COLUMN

පුරවැසි අර්බුදය

Summary

අපේ රටේ මේ වෙලාවේ තියන හැම ප්‍රශ්නයකට ම යටින් දුවන ඒත් කාගෙවත් ඇහැට නොපෙනෙන විශාල අර්බුදයක් තියෙනවා. ඒ තමයි ‘පුරවැසි අර්බුදය’. සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදයක් සාර්ථක වෙන්න නම් දැනුවත් පුරවැසියන් සිටීම අත්‍යවශ්‍යයි. නොදැනුවත් මිනිසුන් ඉන්න රටක ප්‍රජාතන්ත්‍රවාදය කෙළවර වෙන්නේ මහා අවුල් ජාලාවකින්. […]

අපේ රටේ මේ වෙලාවේ තියන හැම ප්‍රශ්නයකට ම යටින් දුවන ඒත් කාගෙවත් ඇහැට නොපෙනෙන විශාල අර්බුදයක් තියෙනවා.
ඒ තමයි ‘පුරවැසි අර්බුදය’.
සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදයක් සාර්ථක වෙන්න නම් දැනුවත් පුරවැසියන් සිටීම අත්‍යවශ්‍යයි. නොදැනුවත් මිනිසුන් ඉන්න රටක ප්‍රජාතන්ත්‍රවාදය කෙළවර වෙන්නේ මහා අවුල් ජාලාවකින්.

ලංකාව මේ වන විට මුහුණ දෙමින් සිටින්නේ අවුරුදු 73ක් තිස්සේ නොදැනුවත් මිනිසුන් පිරිසක් විසින් වඳුරාට දැලිපිහිය ලැබුණා වගේ ප්‍රජාතන්ත්‍රවාදය හසුරුවන්නට යාම නිසා ඇති වෙලා තිබෙන අවුල් ජාලාවකට.
මේ ‘දැනුවත් බව’ කියලා කියන්නේ අකුරු කියවන්න සහ ලියන්න පුළුවන්කම විතරක් නෙවෙයි. දැනුවත් බව කියලා කියන්නේ තමන් අහන දකින, කියවන දේ ඇසුරෙන් යමක් අවබෝධ කරගැනීමට සහ ඒ අවබෝධ කරගන්න දේ ඇසුරෙන් බුද්ධිමත් තීරණයක් ගැනීමට ඇති හැකියාවටයි.

මේ කාරණය සරල උදාහරණයක් කිහිපයක් ඇසුරෙන් තේරුම් ගනිමු.
ලංකාවේ ආණ්ඩුව චීනයෙන් එවපු කසළ පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න එකඟ වුණු බවට පළ වූ ප්‍රවෘත්තිය ඔබ දකින්න ඇති.
මේ බාල පොහොර එව්වේ චීන සමාගමකින්. මේ බාල පොහොර ලංකාවේ පාවිච්චියට නුසුදුසුයි කියලා ලංකාවේ පරීක්ෂණවලින් තහවුරු වුණා. ඒත් ලංකාවේ පරීක්ෂණ නොසළකා ඒ පොහොර නෑව බාරගන්න කියලා චීනය ලංකාවට බල කළා. නැවට මුදල් නොගෙවපු නිසා මහජන බැංකුව අසාධු ලේඛනයට (blacklist) ඇතුළත් කළා. පොහොර නැව නැවත ගෙන්වාගන්නේ නැතුව ලංකාවේ මුහුදු සීමාවේ ම රඳවා තැබුවා.
දැන් ලංකාව තමන් බාර නොගත්ත පොහොර වෙනුවෙන්, තමන්ට අවශ්‍ය නැති පොහොර වෙනුවෙන්, තත්ත්වයෙන් බාල යැයි තමන් ගේ රටේ පරීක්ෂණවලින් තහවුරු කෙරුණු පොහොර වෙනුවෙන් ඩොලර් මිලියන 6.7ක් ගෙවනවා. ඒ ගෙවන්නේ ලබන මාසය වෙනකොට ලංකාවට වුවමනා ගෑස්, ඉන්ධන, ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ගෙන්වන්න පවා ඩොලර් නැති වෙලාවක.

මේ මහා ජාතික අපරාධය ගැන ප්‍රවෘත්තිය ලංකාවේ මිනිසුන්ගෙන් බහුතරයක රූපවාහිනියේ හෝ රේඩියෝ එකේ ප්‍රවෘත්තිවලින් අහනවා. පත්තර, වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍යවල දකිනවා. ඒත් මේක දැක්කට මේකේ තියෙන ප්‍රශ්නය ඔවුන්ට අවබෝධ වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නය ඔවුන්ට දැනෙන්නේ නැහැ. “එහෙම වෙන්නේ කොහොමද” කියලා ප්‍රශ්න කරන්න හිතෙන්නෙ නැහැ.
ඇහෙන, දකින, කියවන දෙයින් කිසිවක් අවබෝධ කරගන්නේ නැතුව මිනිසුන් එදිනෙදා කමින්, බොමින්, වැසිකිළි යමින්, රමණය කරමින් දවස් ගෙවනවා.

දැන් රට පුරා ම ගෑස් පිපිරීම් වාර්තා වෙනවා. ඒවායින් මිනිසුන් තුවාල වෙනවා. සමහරුන් මියයනවා. ගෙවල් දොරවල් ගින්නට බිලි වෙනවා. මිනිසුන් ඉතා ම බයෙන්, කරන්නේ මොනවද කියලා නොදැන බලාගෙන ඉන්නවා.
ගෑස්වල සංයුතිය වෙනස් කරලා තියෙනවා කියලා මාධ්‍යවල පළවෙනවා. මේ ගෑස් සංයුතිය වෙනස්වීම සහ පිපිරීම අතර සම්බන්ධයක් තියෙනවයි කියලා මත පළවෙනවා. නිසි පරීක්ෂණයක් නැතුව, නිසි අවදානම් තක්සේරුවක් නැතුව මේ සංයුතිය වෙනස් කරපු ගෑස් වෙළෙඳපොළට නිකුත් කරලා තියෙනවයි කියලා චෝදනා එල්ල වෙනවා. ඒ චෝදනා මාධ්‍යවල පළවෙනවා.

සාමාන්‍යයෙන් වෙනත් රටක මෙහෙම දෙයක් වුණා නම් ඊට අදාළ සියලු දෙනාට තමන් ගේ තනතුරුවලින් ඉල්ලා අස්වෙන්නට සිදුවෙනවා. එහෙම වෙන තැනට මිනිසුන් විසින් දැඩි පීඩනයක් එල්ල කරනවා. ඒත් ලංකාවේ මිනිසුන්ට මේකට වග කියන්න ඕනෙ කවුද, මේ සෙල්ලම් කරන්නෙ ඔවුන් ගේ ජීවිත සමග නේද වගේ කාරණා ගැන කිසිම ගාණක් නැහැ.
මිනිසුන්ට ඒ ගැන ගාණක් නැති නිසා මේවට ඇත්තට ම වග කිව යුතු අය දිගට ම තමන් ගේ තනතුරුවල ඉන්නවා. මාධ්‍ය ඉස්සරහට ඇවිත් පම්පෝරි ගහනවා. දිව හැරෙන පැත්තට බොරු කියමින් එක එක පාර්ශ්වයන්ට වරද පටවනවා. රටේ මිනිසුන් ටෙලි නාට්‍යයක් බලනවා වගේ කට ඇරගෙන මේ කියන බොරු දිහා බලාගෙන ඉන්නවා.
ලංකාවේ ජීවත් වෙන අති බහුතරයක් මිනිසුන්ට තමන් ගේ ගෙදර ගෑස් සිලින්ඩරය ගිනි ගත්තේ නැත්නම් එච්චරයි!
පාස්කු ප්‍රහාරයේ ප්‍රශ්නය ගැන හිතමු. පාස්කු ප්‍රහාරය වෙනකොට බලයේ සිටි අය ප්‍රහාරයට අදාළ විමර්ශන යට ගහනවයි කියලා ඒ කාලේ හිටපු විපක්ෂය චෝදනා කළා. තමන් බලයට ආපු ගමන් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අයට දඬුවම් දෙනවයි කියලා ඒ කාලයේ හිටපු විපක්ෂය සහතික වුණා.

දැන් ඒ කාලයේ විපක්ෂයේ හිටපු අය බලයට ඇවිත් අවුරුදු දෙකක් ගත වෙලා තියෙනවා. ඒත් සිද්ධ වුණු කිසිම දෙයක් නැහැ. මේ අතර ඒ කාලයේ ආණ්ඩුවේ හිටපු, දැන් විපක්ෂයේ ඉන්න අය චෝදනා කරනවා පවතින ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ විමර්ශන ‍යට ගහනවයි කියලා. තමන් ගේ ආණ්ඩුවක් ආවොත් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අයට දඬුවම් දෙනවයි කියලා දැන් ඔවුන් කියනවා.
මේ රටේ අවබෝධයක් තියෙන මිනිස්සු ඉන්නවා නම් මුන්
දෙගොල්ල ම කරන්නේ එක ම බොරුව කියලා වැටහෙන්න ඕන නේද? මේ දෙගොල්ල ම එකතු වෙලා මේ ප්‍රශ්නය දේශපාලන පාපන්දුවක් කරගෙන තියෙන බව හිතෙන්න ඕනෙ නේද? මේ හැමෝම කරන්නේ රටේ ජනතාව ගොනාට ඇන්දීම බව හිතෙන්න ඕනෙ නේද?
ඒත් ලංකාවේ මිනිසුන්ට ඒක අවබෝධ වෙන්නේ නැහැ. දෙසැරයක් නෙවෙයි, සිය සැරයක් රැවටුණත් ඔවුන්ට තමන් රැවටිලා ඉන්න බව තේරෙන්නේ නැහැ. ලියන්න කියවන්න පුළුවන්, හොඳට ඉගෙන ගත්, හොඳ රස්සා කරන මිනිසුන්ව වුණත් එක ම බොරුවෙන් සිය පාරක් හරි රවටන්න පුළුවන්.

‘පුරවැසි අර්බුදය’ කියන්නේ මේ රටේ අති බහුතරයක් මිනිසුන් හිරවෙලා ඉන්න මේ ප්‍රශ්නයටයි.
මොළය හිරිවැටුණු වහලුන් පිරිසක් වගේ ඔවුන් හැමතිස්සේ ම එක ම වරද නැවත නැවත කරනවා. මෙච්චර කල් පක්ෂ දෙකක් බදාගෙන කරපු විගඩම ම දැන් සමහරුන් තුන්වෙනි පක්ෂයක් සමගත් කරන්න පුළුවන් ද කියලා හිතනවා. ප්‍රශ්නය තියෙන්නේ පක්ෂ තුළ නෙවෙයි, තමන් තුළමයි කියලා එක මොහොතකටවත් ඔවුන්ට හිතෙන්නේ නැහැ.

සමාජ වගකීම් ගැන අබමල් රේණුවක අවබෝධයක් නැති, පුද්ගලික ප්‍රතිලාභ ගැන විතරක් හිතන, මේ දූපතෙන් එහා තියන ලෝකය ගැන නොදන්න, හැඟීම්බර මෝඩයන් පිරිසක් අවුරුදු පහෙන් පහට තමන් මත කවුරුන් විසින් හෝ ඇතිකරවනු ලබන ආවේගයන් මත ඡන්ද පොළට ගිහින් තමන්ට ම ගැළපෙන පාලකයන් පිරිසක් පත්කරගන්නවා.
ඉන්පස්සේ ඒ පාලකයන් ටික රට නැවත ගල් යුගයට ගෙනයන හැටි ක්‍රිකට් මැච් එකක් බලනවා වගේ, ටෙලිනාට්‍යයක් බලනවා වගේ හිනාවෙවී බලාගෙන ඉන්නවා.

මේ රටේ පුරවැසි අර්බුදය විසඳන්න පුළුවන් එක ම විදිය වන්නේ තනි තනි මිනිසුන් ගේ ඔළුවට පොලු පාරක් දීලා, තමන් අහන දකින කියවන දෙයින් කුමක් හෝ ‘අවබෝධයක්’ ලබන මට්ටමට ඔවුන් ගෙන ඒමෙන් පමණයි. සමාජයේ ඉන්න මේ අවුල තේරෙන ඉතා ම සුළු පිරිසකට මේ පොලු පහර දීමේ වගකීම පැවරෙනවා.

රසික ජයකොඩි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *