Opinion

පුරා විද්‍යාව සහ ස්වදේශීය වන්දනා අවකාශ

Summary

බගන් නුවර වගේම අනුරාධපුර පොලොන්නරුව සම්බන්ධයෙනුත් ස්වදේශීය ජනයා තුල නිතර ඇති වෙන ගැටළුවක් තිබෙනවා. ඒ තමයි ඔවුන්ගේ වන්දනා අවකාශය පිලිබඳ පුරාවිද්‍යා විෂයය සංවේදී නොවීම. ඉංග්‍රීසීන් අපේ අතීතය දිහා විමතියෙන් බැලුවත් , ඒ දිහා අපේ පසින් බලන්න ඔවුන්ට හැකි උනේ නැහැ. කොහොම වෙතත් අද වෙනකොට අපිත් මේ සිතුවිලි පරම්පරා දෙකම නියෝජනය කරනවා. එනම් ඉංග්‍රීසීන්ගේ පුරා විද්‍යාව සහ ස්වදේශීය වන්දනා අවකාශය කියන දෙකම. ඉතින් මේ අතරමැදි තැනක ඉඳන් හිතලා ඒ උරුමයන් වර්ග දෙකම රැක ගන්න වැඩ කරන එක වටිනවා.

බුරුමයේ බගන් නුවර කියන්නෙ මේ වෙනකොට යුනෙස්කෝ සංවිධානය මගින් පිළිගත්ත ලෝක උරුමයක්. ඒ පුරා විද්‍යා ප්‍රවර්ගය යටතේ. කොහොම වෙතත් මෙතන වසර දාහක් පමණ තිස්සේ අඛණ්ඩව ජනයාගේ වන්දනාවට ලක වෙනවා.  ඉතින් මේක හුදෙක්ම පුරා විද්‍යා උරුමයක් පමණක්ම නෙවෙයි. මේ උරුමය ජීවමාන එකක්.  

වර්ග කිලෝමීටර් අසූවක පමණ භූමියක මීට වසර දහසකට පමණ පෙර ලොකු කුඩා වෙහෙර විහාර, ප්‍රතිමා ගෘහ දස දහසක් පමණ ඉදි උනා. මෙහෙම විහාර සංකීර්ණ රාශියක් එක ලඟ ඉදි කරන එක බුරුමයේ සිරිතක්. මණ්ඩලේ නුවරට නුදුරු සගායි කඳු වැටියත් එහෙම තැනක්. ඊරියවඩ්ඩි ගං ඉවුරට ගිහින් බැලුවම චෛත්‍ය , විහාර ගෙවල් රාශියක් එක විට පෙනෙනවා.

බගන් නුවර බෞද්ධ කේන්ද්‍රස්ථානයක් විදිහට ආරම්භ කලේ පොළොන්නරු යුගයට සමාන්තර කාලයක එහි රජ කරපු අනවරත් රජ තුමා. ඔහුට පුළුවන් උනා එකල ධනවතුන් සහ රජ කුමාරවරුන්  අතර වෙහෙර විහාර කරවීමේ තරඟයක් ඇති කරන්න. මේ තරඟය ශතවර්ෂ තුනක් පමණ දිගට ගිහිපු සිරිතක් බවට පත් උනා. කොහොම හරි මේක කෙලවර උනේ එම නගරයේ වෙහෙර විහාර දස දහසක් පමණ ඉදි කිරීමෙන් අනතුරුව. බගන් නුවර තිබුණු විහාර ගොඩනැගිලි දසදහසෙන් දෙදහසක් පමණ අද වෙනකොට ආරක්ෂා වෙලා තිබෙනවා.

වර්තමාන බුරුමය ( ඒ කියන්නෙ මියැන්මාරය ) බ්‍රිතාන්‍ය ජාතිකයන් යටත් කරන්නේ අදියර තුනකින්. මේ තුන් වැනි අදියර සම්පූර්ණ වෙන්නෙ 1885 දී. එහිදී තමයි මේ කියන බගන් පළාතත් ඔවුන් යටත් කරගන්නෙ. ඉන් පස්සෙ 1948 දි ඔවුන්ට නිදහස ලැබෙනවා. ඒ රටේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවන්නේ 1902 දි. ඒ කියන්නෙ බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා දැනුමට බ්‍රිතාන්‍ය පාලනයක් යටතේ ක්‍රියාත්මක වෙන්න ඉඩ ලැබිලා තියෙන්නෙ අවුරුදු 46 යි.

බ්‍රිතාන්‍යයන් එහි යනකොට බගන් නුවර තිබුණු තත්වය මොන වගේද කියල මට ලොකු අදහසක් නැහැ. බුරුම රාජධානි මේ අවට ප්‍රදේශ වල වසර දහසක් පමණ අඛණ්ඩව තිබුණු නිසාත් , මේ භූමිය වන්දනා අවකාශයක් විදිහට දිගටම භාවිතා වුනු නිසාත් ලංකාවේ අනුරාධපුර සහ පොලොන්නරුව වගේ මේ ගොඩනැගිලි සහමුලින් ගරා වැටී තිබුනා යයිහිතන්න අමාරුයි. නමුත් එහි ගිහිපු අපිට, කෞතුකාගාරය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය නැරඹීමෙන් අනතුරුව පැහැදිලි උනේ බහුතර ගොඩනැගිලි ප්‍රමාණයක් සැලකිය යුතු මට්ටමේ ගරා වැටීමකට ලක්වෙලා තිබුණු බවත් බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඒවා යලි එකලස් කරන ලද බවත්ය.

බගන් නුවර මේ සා විශාලව හදන්න ශතවර්ෂ හතරක් පමණ ගත වෙලා තියෙනවා. එය නැවත කෙලින් කිරීමට බ්‍රිතාන්‍යයන්ට තිබුනේ දශක පහකටත් අඩු කාලයක්.

බගන් නුවර කියන්නෙ පොළොන්නරු යුගයේ තිබුණු ථෙරවාදී මධ්‍යස්ථානයක්. ඒ වගේම ලංකාවත් එක්ක සුවිශාල ආගමික ගනුදෙනුවක් තිබුණු තැනක්. මේ කාරණාත් එක්ක බගන් නුවර ගැන අපිට භාවාතීෂමය හැඟීමක් ඇති වෙන එක වලක්වන්න බැහැ. මිනිස්සු හැම තිස්සෙම භෞතික දේවල් තමන්ගෙ පරිකල්පනය ඇතුලෙ වන්දනීය තත්වයට පත් කර ගන්නවා. ඊට පස්සේ ඒත් එක්ක බැඳිච්ච සංස්කෘතික සිතුවිලි සමුදායක් වගේම මනෝ භාවයන් ගොන්නකුත් ඇති කරගන්නවා. මේ වගේ පිංතූරයක් දකින හැම මොහොතෙම මට සතුටකුත් අභිමානයකුත් ඇති වෙන්නෙ ඒ නිසා.

කොහොම වෙතත් තව ටිකක් හිතුවම, බගන් නුවර ගොඩනංවපු අනවරත් රජතුමාගෙ කාර්ය ශූරත්වය වගේම මේ භූමිය දශක පහක් පමණ පරිහරණය කරපු බ්‍රිතාන්‍ය පාලකයන්ගෙ පරිපාලනමය කාර්ය ශූරත්වය ගැනත් යම් තිගැස්මක් ඇති වෙන එක වලක්වන්න බැහැ. බුරුම මිනිස්සුගේ නිදහස් සටන් වලටත් මුහුණ දිදී , හැකි තරම් රටේ සම්පත් උකහා ගන්න ගමන් මේ වගේ සුවිශාල භූමියක් පුරාවිද්‍යාත්මකව නැවත ගොඩ නැගීමත් කරල තියෙනවා. අධිරාජ්‍යවාදයේ වාඩුව අමතක කළහොත්, ආන්තික පුරාවිද්‍යාවේ තිබෙන ” උරුමයට අසංවේදී බව” අමතක කළහොත් බ්‍රිතාන්‍ය පාලකයෝ ගැනත් මට ඇති වෙන්නෙ පහන් හැඟීමක්.

අපේ රට යටත් කරගත් යුරෝපීය ජාතීන් තුනක් ගැන අපි දන්නවා. මේ තුනට අමතරව ප්‍රංශ ජාතිකයනුත් අපේ කලාපයට බොහොම බලපෑම් ඇති කළා. ප්‍රංශ ජාතිකයන්ට පුළුවන් උනේ අවස්ථා ගණනකදී අපේ රටට ගොඩ බහින්න  පමණයි. ඉංග්‍රීසීන් හැරුණු කල අනෙක් ජාතීන් දෙක අපේ රට කෙරේ සුවිශාල සමාජ සංස්කෘතික බලපෑමක් ඇති කලත් ඔවුන් පාලනයට නතු කරගත් භූමියේ ප්‍රමාණය බැලීමෙන් පැහැදිලි වෙන්නෙ ඔවුන් රට යටත් කරගෙන සිටියාය කියන එක ඒ තරම් සාධාරණ කියමනක් නොවන බව.

මේ සියල්ලන් අතුරින් වඩාත්ම සාහසික ලෙස හැසිරුනේ පෘතුගීසීන් බවට සැකයක් නැහැ. ලන්දේසීන් අපිත් සමග අවම ගැටුමකට ගිහිපු බව තීන්දු කල හැකියි. ඉංග්‍රීසීන් ස්ථානගත වෙන්නෙ මේ දෙපිරිසට මැදින්.

ඉංග්‍රීසීන් අපේ රට යටත් කරගන්නකොට නූතනත්වය පැහැදිලි වශයෙන්ම ආරම්භ වෙලා තිබුනේ. ඉතින්, අතීතය දෙස විමතියෙන් බැලීමේ නූතන පුරුද්දට, ඉන්දියාව , ලංකාව සහ බුරුමය වගේ ඓතිහාසික රටවල් තෝතැන්නක් උනා. මේ හැම රටකම ඉතාම සංවිධිත පුරා විද්‍යා දෙපාර්තමේන්තු ඇති කරන්න වගේම සියලු වැඩ වලට නොදෙවැනි විදිහට පුරා විද්‍යා කටයුතු වලට ප්‍රමුඛත්වය දෙන්නත් ඉංග්‍රීසි පාලකයන් උත්සුක උනා. අපේ රටේ දැනටත් තිබෙන බලවත්ම පනතක් තමයි පුරාවිද්‍යා පනත. ඒක එහෙම උනේ ඉංග්‍රීසීන් පුරා විද්‍යාව කෙරේ දක්වපු උනන්දුව නිසා.

බගන් නුවර වගේම අනුරාධපුර පොලොන්නරුව සම්බන්ධයෙනුත් ස්වදේශීය ජනයා තුල නිතර ඇති වෙන ගැටළුවක් තිබෙනවා. ඒ තමයි ඔවුන්ගේ වන්දනා අවකාශය පිලිබඳ පුරාවිද්‍යා විෂයය සංවේදී නොවීම. ඉංග්‍රීසීන් අපේ අතීතය දිහා විමතියෙන් බැලුවත් , ඒ දිහා අපේ පසින් බලන්න ඔවුන්ට හැකි උනේ නැහැ. කොහොම වෙතත් අද වෙනකොට අපිත් මේ සිතුවිලි පරම්පරා දෙකම නියෝජනය කරනවා. එනම් ඉංග්‍රීසීන්ගේ පුරා විද්‍යාව සහ ස්වදේශීය වන්දනා අවකාශය කියන දෙකම. ඉතින් මේ අතරමැදි තැනක ඉඳන් හිතලා ඒ උරුමයන් වර්ග දෙකම රැක ගන්න වැඩ කරන එක වටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *