Opinion

පොතට බඩු ගැනීම හෙවත් ලංකාවේ ආර්ථිකය….!

Summary

ලංකාවට ඕනා පොතට බඩු ගන්න එක නවත්වන strategy එකක්. බොරු දේට, අනවශ්‍ය දේට වියදම් කරන එක නවත්වන, දේශීය නිශ්පාදනය උනන්දු කරන, අපනයනය වැඩිකරන, ආනයනය අඩුකරන, පරිභොජනයෙන් මිදුන, නිශ්පාදනයෙන් පිරුණ strategy එකක්.

සමහර ගම්වල තාම මිනිස්සු කඩෙන් බඩු ගන්නේ පොතට.

ඉතින් ඒවගේ ගමක දෑවැද්දට ලැබුන වත්ත පිටිය තිබුනට කුලී වැඩ කරලා ජීවත්වෙන මනුස්සයෙක් හිටියාලු. මේ මනුස්සයා දවසට මොනවා හරි කුලියක් මලියක් හොයාගෙන කරලා ගමේ කඩේ මුදලාලිගෙන් පොතට බඩු අරගෙන ගෙදර යනවා.

මනුස්සයාගේ වත්ත පිටිය ලොකුවට තිබුනට මිනිහා වස කම්මැලියි. ඒ වගේම ගෑනු මනුස්සයාත් හරිම කම්මැලියි. වත්තේ මිරිස් පැලයක්වත්, මයියොක්කා ගහක්, ගොටුකොළ ටිකක් තියා නාන ලිද ලග කොහිල පැලයක්වත් හිටවලා නෑ. නිකන් වැටෙන පුවක් ගෙඩියක්, පොල් අත්තක්වත් අහුලන්නේ නෑ. පිට උන් වත්තේ පොල් ටික හොරට කඩනවා. ඒත් මේ මනුස්සයාටවත්, ගැනු මනුස්සයාටවත් ගානක් නෑ.

කරුමේ කියන්නේ මේ මනුස්සයා දවස කලු කරලා, කුලියක් මලියක් කරලා, හම්බ කරගන්න ගානෙන් බාගයක් විතර වියදම් කරලා හවසට රා බොනවා. ගමේ ගැන්සියත් එක්ක ආතල් ගන්නවා. එයාගේ ගෑනු මනුස්සයා අනික් බාගෙ ගෙදර පුහු ආටෝපෙට වියදම් කරනවා. ලිද ලග සංගමයේ කට්ටියත් එක්ක කඩචෝරු කනවා. ගෙදර ඉතිරියට කීයක්වත් තියාගන්නේ නෑ. ඉතින් මාසේ අන්තිමේදී කඩේ පොතේ නය ගෙවන්න සත පහක් නෑ.

කඩේ මුදලාලිගේ නයත් දවසෙන් දවස උඩ ගිහින්. මුදලාලිත් මේ මනුස්සයාටම නය දීලා බංකොලොත් වෙන ගානට ඇවිත්. දවසක් කඩේ මුදලාලි මේ මනුස්සයාට කියනවා “තෝ පරන නය clear කරහන්, නැත්නම් ආයිත් පොතට බඩු නෑ” කියලා, මේ මනුස්සයාට නය ගෙවන්න අතේ සල්ලිත් නෑ, කැටේ සල්ලිත් නෑ, විකුණන්න පෙට්ටගමේ ඇති කණකරකුත් නෑ.

දැන් ගෙදර ලමයි අඩනවා බඩගින්නේ. ගෙදර ප්‍රශ්න ගොඩායි. මේ මනුස්සයා ආයිත් මුදලාලි ලගට ගිහින් නාහෙන් අඩනවා. මුදලාලි කියනවා “තොට නය ටික clear කරන්න බැරිනම් (අ) ගේ, දොර, වත්ත, පිටිය මට සින්නක්කර ලියලා දීපන් (ආ) මගේ ගෙදර වලන්, පිගන් හෝදපන්, ඉදුල් බත් කාපන් ඒත් බැරිනම් (ඇ) ගෑනි අපේ ගෙදර එවපන්” කියලා.

ඉතින් එක්කෝ මනුස්සයා (අ) රා බොන එකයි, ගැන්සියත් එක්ක ආතල් ගන්න එකයි, ගෑනි ආටොපෙට වියදම් කරන එකයි, කඩචෝරු කන එකයි අඩු කරලා ලාවට කීයක් හරි ඉතුරු කරලා මුදලාලිගේ නය හිමීට හිමීට clear කරන්න ඕනා (ආ) වත්තේ මොන මොනවා හරි ඉන්දලා, ඒවායේ පලදාව විකුනලා, වැටිලා තියෙන දෙයක්, පොල් අත්තක් වියලා විකුනලා කීයක් හරි හොයාගෙන මුදලාලිගේ නය හිමීට හිමීට clear කරන්න ඕනා (ඇ) වත්තේ පිටියේ පුලුවන් පුලුවන් දේ වවලා, කොස්, දෙල්, කිරිඅල, මයියොක්කා කාලා, අමාරුවෙන් හරි එදා වේල කඩේන් depend නොවී ගොඩදාගන්න ඕනා. නැත්නම් ඉතින් (ඈ) දන ගහලා කඩේ මෑන් කියන දේ කරන ඕනා.

ඔය සමහර පිටිසර ගම්වල මේක තමයි තාමත් තත්ත්වය. දැන් කාටහරි හිතෙනවා ඇති මේ ගොඩේ කතාවයි ලංකාවේ ආර්ථිකයයි අතර සම්බන්ධය මොකක්ද කියලා.

මේ කතාවේ මනුස්සයාට ලංකාවයි, මුදලාලිට ඔය ඉන්දියාව, ඇමරිකාව, චීනේ, IMF එක වගේ අයයි, කැටේට බැංකුවයි, පෙට්ටගමට භාන්ඩාගාරෙයි, කණකර වලට ඩොලරුයි, වත්ත පිටියට ලංකාවේ සම්පත් ටිකයි, අඩන ලමයි ටිකට ජනතාවයි (ඒ කියන්නේ අපිවයි), ගෙදර ප්‍රශ්න වලට තෙල්, විදුලිය, ගෑස්, බඩුමිල වගේ ඒවායි දාලා බැලුවානම් අද ලංකාවේ ආර්ථික විග්‍රහයට මේ කතාව නියමෙට ගැලපෙනවා.

මේක තේරුම් කරන්න රනිල්වත්, සජිත්වත්, පාටලීවත්, හර්ෂ සිල්වාවත්, අනුරවත්, වෙන economic expertලාවත් ඕන නෑ. Simple theoryය නේ. මේ දවස්වල ගිරිය පුප්පගෙන කෑගහන ඔස්තාර්ලා අපිටනම් පේන්නේ වෙන කවුරැවත් විදියට නෙමේ, ඉඩම උකස් කරපන් කියලා expert advice දෙන, එහා කඩේ මුදලාලි ලගට පල කියලා දිරච්ච ලනු දෙන අවස්ථාවාදීයෝ හැටියටයි.

එදා ඉදන්, බලේ තිබුන කාලවල කරන්න තිබුන දේ නොකර, දැන් සනිකව U Turn ගහන්න කතාකරන එක එක පාට පක්ෂ / විපක්ෂ පොරවල් දෙන ටෝක්ස් ඇහුනම කුනුහරුප තමයි මතක් වෙන්නේ….. !

ලංකාවට ඕනා පොතට බඩු ගන්න එක නවත්වන strategy එකක්. බොරු දේට, අනවශ්‍ය දේට වියදම් කරන එක නවත්වන, දේශීය නිශ්පාදනය උනන්දු කරන, අපනයනය වැඩිකරන, ආනයනය අඩුකරන, පරිභොජනයෙන් මිදුන, නිශ්පාදනයෙන් පිරුණ strategy එකක්.

එතකන් “ළිප ගිනි මෙළවෙන තෙක් දිය සැලියේ – සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ”….!

Leave a Reply

Your email address will not be published.