Opinion

පාන්දර 3.30 දර්ශනයේ මැණිකෙ අක්කාගේ රංගනය ආනන්දයෙන් ප්‍රඥාවට ද? ප්‍රඥාවෙන් ආනන්දයට ද?

Summary

මේ නාට්‍යයේ ප්‍රධාන චරිතෙ රඟපෑවේ මැණිකෙ අක්කා. ඔසරිය ලස්සනට ඇඳීම අතින් බොහෝ අය ලංකාවේ පළවෙනි තැන දෙන්නෙ මැතිනිට. දෙවෙනි තැන චන්ද්‍රිකාට. ඒත් මගෙන් මැතිනිට ලැබෙන්නෙ දෙවෙනි තැන.

මිනිස්සු නාට්‍ය බලන්නෙ ආනන්දෙන් ප්‍රඥාවට යන්න නෙමෙයි.

දැං ගම්වල මිනිස්සු ටෙලිනාට්ටි බලනවා. ඉස්සර ගම්වල මිනිස්සු නාට්ටි කරනවා. මං ගමේ බලපු පළමුවෙනි නාට්‍යය පැල්පතටත් සද එළිය.

මේ නාට්‍යය පෙන්නුවේ ස්වාභාවික වේදිකාවක් උඩ. ඒ කියන්නේ සාමාන්‍ය බිමට ටිකක් උඩින් තිබුණ කණ්ඩියක් උඩ. එතන පොඩ්ඩක් සමතලා කරලා මඩුවක් ගහලා තිර දාලා ස්ටේජ් එකක් හදලා තිබුණා. ඉතින් නාට්‍ය බලන්න කළින් මේ තිරයකින් වැසි ඇති ස්ටේජ් එක දෙස බලාගෙන ඉන්න එකත් සතුටක්. තෑග්ගක් පාට කඩදාසියකින් ඔතලා තියෙනවා වගේ ලස්සණ තිරේකින් මඩුවකින් නාට්‍යයක් ඔතලා තිබුණා.

ඒක සමාජ නාට්ටියක්. ඉතින් නාට්‍යයේ ජවනිකාවක ගෙදර ආපු අමුත්තෙකුව සාලේ පුටුවක වාඩිකරලා තේකක් එහෙම දෙනකොට ඒ නිකම් ම පොළව මට පෙණුනෙ ගෙදරක සිමෙන්ති පොළවක් වගේ. බන්දේසියක තියලා ගෙන එන තේ කෝප්පෙට, ගෙන එන විදිහට, බොන විදිහට ඒ නිකම් ම පොළව සිමෙන්ති පොළවක් බවට පත්කිරීමේ හැකියාව තිබුණා. පොළව සිමෙන්ති පොළව කළේ තේ කෝප්පෙන්.

මේකෙ නම පැල්පතටත් සඳ එළිය. වෙඩි තියන දර්ශනයක් ගහගන්න දර්ශනයක් එහෙම තිබුණා. නළුවාට වෙඩි වදිනවා. නළුවා දඩාස් ගාල ඇද වැටෙනවා. කකුල් දෙක උඩ යනවා. උඩ ගිය කකුල් දෙක ආපහු පොළවට වැටුණට පස්සෙ ආයෙ අතපය හෙළවෙන්නෙ නෑ. කිරිහාමි වගේ තමයි. පණ ගිහිං. ඒත් වෙඩි වැදුණු නළුවා හොඳටම මැරිලා බව දැනෙන්නෙ නිළිය එයා ගාව බිම වාඩිවෙලා අඬන්න ගත්තට පස්සෙ. ඊට පස්සෙ අපට මැරුණ නළුවට වඩා නිළිය ගැන දුක හිතෙන්න ගන්නවා. දුක කියන්නෙ එක තැනක ඉන්න බැරි දෙයක්. එක එක තැන යන දෙයක්.

ඉතිං දුක් වෙවී ඉන්නවා. එතකොට තිරයත් වැහෙනවා. මාර දුකකින් අපිව වැහිල යනවා. ඒත් එතකොට තිරේට යටින් තියෙන හිඩැසෙන් අපිට පේනවා මැරිලා වැටිච්ච නළුවා නැගිටලා ඇවිදගෙන යන හැටි. පේන්නෙ වළලුකරෙන් පහල විතරක් බව ඇත්ත. ඒත් ඒ පේන ටික හොඳටම ඇති. එතකොට ඒක ගැන ඊටත් වැඩිය දුකක් ඇති වෙනවා. මුලින් මැරුණු එක ගැන දුකයි. ඒත් ඊට පස්සෙ ඊට වඩා දුකයි මැරිච්ච එකා නැගිට්ට එක ගැන. අපිට දුකත් එක්ක ඉන්න දෙන්නෙ නැතිව මැරිච්ච එකා නැගිටලා යනවා.

ඔන්න තිරේ ආයේ ඇරෙනවා. අපි මැරුණු එකයි මැරිච්ච එකා නැගිටලා ගිය එක ගැනයි හිත හිතා ඉන්න නිසා අපට ඒකෙ මුල කෑලි අහුවෙන්නෙ නෑ.. අපි ඔහෙ බලාගෙන ඉන්නවා විතරයි. ඔන්න එතකොට ම නිළිය දුකින් ගීතයක් ගයන්න පටන් ගන්නවා. ඩොලැක්ක පාර තදට වදින්න ගන්නෙ අර වෙඩිල්ලෙ සද්දෙ අමතක කරවමින්. ඇත්තටම ඩොලැක්කි ශිල්පියටත් ඔ්නැ අර වෙඩිල්ලටත් වඩා සැර ඩොල්කි පාරක් දෙන්න. ඒක වැඩ කරනවා. නිළියගේ ගීය අපේ කන් අස්සේ පමණක් නොවෙයි පන්සල් වත්තේ අඹ ගහේ අතු අස්සෙනුත් රිංගගෙන යන හැටි අපට පේනවා හඳ එළියටයි පැට්‍රෝල් ලාම්පු එළියටයි.

මේ නාට්‍යයේ ප්‍රධාන චරිතෙ රඟපෑවේ මැණිකෙ අක්කා. ඔසරිය ලස්සනට ඇඳීම අතින් බොහෝ අය ලංකාවේ පළවෙනි තැන දෙන්නෙ මැතිනිට. දෙවෙනි තැන චන්ද්‍රිකාට. ඒත් මගෙන් මැතිනිට ලැබෙන්නෙ දෙවෙනි තැන. චන්ද්‍රිකාට තුන්වෙනි තැන. මගේ ජීවිතේ මං දැකලා තියෙන ඔසරියෙන් සැරසුණු ලස්සනම කාන්තාව මැණිකෙ අක්කා. එතකොට මට අවුරුදු හතරක් පහක් විතර ඇති. සුරංගනාවකටවත් එච්චර ලස්සන විදිහට අදින්න‍වත් සුරංගනාවකටවත් එච්චර ලස්සනට අන්දවන්නවත් බෑ. මං හිතන්නෙ ඒ වෙනකොට මැණිකෙ අක්කට වයස අවුරුදු දහ අටක් දහනමයක් වගේ ඇති.

ගවුම ඇඳපු මැණිකෙ අක්කා ජීවිතේ මුල්වරට ඔසරියක් අඳින්න ඇත්තෙ ඒ නාට්ටිය රඟපාපු දවසෙ. ගමේ සමාජ නාට්ටිවලදී නගරෙ නාට්ටිවල වගේ නාට්‍යයට කලින් කොස්ටියුම් දාල බැලිල්ලක් නෑ. සාරියක් හරි කමිසයක් හරි කළිසමක් හරි කළින් හොයාගෙන තියෙනවා. නාට්‍ය දවසටම තමයි අඳින්නෙ.

මැණිකෙ අක්කා හිටියේ ජීවිතේ පළමුවරට ඔසරියක් ඇඳීම ගැන කියාගන්න බැරි තරම් සන්තෝසෙකින්. ගමේ මිනිස්සු හිටියේ ඔසරියට මැණිකෙ මෙච්චර ලස්සන ද කියලා හිතාගන්න බැරිව.

කොහොම හරි එතන තිබුණ ලොකුම දේ ඔසරිය ඇන්දට පස්සෙ මැණිකෙ අක්කට ආව විනීතකම. සංවරකම. ඇගේ හැම දෙබසකම ඔසරියේ විනීතකම තිබුණා. ලතාව තිබුණා. ඒක අදහගන්න බැරි තරම් ආකර්ෂණීය රංගනයක් වුණේ ඒ නිසයි. දෙබස්වල කතාවේ විතරක් නෙමෙයි ගමනෙත් ලතාව තිබුණා. ඔසරියේ විනීතකමට ඔසරියේ ලස්සනට සරිලන සේ ඇවිද යාම, ලස්සනට ඉඳගෙන සිටීම, හැරී බැලීම ඒ හැම දෙයක්ම මැණිකෙ අක්කා හරියටම කළා. ඇත්තටම මං ඔසරිත් දැකලා තිබුණා. එහෙම ඔසරියක් නං ඒ වෙනකං දැකලා තිබුණෙ නෑ.

කොහොම වුණත් ඔසරියට ගැලපෙන රඟපෑමක් කරන්න හැම නිළියකටම බෑ. මැණිකෙ අක්කා මට නිළියක් කියලා හිතුණේ නෑ. මට පුදුමෙ තිබුණේ සාමාන්‍ය විදිහට දැක තිබුණ මැණිකෙ අක්කා මේ නාට්‍ය තුළ මේ වගේ චරිතයක් වුණේ කොහොමද කියලා. මං දැකලා තිබුණ මැණිකෙ අක්කා මං කවදාවත් දැක නැති චරිතයක් වුණේ කොහොමද කියලා. ඒ පුදුමෙන් තමයි මං මුළු නාට්‍යයම බැලුවේ.

හැම නිළියෙකුටම එහෙම චරිතයක් කරන්න බෑ. මැණිකෙ අක්කගේ තාත්තා ඒ කාලේ ගමේ හිටපු දක්ෂම නළුවා බවට අපේ තාත්තා කියලා තිබුණ කතාව මට ජීවිතේ පළමුවරට මැණිකෙ අක්කාගේ රංගනය සමග ගැලපිලා මතක් වෙන්නෙ අද මේ විදිහට ලියාගෙන යද්දි.

එදා පුංචි කාලෙ එය මට ප්‍රහේළිකාවක්. ඔසරියකට මෙච්චර පණක් ලැබුණේ කොහොමද කියලා. ඒත් දැන් ඒ පොඩි කාලේ තිබුණ විස්මය ඒ විදිහටම හිතේ තියෙන අතර ම තවත් අලුත් විස්මයක් හිතේ මතුවෙනවා. නළුකමේ විස්මය. සොඳුරු සිහිනයක් දකිමින් ඒක අපටත් පෙන්වීම.

ඒක තමයි මං අවදියෙන් දැකපු පළමු හීනය. පැල්පතටත් සඳ එළිය. නාට්‍යයේ නම. පෙන්නන්න පටන්ගත්තෙ පාන්දර තුනට. සල්පිල් නාට්‍ය පෙන්වන්නෙ හවස 3.30ට 6.30ට නෙමෙයි පාන්දර තුනයි තිහට. සල්පිල ඉවර වුණාට පස්සේ. බෙල් තුන ගහනකං ඉවසන්න අපිට අමාරු වුණාට එදා අපි නාට්ටිය බලන්න කීයට හරි සල්පිල ඉවර වෙනකං බලාගෙන හිටියා. රෑ නින්දෙන් දැක ඇති කිසිම හීනෙකට වඩා රෑ අවදියෙන් දැකපු ඒ හීනෙ ලස්සනයි. නළුවෙකුට නිළියෙකුට ඇති හැකියාව තමන් දකින හීනය බලා සිටින ප්‍රේක්ෂකයාටත් පෙන්වීමේ හැකියාව.

නළුවොනිළියො කියන්නෙ හීන දකින අය. ලස්සන ම හීන දකින අය. හැබැයි ඒ ලස්සන ම ලස්සන හීන අපි ඉදිරියේ මවා පෙන්වීමේ හැකියාවත් ඒ අයට තියෙනවා. ඒක තමයි නළුනිළිකම.

වේදිකාවක නළුවෙක් රඟපාන චරිතය අපට ඊට පෙර කවදාවත් දැකලා නැති වගේ දැනෙන්නෙ ඒ නිසයි. ඔහු දකින හීනය ඔහු වේදිකාව මත නැවත රික්‍රියේට් කරනවා. මනෝ අයියා විජය අයියා කළේ ඒකයි. මේ විජය අයියා කිව්වේ විජය කුමාරතුංග නෙමෙයි විජය නන්දසිරි. විජයයියා රඟපාන චරිතයක් අප ඊට පෙර කවදාවත් දැකලා නෑ. ඒකයි අපි වශී වෙලා බලාගෙන ඉන්නෙ. හැම නළුවෙක් ම එහෙමයි. වේදිකාවට නගින වාරයක් පාසා ඔවුන් අප කිසිවිටක දැක නැති චරිතයක් මවනවා. නළුවෙක් එකම සිහිනය දෙවරක් දකින්නෙත් නෑ.

නළුනිළියෝ කියන්නෙ සිහින දකින මිනිස්සු. හැමදාම සිහින දකින මිනිස්සු. ඉතා සුන්දර සිහින දකින මිනිස්සු. ඒ ඔවුන් දකින සුන්දර සිහිනය ඒ සිහිනය තරම් ම සුන්දර විදිහට අප ඉදිරියේ මවා පෙන්වන්නත් පුළුවන් මිනිස්සු. ඒකයි කිසිම හීනයකට වඩා නාට්‍යයක් සුන්දර.

නාට්‍යයක් අපව ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනයන්නෙ නෑ. ප්‍රඥාවන්ත මිනිස්සු නාට්‍යයක් බලලා ආනන්දෙට යනවා. ආනන්දෙයි ප්‍රඥාවයි දෙකම එකයි. ප්‍රඥාවන්ත කට්ටිය මේ දවස්වල ලොකු ආනන්දයක් දෙනවා කියලත් සමහරු කියනවා.

Leave a Reply

Your email address will not be published.