Opinion

පිරිත් සහ කොරෝනා

Summary

“මහණෙනි, ධර්ම ඖෂධය තරම් වටිනා ඖෂධයක් වෙන නැත. එය පානය කරවු.” – බුදුන්වහන්සේ

🔺ජලය පිරවූ කළයක් පිරිත් කර එය ඇළකට, දොළකට ගඟකට, මුහුදකට දැමීමෙන් කොරෝනා වසංගතය නිම වේ ද ?
🔹නැත.
කොරෝනා යනු රෝගයක් නො වේ. එය වෛරසයකි. මේද වැස්මක් ඇති නියුක්ලියෝටයිඩ් බහු අවයවයකි. මෙම වෛරසය ශරීරගත වීමේන් නිදන්ගත ‍රෝගයක් ඉස්මතු වීමෙන් හෝ දුර්වල ප්‍රතිශක්තිකරණය පද්ධතියක් ඇති අයෙකුට වෙනත් රෝගයක් ඉස්මතුවීමෙන් මරණය පවා ළඟා විය හැකි ය. කොරෝනා වසංගතය සහ ගංගා, ඇළ, දොළ අතර සහසම්බන්ධයක් නැත.

🔺එතකොට පිරිත්වල බලයක්, ආනුභාවයක් නැද්ද ?
🔹ඇත.
පිරිත් යනු බුද්ධ, ධර්ම, සංඝ යන තුනුරුවන් ගේ ගුණ යම් ස්වර පරාසයක් තුළ ගායනා කිරීමකි. පිරිත පාලියෙන් ‘පරිත්ත’ ලෙස හඳුන්වයි  ( අන්තරායං පරිහරන්තං කායතීති පරිත්තං, පරිතෝවා සම්බුපද්දවතෝ කායතීති පරිත්තං මහා තේජවන්තාය සමන්තතෝ සත්තානං භය උපද්දවං උප සල් ගඟුව කායතී රක්ඛතී තිවා පරිත්තං) අන්තරාය වළක්වන හෙයින්ද, සියලු අන්දමේ ආපදාවලින්, ව්‍යසනවලින් ආරක්ෂාව සලසන හෙයින්ද, එහි ඇත්තා වූ මහානුභාවය කරණකොට හාත්පසින් එන ව්‍යසන හා ආපදාවලින් සත්වයා ආරක්ෂා කරන හෙයින් පිරිත නම් වේ. පිරිතක් තුළින් පුද්ගලයාට අවශ්‍ය කායික, මානසික ශාන්තිය ආරක්ෂාව උදාකරනවා වගේම රෝගවලින් සුවපත් කිරීමේ පසුබිමද නිර්මාණය කරයි.

🔺ඒ කි‍යන්නේ රෝග නිවාරණය කරන්න බලයක් පිරිතේ තියෙනවා ?
🔹සියලු රෝග නිවාරණය කිරීමේ මැජික් බලයක් පිරිතට නැතත් යම් කායික හා මානසික රෝග, තැති ගැනීම්, බිය වීම්, අනතුරු වලක්වා ගැනීමේ බලයක් පිරිතට ඇත. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කාලයේදී ම ඇතැම් අයට රෝග පීඩා වැළඳු විට පිරිත් සජ්ජායනය කිරීමෙන්, පිරිත් ශ්‍රවණය කිරීමෙන් ඒ රෝග පීඩා සුවපත් වී ඇත. මුගලන් මහරහතන් වහන්සේට කායිකව අසනීප වුණ අවස්ථාවක සප්ත බෝජ්ජංග ගැන විස්‌තර කෙරෙන පිරිත් ධර්මය ශ්‍රවණය කළ මුගලන් මහරහතන් වහන්සේ සුවපත් වී ඇත. භාග්‍යවතුන් වහන්සේ කායිකව අසනීප වුණ වෙලාවකත් සප්ත බෝජ්ජංග ගැන කියවෙන පිරිත් ධර්මය ශ්‍රවණය කර සුවපත් වී ඇත. අසනීප වූ ගිරිමානන්ද මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දස සඤ්ඤාව (ගිරිමානන්ද සූත්‍රය) ශ්‍රවණය කිරීමෙන් සුවපත් විය. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අසනීප වූ අවස්ථාවක ද බෝජ්ජංග ධර්ම ශ්‍රවණය කර සුවපත් විය.

🔺එතකොට පිරිතෙන් රෝග සුවකරලා තියෙනවා ?
🔹යම් රෝග සඳහා පිරිතෙන් සහනයක්, සුවයක් ලැබීම ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ආනිසංශයකි. නමුත් දරුණු රෝගාබාධ සඳහා බුදුන්වහන්සේ ද වැඩියේ ජීවක වෛද්‍යවරයා වෙතය.

🔺 පිරිත විද්‍යාත්මක ද?
🔹මෛත්‍රිය මුල් කරගත් පිරිත පමණක් නොව, දේවේෂය මුල් කරගත් ඇස්වහ, හදි හූනියම් ආදිය ද විද්‍යාත්මකය. අවශ්‍ය නම් මල් පැළයකට දේවේෂ සහගත සිතින් සතියක් බැන බලන්න. බුදු දහම හේතුඵල දහමකි. අදාළ ක්‍රියාවන්ට අනුරූපව අදාළ විපාක හෝ ප්‍රතිඵල ලැබේ.

🔺පිරිතක ආනිසංශ නිවැරැදිව ලබාගන්නේ කොහොම ද?
🔹පිරිතකින් හොඳින් ම ගුණ ලැබෙන්නට නම් නොවරදවා හොඳින් පාඩම් කරගෙන පිරිත්වල අර්ථ ද දැන ගෙන සජ්ජායනය කළ යුතු ය. අර්ථ දැන ගෙන ශ්‍රවණය කළ යුතුය. මෛත්‍රී සිතින්, ශ්‍රද්ධා මූලිකව සජ්ජායනය කළ යුතු ය. මෛත්‍රී සිතින්, ශ්‍රද්ධා මූලිකව ශ්‍රවණය කළ යුතුය.

🔺නිරෝගී පුද්ගලයෙකු වීමට අවශ්‍ය වෙන බුදු දහමේ එන කරුණු මොනවා ද?
🔹
1. ආහාර සප්පාය, (සුදුසු ආහාර පරිභෝජනය)
2. විහරණ සප්පාය (නිවැරැදි ඉඳුම් හිටුම් මෙන්ම නිවැරැදි හැසිරීම් රටාව)
3. උතු සප්පාය (ශරීරයට හිතකර සෘතු පරිහරණය)
4. පුග්ගල සප්පාය (සුදුසු පුද්ගලයන් ඇසුර)
5. අජ්ඣාසය සප්පාය (හොඳ අදහස් ඇතිකර ගැනීම)

” මහණෙනි, කායික හා මානසික වශයෙන් රෝගයෝ දෙකකි. මෙයින් කායික රෝගවලින් නොපෙළී අවුරුද්දක්, දෙකක්, තුනක්, හතරක්, පහක්, දහයක්, විස්සක්, තිහක්, පණහක්, සියයක් නිරෝගීව වාසය කරන අය සිටිති. එහෙත් මානසික රෝගවලින් එනම්, හිතේ ඇතිවන ලෙඩ වලින් එක මොහොතක් හෝ නොපෙළී, පීඩා නොවිඳ සිටින අය රහතන් වහන්සේලා හැර සොයා ගැනීම දුෂ්කර ය. ” (අංගුත්තර නිකාය, රෝග සූත්‍රය)

” මහණෙනි, ධර්ම ඖෂධය තරම් වටිනා ඖෂධයක් වෙන නැත. එය පානය කරවු. ” – බුදුන්වහන්සේ

Leave a Reply

Your email address will not be published.