COLUMN

ප්‍රශ්න සහ විසඳුම්

Summary

දැන් තියෙන්නේ එක ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්න ගොඩක එකතුවක්. මතුපිටින් පේන ආර්ථික, දේශපාලන ප්‍රශ්නවලට අමතරව තවත් ප්‍රශ්න මහ ගොඩක් අපේ රටේ තියෙනවා. දැන් තියෙන “ක්‍රමය” (ක්‍රම) වෙනස්වෙන්න ඕන බවත් වෙනස්කරන්න ඕන බවත් මම පිළිගන්නවා. ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් දේවල් මම […]

දැන් තියෙන්නේ එක ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්න ගොඩක එකතුවක්. මතුපිටින් පේන ආර්ථික, දේශපාලන ප්‍රශ්නවලට අමතරව තවත් ප්‍රශ්න මහ ගොඩක් අපේ රටේ තියෙනවා. දැන් තියෙන “ක්‍රමය” (ක්‍රම) වෙනස්වෙන්න ඕන බවත් වෙනස්කරන්න ඕන බවත් මම පිළිගන්නවා. ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් දේවල් මම කරනවා. හැබැයි එක සැරේ පොල්ලකින් ගහලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. නිශ්චිත මතවාදී මගපෙන්වීමක් නැතුව කරන විප්ලව ඉවරවෙන්නේ තවත් අලුත් ප්‍රශ්න ගොඩක් උපද්දවලා.

1998 – 2002 කාලයේ ආර්ජන්ටිනාවේ ඇතිවෙච්ච ආර්ථික ප්‍රශ්නය වෙලාවෙත් මිනිස්සු කලබලකරන්න පටන්ගත්තා. ඒ මිනිස්සු තැන්පත් වුණේ සෑහෙන කාලයක් කලබල කරලා. කෙටි කාලයක් ඇතුළත තමන්ගේ හිත් හදාගන්න මිනිස්සුන්ට බෑ. ඉතින් මේ විදිහේ කලබල දිග්ගැහෙනවා. දවසින් දෙකෙන් ඉවරවෙන්නේ නෑ. එක සතියක ඇතිවෙන කලබල ඊ ළඟ සතියේ නැතිවෙන්න පුළුවන්. ඒත් තව සතියක් යද්දි මිනිස්සු ආයෙත් කලබලකරනවා. ඉතින් 2001 දෙසැම්බර් 20 සහ 2002 ජනවාරි 2 කාලය (සති දෙක) ඇතුළත ආර්ජන්ටිනාවට ජනාධිපතිවරු පස් දෙනෙක් පත්වුණා.

ඒ විදිහේ කල්ගත වෙන අවුලක් වෙනුවෙන් අපිත් සූදානම්වෙන්න ඕන. කලබලේට ඡන්ද තියලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඡන්දයක් වෙනුවෙන් ලොකු පිරිවැයක් දරන්න වෙනවා. එහෙම පත්වෙන ආණ්ඩුවටත් ප්‍රශ්න විසඳන්න බැරිවුනොත් තවත් ඡන්දයක් තියෙනවා ද? එහෙම කරද්දි මිනිස්සු තව තවත් කලකිරෙන්නේ නැද්ද? අපේ රටෙත් වෙනස්කම් ගොඩක් කරන්න ඕන තමයි. හැබැයි මැතිවරණයකට නොයා ඒ වෙනස්කම් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

අපේ දේශපාලනයේ හදිසි වෙනස්කම් ගණනාවක් කරන්න ඕන තැනකට ඇවිල්ලා කියන එක කාටත් පැහැදිළියි. එහෙම හදිස්සි වෙනස්කම් කීපයක් කළොත් විතරයි මිනිස්සු තැන්පත්වෙලා මේ තියෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන්නේ. දැන් යෝජනා කරන මූලික ම හදිසි වෙනස තමයි “සියලු රාජපක්‍ෂලා” දේශපාලනයෙන් ඉවත්කිරීම. ඇතිවෙන “හිස්තැන්” ඊට පස්සේ පුරවාගන්න පුළුවන් බවයි මේ යෝජනාව ඉදිරිපත් කරන අයගේ අදහස.

“රාජපක්‍ෂලා” සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන විරෝධය හමුවේ ඒ අයට තවදුරටත් බලයේ ඉන්න අමාරු බව පැහැදිළියි. හැබැයි දැන් තියෙන ආර්ථික අර්බුදය කෙටි කාලයකින් ඉවරවෙන එකක් නෙවෙයි. ඉතින් මේ ඔක්කොම රාජපක්‍ෂලා දැන් ඉවත් කළොත් තව සති දෙකකට පස්සේ මිනිස්සු ආයෙත් පාරට බැස්සාම මොකද කරන්නේ? ඒ හින්දා මම නම් හිතන්නේ ක්‍රම ක්‍රමයෙන් කරන (Gradual) ඉවත්කිරීමක් ගැන. කලබලවෙන්න එපා. මේ කාරණය මම පැහැදිළිකරන්නම්.

බැසිල් මහත්තයාට ආයෙත් දේශපාලනයට එන්න ඉඩක් නෑ. ඒ හින්දා එතුමා අයින්කිරීමක් ගැන කතාකරන්න ඕනත් නෑ. තමන්ට දේශපාලන අනාගතයක් නැති බව දන්න ඒ මහත්තයා පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙනුත් අස්වෙන්න ඉඩ තියෙනවා. එහෙම කරලා ඒ මහත්තයා ආපහු ඇමෙරිකාවට යයි. (මේ ක්‍රියාදාමයේ යම් අවස්ථාවක ඇමෙරිකාව “අත් හෝදගන්න” බවත් බැසිල් මහත්තයා දන්නවා ඇති. ඒක ඒ මහත්තයාගේ වැඩක්. ඒ ගැන අපි වදවෙන්න ඕන නෑ).

මට හිතෙන විදිහට මේ වෙලාවේ මුලින් ම තනතුර අත්හරින්න ඕන මහින්ද මහත්තයා. ඒක අදම වෙනවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ කරන්න ඕන අගමැති තනතුරට දිනේෂ් ගුණවර්ධන මහත්තයා පත්කරන එක. ඒ වගේ ම, “ඇත්තටම අලුත්” ඇමැති මණ්ඩලයක් පත්කරන එක. දිනේෂ් මහත්තයා කියන්නේ දූෂණ චෝදනා එල්ලවෙච්ච කෙනෙක් නෙවෙයි. එතුමා වැඩට දක්‍ෂ ද නැද්ද කියන එක වෙනම කාරණයක්.
මෙහෙම වැඩක් කළාම සතියකට දෙකකට කලබල නවතින්න ඉඩ තියෙනවා. මේ වෙලාවේ කවුරු බලයට ආවත් විදේශ සංචිත වැඩිවෙන්නේ නැති බවත් තෙල්, ගෑස් ප්‍රශ්න විස‍ඳෙන්නේ නැති බවත් අපි තේරුම්ගන්න ඕන. ආර්ථික ප්‍රශ්න විසඳගන්න නම් රටම එකතුවෙලා ඒ වෙනුවෙන් කැපවෙන්න ඕන. ඒ වෙනුවෙන් මිනිස්සු තැන්පත් කරගන්න එකයි මූලික ම අවශ්‍යතාව.

ඉතින් මහින්ද මහත්තයා අගමැති තනතුරෙන් අයින්වෙලා ඒ තනතුරට දිනේෂ් මහත්තයා පත්වුනත් ලොකු වෙනසක් වෙන්නේ නෑ. ඒ හින්දා සති දෙකක් තුනක් යද්දි ආයෙත් කලබල ඇතිවෙන්න පුළුවන්. ඒ වෙලාවට තමයි තවත් රාජපක්‍ෂ කෙනෙක් ඉවත්කරන්න ඕන. මට හිතෙන විදිහට ඒ දෙවැනි වටයේ දී අයින්වෙන්න ඕන ගෝඨාභය මහත්තයා. ඒක කරන්න පුළුවන් ඒ මහත්තයා ඉල්ලා අස්වීමෙන්. එතුමා අස්වුණාම ජනාධිපති තනතු‍රට දිනේෂ් මහත්තයා පත්වෙනවා.

මේක ලොකු වෙනසක්. එහෙම වුනාම මිනිස්සුන්ට ආයෙත් තැන්පත්වෙන්න පුළුවන්. මෙහෙම වෙලාවක අගමැති තනතුරට පත්කරන්න ඕන කවුද? ඒ වෙනුවෙන් එච්චර ජනප්‍රිය කෙනෙක් පත්කරන්න ඕන කියලා මම හිතන්නේ නෑ. මිනිස්සුන්ගෙන් බැණුම් අහ අහා වැඩකරන්න පුළුවන් කෙනෙක් ඒ තනතුරට පත් කරගන්න එක වටිනවා. තමන්ගේ පීඩනය සහ අසහනය පිට කරගන්න අවස්ථාවක් ඒ හරහා මිනිස්සුන්ට ලැබෙනවා. ඉතින් මම මේ තනතුරට යෝජනාකරන්නේ එස්. බී. දිසානායක මහත්තයා.මේ පුටු මාරුවෙන් පස්සේ තවත් මාසයක් දෙකක් රට ඇදගන්න පුළුවන්. හැබැයි ඔය මොනවා කළත් ආර්ථික අවුල් ඉක්මනින් ලිහන්න බෑ. මේ හැම දෙයක් ම කරන්නේ මිනිස්සු ආර්ථික යුද්ධයට සූදානම්කිරීම වෙනුවෙන්. එහෙම වැඩකට කල් ඕන. ඉතින් ප්‍රශ්න විස‍ඳෙන්නේ නෑ කියලා තේරුම්ගියාම මිනිස්සු ආයෙත් කලබලකරන්න ඉඩ තියෙනවා.

අන්න ඒ වෙලාවට තමයි භාරකාර ආණ්ඩුවක් පත්කරන්න ඕන. ඒක කරන්න ඕන සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයෙන්. හැම දෙනාම එකතු කරගෙන රට නිවලා මාස හයක් ඇතුළත මහ මැතිවරණයක් කැඳවන වගකීම ඒ භාරකාර ආණ්ඩුවට පවරන්න පුළුවන්. ඊට පස්සෙත් ප්‍රශ්න තිබුණාට මිනිස්සු කලබල කරන එකක් නෑ. කලබල කරලා වැඩක් නෑ කියන එක ඒ වෙද්දි මිනිස්සු තේරුම් ඇරගෙන ඉවරයි.
එතකොට අනිත් රාජපක්‍ෂලා? මේ ක්‍රියාදාමය මැද්දේ ඒ අය ඉබේම දේශපාලනයෙන් ඈත්වෙයි කියන එකයි මගේ අදහස. මහින්ද මහත්තයාත් ගෝඨාභය මහත්තයාත් දෙන්නාම සභාවේ නැති හින්දා අනිත් රාජපක්‍ෂලාට පැවැත්මක් නෑ. ඉතින් ඒ අය ගැන වදවෙන්න ඕන නෑ.

Leave a Reply

Your email address will not be published.