COLUMN

පොදුජන අරගලවල බෝතල් ගිරිය පිපිරීම !

Summary

ජ.වි.පෙ. ආරම්භක සමයේ සිට ම කේන්ද්‍රගත වූයේ විශ්වවිද්‍යාල වැනි අධ්‍යාපනික ආයතන තුළ ය. ඒවායේ සටන්බිම් නිර්මාණය වූයේ ග්‍රාමීය කුල පීඩනය වැනි අවශේෂ කාරණා ඔස්සේ ය.

මෙරට ඊනියා වාමාංශික දේශපාලන පක්ෂ යනු මැයි 01 වැනිදාට මහාමාර්ගවල ප්‍රදර්ශනය කෙරෙන කෞතුක භාණ්ඩ වැනි ය.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රයික වාමාංශික දේශපාලන පක්ෂ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ කීප වරක් හැව ඇරීම නිසා නිර්ධන පන්තිය, පන්ති ස්වභාවයෙන් ම උකටලී ව කල් ගෙවන්නට වූවා විනා පන්තියක් වීමේ අවකාශයට එළැඹුණේ නැත.

එතැන් සිට ජ.වි.පෙ. සුදුසු වචනවලින් හිස්තැන් පුරවන්නට පටන් ගත් අතර, ඔවුන් ගේ කටයුතු බෙහෙවින් ගැටලුසහගත විණි.

‘ජ.වි.පෙ. කියන්නේ නිර්ධන පන්තියේ පක්ෂයක් නෙවෙයි’ යනුවෙන් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රකාශ කළේ මෙයට දශක දෙක තුනකට ඉහතදී ය.

ජ.වි.පෙ. ආරම්භක සමයේ සිට ම කේන්ද්‍රගත වූයේ විශ්වවිද්‍යාල වැනි අධ්‍යාපනික ආයතන තුළ ය. ඒවායේ සටන්බිම් නිර්මාණය වූයේ ග්‍රාමීය කුල පීඩනය වැනි අවශේෂ කාරණා ඔස්සේ ය.

’71 කැරැල්ලේ සිට ’88/89 භීෂණය දක්වා ජ.වි.පෙ. ක්‍රියාකාරී වූයේ තරුණ අසහනය පදනම් කරගෙන ය. ඒ පිළිබඳ ව මෙරට ප්‍රමාණවත් කෘති රචනා වී තිබේ. ජ.වි.පෙ. මෙරට  අධ්‍යාපන ක්ෂේත්‍රයේ අරක් ගැනීම නිසා රටේ බුද්ධිමය ධාරිතාවට සිදු ව ඇති පාඩුව ධනපති පන්තියේ ආණ්ඩු සමාජයට සිදුකර තිබෙන හානියට වඩා වැඩි ය.

ඔවුන් විසින් සංවිධානය කෙරෙන්නේ සාර්ව අභිලාෂවලින් පැන නගින සමාජ ගැටලුවලට එරෙහි පොදුජන සටන් නො වේ. ඒවා ඔවුන් ගේ පක්ෂයේ න්‍යායපත්‍රයට අදාළ වන ප්‍රමුඛතා ඔස්සේ තෝරා ගැනෙන විවිධ දේ ය.

නිදර්ශනයක් වශයෙන් ජ.වි.පෙ. ගොවි සටන් සඳහා කොළඹට කැඳවනු ලබන්නේ අඩු මිළ වේෂ නිරූපණ ශිල්පීන් සහ වස්ත්‍රාභරණ ශිල්පීන් විසින් හැඩ ගන්වන ලද, හොර ගොවීන් පිරිසකි. ඔවුන් ගේ සියලුම රෙඩිමේඩ් අමුඩ කලු පැහැති ය. ජොල් ඇඟවල් ය. තඩි බඩවල් ය. 

“ගෝඨාගෝගම” තරුණ අරගලයෙන් අභියෝගයට ලක් වූයේ මෙබඳු ව්‍යාජ ජ.වි.පෙ. පොදුජන සටන්වල බෝතල් ගිරිය – bottle neck බව පැහැදිලි ය.

මේ රටේ පොදු ජනතාවට කොපමණ සමාජ පීඩා තිබුණත්, ඒවාට එරෙහි ව විරෝධය පෑම සඳහා ප්‍රසිද්ධ නිර්-ප්‍රචණ්ඩ අරගලභූමියක් මෙතෙක් රටේ නො තිබිණි. එකී අරගල බලය අත්පත් කරගනු ලැබ තිබුණේ ජ.වි.පෙ. විසිනි. ඒවාට සහභාගි වන අයෙකුට තමන් ගේ පෞද්ගලික විරෝධය පෑමේ අවස්ථාවක් තිබුණේ නැත.

එසේ ද වුවත් “ගෝඨාගෝගම” යනු මෙරට අරගල දේශපාලනයේ හැරවුම් ලක්ෂයකි. එහිදී තමන් ගේ උද්ඝෝෂණය සංවිධාන කළ හැකි ය. තමන් ගේ සටන්පාඨය ප්‍රකාශ කළ හැකි ය. තමන් ගේ පුවරුව ප්‍රදර්ශනය කළ හැකි ය.

“ගෝඨාගෝගම” ආරම්භ කළ දා සිට ජ.වි.පෙ. සහ පෙරටුගාමීහු එහි බලය අත්පත් කර ගැනීමට වළි කෑ හ. එය අසාර්ථක වූ තැන ඔවුහු මැයි 06වැනි දා පාර්ලිමේන්තුව අසළ “හොරුගෝගම” නමින් ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණයක් සංවිධානය කර, මැයි 09වැනි දා මෘග, තිරශ්චීන, ගෝත්‍රික ප්‍රහාරයට අවශ්‍ය සමාජ මානසිකත්ව පසුබිම සකස් කළ හ.

අද වන විට දිවයින පුරා මැයි 09,10 දිනවල සිදු කරන ලද ගිනි තැබීම්, කොල්ල කෑම්, හානි කිරීම් සම්බන්ධ චෝදනා වැඩි වශයෙන් එල්ල වන්නේ ද ජ.වි.පෙ.ට ය.

සියලු ගිනිකෙළි සංදර්ශන අවසන් වූ වහා ම මැයි 14වැනි දා අමෙරිකානු තානාපතිනිය පැලවත්ත ප්‍රධාන කාර්යාලයට ගොස් ජ.වි.පෙ. නායකයන් මුණ ගැසුණා ය.

වාමාංශික දේශපාලන පක්ෂයක් ලෙස පෙනී සිටින ජ.වි.පෙ. කිසි දිනයක රුසියානු තානාපති කාර්යාලයේ සාකච්ඡාවකට සහභාගි වනු ඔබ දැක තිබෙනවා ද?

ඒ වෙනුවට ඔවුන් කළේ 2015 මැයි 05වැනි දා රුසියානු තානාපති කාර්යාල ඉදිකිරීම් භූමියට හදිසියේ කඩා පැන එහි නීති විරෝධී කටයුතු සිදු වන්නේ දැයි සොයා බැලීම ය.

තවදුරටත් ඔබ ජ.වි.පෙ. යනු මෙරට වාමාංශික දේශපාලන පක්ෂයක් යැයි සිතන්නේ ද?

KL2022/05/19@gotagohome

Leave a Reply

Your email address will not be published. Required fields are marked *