප්‍රයත්න වැනි හේතූන්ය. මේ සියල්ලේ ප්‍රතිඵලය වන්නේ රැඳවූවන්ගේ සහ නිලධාරීන්ගේ මරණය සහ දේපොළ විනාශයයි. වර්තමානයේද, බන්ධනාගාර කැරලි යනු ලෝකයේ බන්ධනාගාර පද්ධතිය පුරා සිදුවන සාමාන්‍ය සිදුවීමකි.

2016 අග භාගයේදී එංගලන්තයේ බෙඩ්ෆර්ඩ් බන්ධනාගාරය තුළ සිරකරුවන් 200ක් පැය 6කට වැඩි කාලයක් බන්ධනාගාර පරිශ්‍රය වටලනු ලැබීය. ඔවුන් මැඬපැවැත්වීමට ක්‍රියාත්මක කළ මෙහෙයුමෙන් වාසනාවකට මෙන් තුවාල ලැබුවේ එක් සිරකරුවෙක් පමණි.

1979 ඉරාන විප්ලව සමයේ ඉරානයේ රජ රෙසා ෂා පැහැල්වීගේ පරිගණක වැඩවල යෙදී සිටි ඇමරිකානු ජාතිකයන් දෙදෙනකු අයතුල්ලා කුමේනිගේ භට පිරිස් විසින් අල්ලා සිරගත කරන ලදී. එම ඇමරිකානුවන් දෙදෙනා සිරගෙදරින් පන්වා ගැනීම සඳහා ඔවුන් සේවය කළ සමාගමේ අධිපති රොස් පෙරොට් විසින් ආතර් සයිමන් නමැති හේවායකු මාර්ගයෙන් බන්ධනාගාරය තුළ කැරැල්ලක් ඇති කළේ ඉතා සූක්ෂ්ම ලෙසින්ය. රෙසා ෂා ගේ සිරකරුවන් පන්වා ගැනීමේ අපේක්ෂාවෙන් සයිමන් විප්ලවවාදීන් පිරිසකට සිරගෙදරට පහරදීමට ඒත්තු ගැන්වීය. එය සාර්ථක වී කෝලාහලයක් ඇති වූ අතර ඇමරිකානුවෝ දෙදෙනා සිරගෙදරින් පැන ගියෝය.

2017 බ්‍රසීලයේ රියෝද ජැනිරෝ නගරයේ ඇති වූ බන්ධනාගාර කෝලාහලයකින් රැඳවුවන් 56ක් මියගොස් තව කිහිප දෙනකු තුවාල ලැබීය. බලධාරීන් පැවසුවේ එය ප්‍රතිවාදී පාතාල කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමකින් ආරම්භ වූ බවයි. මෙම ගැටුමේදී කල්ලි දෙකට අයිති සිරකරුවන්ගේ හිස ගසා මරා දමන ලදී. බන්ධනාගාර නිලධාරීන්ව ප්‍රාණ ඇපකරුවන් ලෙස පැය 18කට වැඩි කාලයක් රඳවා ගත්තේය. මෙය බ්‍රසීලයේ සිදු වූ දරුණුතම බන්ධනාගාර කෝලාහලය විය. මෙම කෝලාහලය සිදු වූ කාල වකවානුවේ වාර්තා වුණු සුවිශේෂී තොරතුරු වන්නේ මෙම බන්ධනාගාරයේ තිබුණු තදබදයයි. රැඳවුවන් 592ක් වාසය කළ හැකි පරිශ්‍රයක 1224ක් රඳවා තිබුණේ බ්‍රසීල රජයේ නොදැනුවත්කම නිසා නොවේ.

2001 දී ඇෆ්ගනිස්ථානයේ කල-ඉ-ජං බන්ධනාගාරයේ රඳවා සිටි තලේබාන් සිරකරුවන් කිහිප දෙනෙක් කැරලි ගැසූහ. ඔවුහු ආයුධ ගබඩාවට ඇතුළු වී ආයුධ සොරකම් කොට වෙඩි තැබීම ආරම්භ කළහ. කෝලාහලයෙන් මියගිය පළමු පුද්ගලයා සී.අයි.ඒ. නියෝජිත මයික් ස්පෑන්ය. සිරකරුවකු විසින් එල්ල කළ අත්බෝම්බයකින් ස්පෑන් සහ රැඳවූවන් කිහිපයක් මියගියහ. කෝලාහලයක දින දෙකකට පසු ඇමරිකානු සහ මිත්‍ර හමුදා බන්ධනාගාරය වටලා සිරකරුවන්ට පහර දුන්හ. සිරකරුවන් නවාතැන් ගෙන සිටි බිම් මහලද හමුදාව විසින් පෙට්‍රල් දමා විනාශ කර දමන ලදී.

1992 දී බ්‍රසීලයේ සව් පාම්ලෝහි කැරැන්දිරු බන්ධනාගාරයේ රැඳවූවෝ පාපන්දු ක්‍රීඩා කරමින් සිටියහ. ක්‍රීඩාව ගැටුමක් බවට පරිවර්තනය වීමට බන්ධනාගාර තුළ ඇති ඉඩකඩ බොහෝය. එයට හේතුවන්නේ සිරකරුවන්ගේ මානසික මට්ටමයි. කැරැල්ල මැඬපැවැත්වීමට බලධාරීන් විසින් භට පිරිස් යැවීමට පෙර ඔවුන් සිරකරුවන් සමග පැයක් පමණ සාකච්ඡා කිරීමට උත්සාහ ගත්හ. සාකච්ඡා අසාර්ථක වීමෙන් විනාඩි 30ක් ඇතුළත බලධාරීන් විසින් සිරකරුවෝ 111ක් ඝාතනය කරනු ලැබූහ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගෙන ගිය පරීක්ෂණයේදී බන්ධනාගාර නිලධාරීන් 74 දෙනකු මිනීමැරුම් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට තීන්දු විය.

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ කෝලාහල මූලික වූයේ කොවිඩ -19 වසංගත තත්ත්වයත් සමග බන්ධනාගාර පරිසරයේ ඇති අවදානම් ස්වාභාවයයි. රැඳවූවන් 183 දෙනකුට කොවිඩ් -19 වැලඳී ඇති බව හෙළි වූ සැණින් අනෙක් රැඳවූවෝ තමන්ව එම බන්ධනාගාරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියහ. ඔවුන්ගේ ඉල්ලීම ඉටු නොවූ නිසා ඔවුන් දරුණු ලෙස කෝලාහලයකට අවතීර්ණය විය. සමහර පාතාල කොටස් සිරගෙවල්වල ප්‍රචණ්ඩත්වය උග්‍ර කොට තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා මෙවැනි උසි ගැන්වීම් කිරීමට ඇති ඉඩකඩ බොහෝය.

එහෙත් මෙහිදී වැදගත් වන්නේ එවැනි උසිගැන්වීම්වලට සහ කෝලාහල ඇති කිරීමට ඇති අවස්ථාවන් අවම කිරීමයි. කෝලාහල ඇතිවීමට මූලික වන වාස්තවික හේතූන් මනාව තේරුම් ගෙන බන්ධනාගාර අධිකාරිය විසින් පියවර ගැනීම මෙහිදී වැදගත් වේ. කොවිඩ් – 19 දෙවැනි රැල්ලක් සමග බන්ධනාගාර අවදානම් කලාප ලෙස තේරුම් ගෙන ඒවාට නිසි සෞඛ්‍ය සේවා පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වේගවත්ව සිදු කිරීම අත්‍යවශ්‍ය පියවරකි. එක් බන්ධනාගාරයක් තුළ ඇති වූ භීතිය සහ නොසන්සුන්තාව අනෙක් බන්ධනාගාර තුළ ද ඇතිවීමට ඇති අවස්ථා බො හෝය. බන්ධනාගාර රැඳවූවන්ගේ මානසික මට්ටම පිළිබඳ අමුතුවෙන් කිවයුතු නැත. ‘‘Herd Mentality’’ නොහොත් කල්ලි / රංචු මානසිකත්වය යනු කිහිප දෙනෙක් විසින් කරන බලපෑම් හේතුවෙන් මුළු බන්ධනාගාරයේම රැඳවුවන්ගේ චිත්තවේගය සහ හැසිරීම ක්ෂණයකින් වෙනස් කළ හැකි බවයි. මෙම ස්වභාවය තද බද ලෙස ක්‍රියාත්මක වන එක් පරිසරයක් වන්නේ බන්ධනාගාරයයි. බෝගම්බර සහ මීගමුව බන්ධනාගාර තුළ සිදු වූ නොසන්සුන්කාරී තත්ත්වයක් තුළින් හැඟී යන්නේ කොවිඩ් – 19 වසංගතයේ පැතිරීමත් සමග රැඳවූවන් තුළ භීතියෙන් පිරි රංචු මානසිකත්වය වර්ධනය වෙමින් පවතින බවයි.

මෙවැනි අවදානම් පරිසරයක් තුළ කොවිඩ් – 19 පරීක්ෂණ වේගවත් කිරීමට හෝ ආසාදිත රැඳවූවන් සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳ පෙර සූදානමක් බන්ධනාගාර බලාධිකාරයට නොතිබුණේ මන්ද? වසංගතය ව්‍යාප්ත වී දස මසක් යන තුරු මේ පිළිබඳ කල්පනා නොකිරීම බරපතළ අඩුපාඩුවකි. කිසිම ආපදාවකට පෙර සූදානමක් නොතිබීම ‘‘මේ රටේ හැටි’’ යැයි තවදුරටත් කිව නොහැකිය. පවතින වසංගත තත්ත්වය කළමනාකරණය කිරීමේදී අනාගත සිදුවීම් අපේක්ෂා කොට ඒ සඳහා සූදානම් වීම බන්ධනාගාර අධිකාරියේ වගකීමකි. මෙහිදී බන්ධනාගාර නිලධාරීන් සිහියට ගත යුතු වැදගත් කාරණයක් තිබේ. එනම් නීතිය ඉදිරියේ වැරදිකරුවන් ලෙස මෙම රැඳවුවන් බන්ධනාගාරයට නියම කරන විට බන්ධනාගාර අධිකාරියේ කර්තව්‍ය වන්නේ රැඳවුන්ගේ භාරකාරීත්වය තම අරමුණ කර ගැනීමයි. ‘‘භාරකාරිත්වයේ’’ එක් මානයක් වන්නේ රැඳවූවන් සුරක්ෂිත ලෙස බන්ධනාගාර රෙගුලාසිවලට අනුකූලව තබා ගැනීමයි. මෙහිදී රැඳවූවන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම බන්ධනාගාර අධිකාරියේ වගකීමකි. කැරැල්ල මැඬපැවැත්වීම සඳහා මැදිහත්වීමට බන්ධනාගාර අධිකාරිය සතුව බලය ඇති නමුත් රැඳවූවන්ගේ සෞඛ්‍ය සනීපාරක්ෂාව සහ මානසික මට්ටම යහපත් තත්ත්වයක තබා ගැනීම සඳහා සම්පූර්ණ වගකීම දැරිය යුත්තේද නිලධාරීන්ය. බන්ධනාගාර තුළ ඇති අධික තදබදය රැඳවූවන්ගේ සෞඛ්‍යය, සනීපාරක්ෂාව සහ මානසික මට්ටම කෙරෙහි සෘජුවම බලපාන කාරණයය.

රැඳවුවන් 10,000ක් සඳහා නිර්මාණය කර ඇති බන්ධනාගාර පද්ධතියක අද එමෙන් තුන් ගුණයක් (30,000කට ආසන්න) සිරකර තිබේ. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඇති තදබදය යටත් විජිත සමයේ සිට පවතින තත්ත්වයකි. යටත් විජිත සමයේ සිට බන්ධනාගාර පරිසරය පිළිබඳ වාර්තා වුණු සෑම ලියකියවිල්ලක්ම ‘‘තදබදය’’ යන මාතෘකාව පොදුවේ විග්‍රහ කොට තිබේ.

වරදකරුවන් සිරගත කිරීම සඳහා ඇති නෛතික රාමුව තීරණය වන්නේ 1877 දී ඉංග්‍රීසීන් විසින් හඳුන්වා දුන් අංක 16 දරන බන්ධනාගාර ආඥාපනතෙන්ය. මෙය යල්පැන ගොස් ඇති අතර පශ්චාත් යටත් විජිත සමයේදී මෙම නීතිමය රාමුව ප්‍රතිසංස්කරණය වී ඇත්තේ හතර පස් පාරකී. බන්ධනාගාර තුළ භෞතික පරිසරය වැඩිදියුණු කිරීම සඳහා මෑත යුගයේ ක්‍රියාමාර්ග ගනු ලැබුවේ 2010-2011 වසර තුළදීය.

රැඳවූවන්ගේ වැසිකිළි පහසුකම් සහ සනීපාරක්ෂාව වැඩි දියුණු කළ වැඩසටහන්, රක්ෂිත බන්ධනාගාර ගතකළ අය වෙනම ස්ථානවලද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ හෝ එම ජාවාරමේ යෙදෙන්නන් වෙනත් ස්ථානවලද රඳවා තැබීම කාන්තා සහ ළමුන් සඳහා නව බන්ධනාගාර ඉදිකිරීම, පල්ලෙකැලේ විවෘත බන්ධනාගාරයෙන් ආරම්භ වුණු ‘‘Open prison’’ සංකල්පය සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවමට නියම වූ හැසිරීම අතින් යහපත් රැඳවූවන් සති 2කට තම පවුල් සමග වාසය කිරීමට ගම් බලා පිටත් කිරීම (Two week house stay) මෙම වසර තුළ පෙනුණු ප්‍රගතිශීලී පියවරය. එහෙත් එම ප්‍රගතිශීලී පියවර දිගටම ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. අභිනව පත් වූ බන්ධනාගාර ඇමැති සැලකිල්ලට ගත යුතු කාරණයකි. එනම් තම අමාත්‍යාංශයේ නාමය ‘‘පුනරුත්ථාපනය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ’’ යන බවය. මෙහි ‘‘ප්‍රතිසංස්කරණ’’වලට අදාළ කිසිදු කර්තව්‍යක් අද වන තුරු අඛණ්ඩව සිදුවී නැත. එහෙත් එය අමාත්‍යාංශයේ කාර්යභාරය සහ වගකීමකි.

ඇමැතිවරයා සහ ඉහළ නිලධාරීන් කළ යුතු දේ බොහෝය. ඒ සියල්ල තීරණය කිරීමට පෙර අලුයම කාලයේ සෑම බන්ධනාගාරයක්ම නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත වීම අත්‍යවශ්‍යය. එක් වැසිකිළියක් සඳහා පෙළ ගැසී සිටින සියයකට අධික සිරකරුවන් දකින විට ඔවුන්ගේ මූලික අවශ්‍යතා පැහැදිලිව තේරුම් ගත හැකිය. රැඳවූවන් වෙනුවෙන් මසකට වරක් සූදානම් කරන බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම් සහ හින්දු ආගමික වතාවත්වලට ඕනෑකමින් සහභාගි වීමද ඔවුන්ගේ මානසික මට්ටම තේරුම් ගැනීමට සහ ඔවුන්ගේ පක්ෂපාතීත්වය දිනා ගැනීමට වඩාත් උපකාරී වනු ඇත. ‘‘සිරකරුවන් මිනිසුන් බව’’ හොඳින් සිහියේ තබාගෙන ඉදිරි වැඩකටයුතු සැලසුම් කරගැනීම වඩාත් උචිත සහ ප්‍රඥාවන්ත ප්‍රවේශයකි.

[‘සති අග අරුණ’ පුවත්පතෙහි, 20.12.06 දා පළ වූ ලිපියෙන් උපුටා ගැනීමකි. මුල් ලිපිය සඳහා http://epaper.aruna.lk/Home/ShareArticle?OrgId=8f42dd95&imageview=0) වෙත පිවිසෙන්න.]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *