Opinion

පාලකයාගේ උනන්දුව, දෘෂ්ඨිවාද සහ සාමයේ තක්කඩි කම

Summary

යුද්ධයෙන් යමක් මර්ධනය කරනු ලැබෙන විට එය මර්ධනයට ලක් වන බව අප දනිමු. නමුත් සාමය යමක් මර්ධනය කරන්නේ ඒ මර්ධනයට ලක් වන්නා තුල වරදකාරී හැඟීමකුත් ඇති කරමින්ය.

  • Save

සියලු දේ ඒ ඒ සන්දර්භයට සාපේක්ෂ වුවද මුළු ලෝකයාම එක හෙලා එකඟ වන කාරණා කීපයක් තිබේ. උදාහරණයක් ලෙස පොඩි දරුවන් ලිංගිකව අපරහරණය කිරීම නොකළ යුතු වරදක් බවට  ලොව සියලු දෙනා  කොන්දේසි විරහිතව එකඟ වෙති. මස් පිණිස මිනිසුන් මැරීමට යමෙක් සිතන්නේ නම් එය වරදක් බවට සියලු දෙනා එකඟ වෙති. යුද්ධය හා සාමය සම්බන්ධයෙන් අද දිනයේ ප්‍රචලිතව  ඇත්තේද මෙවැනි කොන්දේසි විරහිත , පුළුල්ව පැතිරුණු එකඟතාවයකි. විනෝදය පිණිස යුධ කල යුතු යයි කිසිවකුත් කියන්නේ නැත. යුධ වැදී සිටින සියලු දෙනා පවසන්නේ එය නොවැලක්විය හැකි අවසාන තීන්දුව වුනු  බවයි. සියලු දෙනා අගයන්නේ සාමය මිස යුද්ධය නොවේ.

සාමය ඇති විය හැකි ක්‍රම තිබෙන්නෙ එකක් නොවේ. සියලු දේ සර්ව සාධාරණ ලෙසත් නිවැරදිවත් විසඳීමෙන් පසුව සාමයක් උදා විය හැකිය. නමුත් එසේ නොමැතිව, යම් පාර්ශවයක් මග හැරීමෙන්, යටපත් කිරීමෙන් හෝ නොමග යැවීමෙනුත් සාමය ඇති විය හැකිය. මීට දිය හැකි හොඳම උදාහරණය නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුල තිබෙන සාමකාමී වටපිටාවයි. ශිෂ්‍යයන්ගේ සාමය සඳහා චිර ප්‍රසිද්ධ පේරාදෙණිය තුල එකී සාමය ඇති වී තිබෙන්නේ ඉහත සඳහන් දෙවන ආකාරයටය.  ශිෂ්‍යයන් අතර ප්‍රයෝගිකව  බලය හොබවන කණ්ඩායම් ඇත්තේ එකකි. ඒ සියලු පීඨ ශිෂ්‍ය සංගම් එකතු වී තනා ගත් මහා ශිෂ්‍ය සංගමය සහ එය අනුබද්ධිතව පවතින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයය. එය පසුගිය දශක කීපය මුළුල්ලේ ජනතා විමුක්ති පෙරමුණටත් , මේ වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂයටත් නතුව පවතියි.  වෙනත් කිසිදු දේශපාලන මතයකට පේරාදෙණිය තුල ඉඩක් නැත. ඔවුන්ගේ හෙජමනියට බාධා වන කිසිදු සංවාදයකට විවාදයකට ඉඩක් නැත. එවැන්නක් කලාතුරකින් හෝ පැන නැගුනහොත් එය නිර්ධය ලෙස මර්ධනය කරනු ලැබේ. ඉතින් පේරාදෙණිය තුල පවතින්නේ වෙනත් කිසිදු විශ්වවිද්‍යාලයක් තුල නැති තරමේ සාමකාමී වටපිටාවකි. මේ “ ඍනාත්මක සාමය” පේරාදෙණිය සම්බන්ධයෙන් තිබෙන ආඩම්බර විය හැකි දෙයකට වඩා ගර්භාවෙන් ඉවත ලිය යුතු අවමානයකි. වෙනත් ඕනෑම සරසවියක ශිෂ්‍යන් ගැටුම් ඇති කරගන්නේ අඩුම තරමේ ඔවුන්ට ගැටීම සඳහා නිදහසක් තිබෙන බැවිනි.

සියලු දෙනා යහපත් ලෙස පොදුවේ එකඟ වන “ සාමය “ නමැති ප්‍රපංචයේ තිබෙන භයානක බව මෙයයි. යුද්ධය සැම විටකම අවංක වන්නේ යයි කීම උගහට වුවත් සාමය බොහෝ විට තක්කඩි බව පහසුවෙන් කිව හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය , භාෂණයේ නිදහස, ප්‍රකාශනයේ නිදහස වැනි දෑ ඉතාමත්ම සාහසික ලෙස මර්ධනය කරනු ලබන්නේ යුද්ධය විසින් නොව සාමය විසින්ය. යුද්ධයෙන් යමක් මර්ධනය කරනු ලැබෙන විට එය මර්ධනයට ලක් වන බව අප දනිමු. නමුත් සාමය යමක් මර්ධනය කරන්නේ ඒ මර්ධනයට ලක් වන්නා තුල වරදකාරී හැඟීමකුත් ඇති කරමින්ය. මේ අනුව මානව නිදහස වැඩිපුර නියෝජනය කරන්නේ යුද්ධය විසින්ද සාමය විසින්ද යන්න අති සංකීර්ණ වූ දීර්ඝ සාකච්ඡාවක් බවට පත් වේ.

නිදහස පතන්නාට අවශ්‍ය සාමය නොව කැරැල්ලය. නමුත් අධිකාරි බලය හිමි තැනැත්තාට සැම විටම අවශ්‍ය වන්නේ සාමයයි. මේ අනුව යුද්ධය පීඩිතයාගේද සාමය පාලකයාගේද අවශ්‍යතාවයක් ලෙස නම් කල හැකි වේ . මෙය උභතෝකොටික විලම්බීත කතාවක් ලෙස පෙනී යා හැකිය. එසේ පෙනී යාමේද  වරදක් නැති අතර මේ කියා ඇති දෙයද සහමුලින් නිවැරදි නැත. ලොව කිසිදු දෙයක් සම්බන්ධයෙන් බලාත්මකව පවතින තනි සත්‍යයක් නොමැති අතර සැම විටම පවතින්නේ යමක් දෙස බලන ආකාරය සහ කෝණය අනුබද්ධිතව පවතින සත්‍යයන් බොහෝ ගණනකි. අප නිරන්තරයෙන් අසා තිබෙන “ යුද්ධය යනු පාලකයාගෙ වුවමනාවයි” යන විශ්වාසයට පටහැණිව සාමය  පාලකයාගේ වුවමනාව වන තැන්ද එක විට නොපෙනුනාට බොහෝ සෙයින් මෙලොව  තිබේ.

පාලකයා සාමය පවත්වා ගන්නෙ කෙසේද? පාලකයකුට අවශ්‍ය වන ආකාරයේ “ ඍනාත්මක සාමයක්” පවත්වාගැනීමට එරෙහිව පවතින උපකරණ මොනවාද? ඍනාත්මක සාමයක් පතන පාලකයකුට ඉතා අගුණදායක දෙයක් නම් අදහස්ය. අදහස් සමුදායක් යම් පොදු ගුණාකාරයක් වටා සංවිධානය වූ කල අප එයට මතවාදයක් යයි කියමු. මේ මතවාදය තවත් පියවරක් ඉදිරියට ගොස් නිශ්චිත අර්ථ දැක්වීම් වලින් සීමා සලකුණු වූ විට අප  එයට දෘෂ්ඨිවාදයක් යයි  කියමු. දෘෂ්ඨිවාද මගින් මනුෂ්‍යන්ට පැහැයක් හා හැඩයක් ලබා දෙනු ලැබෙයි. සාමූහික ජීවිතයක් ප්‍රාර්ථනා කරන මනුෂ්‍යයා  තම සමාජ දේශපාලන  ජීවිතය සංවිධානය කරගනු ලබන්නේ දෘෂ්ඨිවාද වටාය. ඇතැම් විටකදී මිනිසුන් තමන් අනුගත වන දෘෂ්ඨිවාදය කුමක්දැයි සවිඥ්ඥානිකව මෙය සිදු කරති. තවත් විටකදී එය නොදැනුවත්ව අනිච්ඡානුගතව සිදු වන්නකි. නැවතත් කිව යුතු වන්නේ යම් මනුෂ්‍ය හැසිරීමක් දෘෂ්ඨිවාදයක් තුල ඔබා තේරුම් ගැනීමද එදෙස ඒ ආකාරයෙන් බලන්නාගේ රාජකාරියක් වන බවය. අවශ්‍ය නම් අප එදිනෙදා කන බොන සැටි , ගමන් බිමන් යන සැටි, ඇවිදින සැටි යනාදී ඉතා සාමාන්‍ය ලෙස පෙනෙන ඕනෑම දෙයක් දෘෂ්ඨිවාදයක් තුල අන්තර්ගත කොට දැකීමට අපට ( හෝ අප දෙස බලන වෙනත් කෙනෙකුට) හැකියාව තිබේ. නැතහොත් මේ සියල්ල ඉතා සාමාන්‍ය දේවල් ලෙස බැහැර කිරීමටද අපට හැකිය. අප තේරුම් ගත යුත්තේ අප වෙනුවෙන් පාලකයා තුල තිබෙන වුවමනාව කුමක්ද යන්නයි.

අදහස් මතුව විත්, ඒවා සමාජ ව්‍යාපාර බවට පත් වී මහපොළොවේ ක්‍රියාත්මක වීමෙන් පසුව දෙක තුනට කැඩුණු රටවල් තිබේ. සෝවියට් රුසියාව කැබලි වලට කැඩී ගියේ ඒ අයුරිනි. නමුත් ඊට කලකට පෙර ඒ  මහා භූමි භාගය එකට එකතු වුයේද අදහස් මතුව විත් ඒවා මතවාදයන් සහ දෘෂ්ඨිවාදයන් වීමේ ප්‍රථිපලයක් ලෙසටය. නිදහස් ලැබීමේ මොහොතේදී ඉන්දියාවත් පකිස්තානයත් වෙන් වුයේ අදහස් නිසාය. නමුත් ඊට සියවස් එකහමාරකට පමණ පෙර විවිධාකාර දේශපාලන තැනුම් ඒකක ( එනම් පෞර රාජ්‍යය, ග්‍රාමීය ඒකක, නිදගම් පාලන සහ වෙනත් එවැනි දෑ) පන්සීය ගණනකින් යුක්ත වූ මහා භූමියක් රටක් ලෙස ඒකාබද්ධ වුයේද මතවාදයක් නිසාය.

මෙලොව පවතින කිසිදු දෙයක් අවසාන වශයෙන් හොඳ හෝ නරක යයි තීන්දු කල හැකි  නොවේ. සියල්ල සමග අපට පවතින්නේ නොනවතින ගනුදෙනුවකි. බහුවිධ සත්‍යයන් ස්පර්ශ කරමින් මේ ගනුදෙනුවේ නිරත වීම ජීවිතයට ප්‍රහර්ෂය උදා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap