Opinion

පෙරදිග ආසියාවේ කොරෝනාගාරය

Summary

දැන් පිට රටවල ඉන්න කොරෝනාකාරයෝ ටික අපි මෙරටට ගෙනල්ලා හොද කරලා හරි නැවත බෝකරලා හරි ප්‍රති අපනයනය කරනවා. ඒකෙන් ආර්ථිකේ සමෘද්ධිමත් වෙලා රොකට් වේගයෙන් උඩට යනවා.

ලංකාවේ නම වෙනස් කළ යුතු යැයි මෑතක දි කවුදෝ මහණකු කියනු ඇසිණි. කලින් කලට මෙවැනි දේ ඇසීම අරැමයක් නොවේ. හිටපු ජනාධිපති ප්‍රේමදාස Sri ලංකාව Shri ලංකාව ලෙස වෙනස් කළේ ඔහුට තිබූ අපලයක් නිසාවෙනැයි කියවෙයි. පාලකයන්ගෙන් රටට මිසක් රටින් ඔවුනට අපලයක් නොමැති නිසා මෙවන් අව වැඩ දැන් දැන් අසන්නට නොලැබෙයි. එහෙත් විජාතික හැත්තක් දැන් අපේ රටේ නමට ප්‍රසිද්ධියේ කෝචොක් කරන බව සැලය.

“බලපංකෝ ඔස්ට්‍රේලියන්කාරයෝ දැන් ලංකාවට කියන්නේ කොරන්ටිනා කියලා” මිතුරා සන්තාපයෙන් සැල කලේය.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර වාසය සදහා වීසා ලැබී ඇති නමුත් තවම එහි යා ගත නොහැකිව සිටින මිතුරාට කියාගත නොහැකිව ලතැවෙන තව ප්‍රශ්න ඇතැයි මට සිතුණි.

“ඉතිං හොදයිනෙ මනුස්සයෝ දැන් ඔහෙලා එහේ පදිංචියට ගියාම උපන් රට කියලා කියන්න ඉංග්‍රිසි නමකුත් තියෙනවනේ රටට”

ඔස්ට්‍රේලියාවේ පදිංචියට යෑම සදහා තීරණ කර තිබූ නිසා ඔහු ළමයින්ට නම් තැබුවේද සිංහලත් නොවන ඉංග්‍රීසිත් නොවන සුද්දන්ට පහසුවෙන් කියවිය හැකි යැයි උපකල්පනය කළ අපභ්‍රංශ භාෂාවකිනි.

“කොරන්ටීනා කියන්නේ ඉතාලි වචනයක්. පර්සියන් ජාතික ඉබ්න සීනා තමයි හොයා ගන්නේ බෝවෙන රෝගයක් වලක්ව ගන්න දින හතලිහක් මිනිස්සුන්ව වෙන් කරලා තියන්න. ඕක අහපු රෝමන්කාරයෝ ආරංචිය ඉතාලියට ගෙනියනවා. ඉතාලි භාෂාවෙන් කොරන්ටිනා කියන්නෙ හතලිහට” මිතුරාගේ බිරිද හෙවත් මිතුරිය, ගූගල් කර සොයා ගත් විශේෂඥ භාෂා හා ඉතිහාස ඥානය දිග හැරියාය.

“හරි දැන් ලංකාවට මොකක්ද හතලිහේ සම්බන්ධෙ? අලි බබයි හොරැ හතලිහයි ඉන්නෙ මෙහේ කියලද උන් හිතන්නේ?” සම්න්ධය සොයා ගත නොහී මම ඇසුවෙමි.

“අලි බබයි හොරැ හතලිහයි ++ ඉන්නෙ මෙහේ බව කවුරැත් දන්නවනේ. ඒක මේ දැන් හොයා ගත්ත එකක් නෙමෙයි නේ?” මිතුරා මගෙන් විමසුවේය.

“හරි. එහෙනම් චීන ඇමති යද්දි හෝන් ගහපු කොල්ලගෙ වයස හතලිහ වෙන්න ඇති?” මම යෝජනා කළෙමි.

“වත්තේ හාමු යද්දි සේවකයෝ හෝන් ගැහුවා කියලා රටේ නම වෙනස් කරලා කියන්න තරම් ඔස්ට්‍රේලියන්කාරයොන්ට පිස්සු නෑ” මිතුරා ද හාමුට ඇති අයිතිය පිළි ගත්තේය.

“එහෙනම් දේවි බාලිකා ඉඩම ඩොලර් මිලියන හතලිහක් වටිනවා ඇති. ඔස්ට්‍රේලියාන්කාරයෝ ඉල්ලුවම ආණ්ඩුව දෙන්න බෑ කියන්නැති. අපේ ගමේ ඉඩම් අයිති අපේ ගමේ චීන්නුන්ට කියලා. ඔය ලැජ්ජාව වහ ගන්න තමයි ඔස්ට්‍රේලියාන්කාරයෝ කොරන්ටිනා කියලා ලංකාවට මඩ ගහනව අත්තේ” මම විශ්වාසයෙන් පැවසීමි.

“දෙලොවක් අතර තියෙන ඉඩම් ගන්න ඔසියො ගන්දබ්බ අවදිය විශ්වාස කරන්නෙ නෑනෙ බං. අඩු ගානේ ආනන්දෙ නාලන්දෙවත් වික්ක නම් ඉතිං සලකා බලයි” කන්‍යාරාමයකට ගිය මිතුරිය බෞද්ධ ත්‍රිමූර්තියට පහර දුන්නාය.

“එව්වා කියන්න බෑ. ආනන්දෙයි නාලන්දෙයි ජනාධිපතිතුමාගෙයි අගමැතිතුමාගෙයි ඉස්කෝල දෙක වෙච්චි. රට බේර ගන්න පෙරට එන එක ඒගොල්ලන්ගේ ලේවල තියෙනවා. විකුණපියව් අපේ ඉස්කෝල ගෙවාපියව් චීණ ණය කියලා දවසක ඒගොල්ලෝ කිව්වම තමයි ඔයාට තරැ පේන්නෙ” මම මිතුරිය පරදනු පිණිස කීවෙමි.

“හතලිස්වතාවක් විතර පැරදිලත් පක්ෂ නායක කමින් ඉල්ලා අස්වෙන්නෙ නැතුව මැරෙන්නත් ඉස්සෙල්ලා ඉඩමෙන් ඉල්ලා අස්චේච්චි රනිල්ගෙ සම්බන්ධයක් තියෙනවද දන්නෑ ඔය ‘නම්’ හුටපටේට? ආණ්ඩුව ඉස්කෝල ඉඩම් විකුණන්න හදද්දි එයාගෙ කෝටි ගණනාවක් වටින ඉඩම රෝයල් එකට දන් දීපු එක නම් හරිම සැක සහිතයි. මිනිහා කොහොමත් නූල් සූත්තරකාරයා කියලනෙ ප්‍රසිද්ධ” මිතුරිය රටට අමතකව ගිය රටම නැලවූ රනිල් සිහි කළාය.

“මිනිහ කොහොමත් ඉඩම් දන් දෙන්න සූරයා. එක පාරක් රටෙන් බාගයක්ම දන් දෙන්න හැදුවේ” මිතුරා කීවේය.

“ඒක නම් ඇත්ත. එහෙම ඒ වෙලාවේ කොටසක් දන් දුන්න නම් දැන් කොහොමද ඉතිං මෙහෙම කට්ටි කරලා පිට රට උන්ට විකුණ ගන්නෙ නැද්ද? මොකද ඒ පැති වලත් වරාය එයාපෝරට් එහෙම තව ඉතිරි වෙලා තියෙනවානෙ. මේ යන විදියට නම් කොටි යුද්ධයක් කළේ අපරාදේ. උන්ට තිබුණේ උතුරැ නැගෙනහිර සල්ලි දීලා ගන්න” මම හූමිටි තැබුවෙමි.

“හරි දැන් මේ මොකක්වත් ලංකාව කොරොන්ටිනා වෙන්න හේතුවක් නෙමෙයි නම් ඇයි ඔස්ට්‍රේලියාන්කාරයෝ අපිට එහෙම කියන්නේ?” මිතුරිය පීළි පැන තිබූ මාර්තෘකාව නැවත දුම්රිය ස්ථානයට ගෙනාවාය.

“ඉන්දියාවේ ඉදන් කවුරැ හරි (ඕස්ට්‍රේලියානු ජාතිකයන්ද ඇතුලත්ව) ඔස්ට්‍රේලියාවට ඇතුලත් වුනොත් ඒකෙනාව අවුරැදු පහකට හිරේ යවන්නත් රැපියල් වලින් නම් කෝටියක දඩයක් ගහන්නත් ඔසියෝ තීරණය කළා” ඉතිං මට මොකෝ? වැනි බැල්මක් හෙලුවෙමි මම.

“මේ වෙලාවේ ලෝකේ කොහේටවත් වද්ද ගන්නෙ නැති ඉන්දියන්කාරයෝ රටට ගෙනත් දවස් දාහතරක් කොරන්ටයින් කරලා ආයේ රට පටවන බිස්නස් එකක් තියෙනවලු ලංකාවේ. ඒකයි ඔසියෝ ලංකාවට කොරන්ටිනා කියලා නම දාලා තියෙන්නෙ” මිතුරා කෝපයෙන් කීය. මට සිනහ නොවී සිටිය නොහැකි විය.

“ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න’ කියන්නේ ඕකට තමයි. දන්නවද ලංකාව පෙරදිග ආසියාවේ ධාන්‍යාගාරය කියලා ඉස්සර හැදින්නුවේ ඇයි කියලා? ඒ ලංකාවේ වගා කරපු හාල් පිටරට යවපු හින්ද නෙමෙයි. වෙන රට වලින් හාල් ආනයනය කරලා මෙහේ ගබඩා කරලා ඒවා ප්‍රති අපනයනය කරපු හින්දා. දැන් පිට රටවල ඉන්න කොරෝනාකාරයෝ ටික අපි මෙරටට ගෙනල්ලා හොද කරලා හරි නැවත බෝකරලා හරි ප්‍රති අපනයනය කරනවා. ඒකෙන් ආර්ථිකේ සමෘද්ධිමත් වෙලා රොකට් වේගයෙන් උඩට යනවා. ඕවටනේ අයිසේ බිස්නස් කියන්නේ. දැන් කොරන්ටිනා කියලා ඔසියො ලංකාවට අපහාස කළාට, අනාගතේ දවසක මේක පෙරදිග ආසියාවේ කොරෝනාගාරය කියලා හැදින්නුවොත් ඉරිසියා වෙන්න එපා හොදේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *