Opinion

ප්‍රේමලාල් ජයසේකර, නීතියේ ආධිපත්‍යය මහ දවල් කෙළෙසීම සහ විපක්ෂයේ පුළුල් ම සටන් පෙරමුණ

Summary

ආණ්ඩුවත් එක්ක ඩීල් දාන්නෙ නැති, ආණ්ඩුවේ තුනෙන් දෙකේ බුල්ඩෝසර් බහුතරයට යට වෙන්නෙ නැති විපක්ෂයකට පුළුවන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයා බවට පත් වෙන්න.

මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයට යළි කවමදාවත් මකන්න බැරි කළු පැල්ලමක් අද එකතු වුණා.

ලෝක ඉතිහාසයේ මුල් වතාවට මිනිමැරුම් නඩුවකට වැරදිකරු වෙලා මරණ දඬුවමකට නියම වෙලා තියන කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදියට අද දිවුරුම් දුන්නා.

මේ සමග ජනසම්මතවාදයේ සියලු මූලධර්ම විහිළුවට ලක් කරලා තියනවා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුණු විසුණු කරලා තියනවා. නීතියේ ආධිපත්‍යය කෙළෙසලා තියනවා. නීතියෙන් දඬුවම් ලබන අපරාධකරුවන් මේ රටේ නීති සම්පාදනයට සුදුසුයි කියන පණිවිඩය ඉතා ම ප්‍රබල විදියට සමාජගත කරලා තියෙනවා.

මේ රටේ කුමක් හෝ සුබවාදී වෙනසක් කරන්න කියලා පහුගිය මැතිවරණ දෙකේ දී පොහොට්ටුවට චන්දෙ දුන්න හෘදය සාක්ෂියක් තවමත් ඉතුරු වෙලා තියන සියලු ම දෙනා මේ වන විට හදවතින් පසු තැවෙනවා ඇති. ප්‍රේමලාල් ජයසේකර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙන ඒ පින්තූරය තවත් අවුරුදු පහක් යනකල් ඔවුන්ගේ හෘදය සාක්ෂියට වද දෙන බව ඉතා ම පැහැදිලියි.

මේ සිදුවීමත් සමග රටට ලබා දෙන පූර්වාදර්ශය ඉතා ම භයානකයි. මිනීමැරුමකට දඬුමවමක් ලබලා එල්ලුම් ගස් ගියත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට සියලු වරප්‍රසාද ලබා ගන්න පුළුවන් කියන අතිශය නරක පණිවිඩය මෙයින් රටට ලැබෙනවා. මේක ඇතුළේ සමාජය ඉතා ම දරුණු විදියට පාදඩකරණයට ලක් වෙනවා. දේශපාලනඥයන්ට නීතිය කඩන්න පුංචි ම හරි බයක් ඉතුරු වෙලා තියනවා නම් ඒකත් මේ හරහා නැති කරලා තියනවා. මේ සමග මුළුමහත් ලංකාව ම එකම කැකිරිලන්තයක් බවට පත් කරලා ඉවරයි.

දැන් අපිට ඉතුරු වෙලා තියන එක ම අරගලය මේ රටේ ශිෂ්ටකම රැකගැනීමේ අරගලය විතරයි. මේ අරගලය අපි හිතුවාට වඩා අමාරුයි. විශේෂයෙන්ම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයක් නැති ගර්හිත රාජ්‍යයක් බවට පත් කරන්න අවශ්‍ය සියලු ම පිඹුරුපත් මේ වෙනකොට සකස් කරලා ඉවරයි. සියලු ම බලතල එක පුද්ගලයෙකු යටතට පත් කරලා චන්දයෙන් පත් වෙන රජෙක් යටතට මේ රටේ පාලනය නතු කරන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා. අද මේ විනාශයට ඉඩ දුන්නොත් අනාගත පරපුරට හෙට දවසේ ඉතුරු වෙන එක ම විකල්පය ස්වාසිලන්තයට හරි පැනගන්න එක විතරයි.

මේ ගමනට විරුද්ධව අද සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ ප්‍රබල විරෝධතාවක් පළ කළා. මෙතැනදි සමගි ජන බලවේගය දුන්න වැදගත් ම පණිවිඩය තමයි පාර්ලිමේන්තුවේ ශක්තිමත් විපක්ෂයක් වෙන්න ඔළු ගෙඩි ගාන වැදගත් නෑ කියලා. ආණ්ඩුවත් එක්ක ඩීල් දාන්නෙ නැති, ආණ්ඩුවේ තුනෙන් දෙකේ බුල්ඩෝසර් බහුතරයට යට වෙන්නෙ නැති විපක්ෂයකට පුළුවන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයා බවට පත් වෙන්න.

අද හවස ම “19න් ඉදිරියට” ජාතික ව්‍යාපාරය කෝට්ටේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් ගේ පිළිරුව අභියස විරෝධතාවක් දැක්වූවා. මැතිවරණයෙන් පස්සෙ මුල් ම වතාවට විපක්ෂයේ සියලු බලවේග දැන් එක්තැන් වෙනවා. ඒ සටන් පෙරමුණට ඓතිහාසික කාර්‍යභාරයක් උරුම වෙලා තියනවා. ආණ්ඩුවේ අශිෂ්ටත්වයේ වියරුව අඳුරු වලාවක් නම් ඒ තුළ තියන රිදී රේඛාව තමයි විපක්ෂය හදන මේ දැවැන්ත සටන් පෙරමුණ.

නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සොයා යන ඒ දිග ගමනට අපි අන් කවරදාටත් වඩා ලෑස්තියි.

[‘සමගි සංදේශය’ නමින් ලියන ලිපි පෙළේ 20 වන කොටස]

Leave a Reply

Your email address will not be published.