Opinion

පොන්නම්බලම් – විග්නේෂ්වරන් – ගෙවිඳු – සරත් සහ ගහට ගහක් පාර්ලිමේන්තුවේ දී මුණගැසීම

Summary

පොහොට්ටුවෙන් චන්ද ඉල්ලපු, පොහොට්ටුවට චන්දෙ දුන්න හුඟක් අය ඒ සිංහල බෞද්ධ මොකක් හරි එකෙන් ගනිමින් ඉන්න තාවකාලික චූන් එකට යන්න පුළුවන් දුර සීමිතයි.

  • Save

අලුත් පාර්ලිමේන්තුව රැස් වෙලා සතියක් යන්නත් කලින් විග්නේෂ්වරන්ගෙ වගේ ම ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ගේ පාර්ලිමේන්තු භාවිතාව ගැන සමාජයේ කතාබහක් ගොඩනැගෙමින් තියෙනවා. ඔවුන් දෙදෙනාම ආන්තික දෙමළ ජාතිකවාදීන්. ඔවුන්ගේ භාවිතාව ටී.එන්. ඒ එකේ සම්බන්ධන්ලා ගේ සුමන්තිරන්ලා ගේ භාවිතාවට වඩා වෙනස්.

දැන් උතුරේ දේශපාලන මතය නියෝජනය කරන්න පාර්ලිමේන්තු ඇවිල්ලා ඉන්න විග්නේෂ්වරන්ලා, පොන්නම්බලම් ලා දකුණ එක්ක සම්මුතීන්ට එන්න ඉතා ම දැඩි කොන්දේසි ඉදිරිපත් කරන අය. ඒ කොන්දේසි සමග කොහොමත් දකුණට එකඟ වෙන්න අමාරුයි. මේ ධ්‍රැවීකරණය (polarization) තුළ ම ඔවුන් තමන්ගෙ පැවැත්ම හදාගන්නවා. ඒ වගේ මේ පාර්ලිමේන්තුවෙ ඔවුන්ට මුහුණට මුහුණ ලා ආන්තික සිංහල ජාතිකවාදීනුත් ඉන්නවා. සරත් වීරසේකර ලා, ගෙවිඳු කුමාරතුංග ලා දැන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු නියෝජනය ලබලා තියනවා. එහෙම බැලුවම නව වෙනි පාර්ලිමේන්තුව විශේෂ වෙන එක හේතුවක් වෙන්නෙ ආන්තික සිංහල ජාතිකවාදීන් ට ආන්තික දෙමළ ජාතිකවාදීන් මුහුණට මුහුණ මුණ ගැසෙන නිසා.

සම්බන්ධන්ලා සුමන්තිරන් ලා දකුණ එක්ක සම්මුතීන්ට එළඹුණේ සාපේක්ෂව ලිහිල් කොන්දේසි යටතේ. ඒත් ඒ සම්මුතීන් ගැන බරපතළ සැකයක් සිංහල සමාජයේ ඇති කරන්න දකුණේ ආන්තික ජාතිකවාදීන් කටයුතු කළා. මේ නිසා ම ඉතාම පහසුවෙන් පහුගිය ආණ්ඩුවට කොටි ලේබල් එක අලවන්නත් ඔවුන්ට පුළුවන් වුණා. කොහොම වුණත් ඒ හැම දෙයක් ම දැන් ඉතිහාසය විතරයි. ඒ ආන්ඩුවෙ ජනාධිපති දැන් පොහොට්ටුවෙ. අගමැතිට පාර්ලිමේන්තුවේ එක ආසනයක්වත් නෑ. ඒ ආණ්ඩුවෙ හිටපු පනහකට කිට්ටු පිරිසක් අද සමගි ජන බලවේගය යටතේ අලුත් දේශපාලන පෙරමුණකට ඇවිල්ලා තියනව. දැන් තියෙන්නෙ අලුත් සමීකරණයක්.

මේ වෙද්දි උතුරෙ දේශපාලන මතය නියෝජනය කරන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්න පොන්නම්බලම් ලා විග්නේෂ්වරන් ලා දකුණ එක්ක සම්මුතීන් හදාගන්න ඉතාම දැඩි කොන්දේසි ඉදිරිපත් කරන අය. ඒ කොන්දේසිවලට දකුණට කොහොමත් එකඟ වෙන්න අමාරුයි. ඒ වගේ ම මේකෙ තවත් පැත්තක් වෙන්නේ පොන්නම්බලම් ලා සහ විග්නේෂ්වරන් ලා ද්‍රවිඩ ජාතික සන්ධානයට සාපේක්ෂව පාර්ලිමේන්තුව ඇතුළේ ප්‍රබල දේශපාලන පෞරුෂයක් පෙන්වන අය වීම.. හොඳම උදාහරණය පාර්ලිමේන්තුව රැස් වෙලා දෙවැනි දවසෙ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් කතා කරන අතරවාරයේ ඒකට බාධා කරන්න හදපු සරත් වීරසේකරව තත්පර දෙක තුනෙන් කපලා දාපු විදිහ. මේ අලුත් තත්ත්වය එක්ක ගෙවිඳුලා වගේ අය ගනුදෙනු කරන්නෙ කරන්නෙ කොහොමද කියලා මම ආසාවෙන් බලන් ඉන්නවා.

පොදුවෙ ගත්තම පොහොට්ටුවෙ ඉන්න සියයට 95කට හරයාත්මක විදියට තමන්ගෙ දේශපාලන ව්‍යාපෘතිය සාධාරණීකරණය කරන්න පදනමක් නෑ. ඒ අය සිංහල බෞද්ධ මොකක් හරි වෙනුවෙන් පෙනී ඉන්නවයි කිව්වට ඇත්තට ම ඒ මොකද්ද කියලා පැහැදිලි කරන්නවත් ඒ අයට තේරෙන්නෙ නෑ. ඒ අතරේ ඇවන්ගාඩ් කාරයගෙ ඉඳන් කුරුණෑගල නගරාධිපතිගෙ සිට එස් එෆ් ලොක්කා දක්වා හැමෝම තම තමන්ගෙ ජාගරකම් වහගන්න මේ සිංහල බෞද්ධ කඩතුරාව පාවිච්චි කරලා තියෙනවා. පොහොට්ටුව වටේ ඉන්න ව්‍යාපාරික කොන්ත්‍රාත්කාර පැළන්තියත් තමන්ගෙ ජීවිතේ හුඟක් ඇරියස් වහගන්නෙ මේ සිංහල බෞද්ධ මොකක් හරි එකෙන් තමයි.

පාර්ලිමේන්තුවේ පළවෙනි දවසෙ විග්නේෂ්වරන් කරපු කතාවෙ සමහර කොටස් හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න කියලා ඉල්ලුවෙත් ඔය සිංහල බෞද්ධ මුර දේවතාවො නෙවෙයි සමගි ජන බලවේගයේ මනූෂ නානායක්කාර. මම හිතන්නෙ එතැනින් පොඩ්ඩක් එහාට ගිහින් සමගි ජන බලවේගය ඇතුළෙ මේ වෙලාවෙ හදන්න ඕනෙ බුද්ධිමය සංවාදය තමයි කොහොමද සද්-ජාතිකත්වය මේ ආන්තික දෙමළ ජාතිකවාදයට එදිරිව ශක්තිමත්ව ගොඩ නගන්නෙ කියලා. සද්-ජාතිකත්වය ඇතුළෙ අපි ඉදිරිපත් කරන්නෙ දියුණු ‘ස්වදේශිකත්වවාදයක්’ ගැන අදහසක්. මේ ස්වදේශිකත්වවාදය සමග දේශපාලන දැක්මත්, ආර්ථික දැක්මක්, සමාජ – සංස්කෘතික දැක්මක්, පාරිසරික දැක්මක් බැඳිලා තියන බව පැහැදිලියි. ඒ වගේ ම උතුරේ මිනිහා මුහුණ දෙන ප්‍රශ්නවලට තිරසාර විසඳුම් මොනවද කියන සංවාදයත් මේ ස්වදේශිකත්ව මතය ඇතුළෙ ම අපට ගොඩනගන්න සිද්ධ වෙනවා.

පොහොට්ටුවෙන් චන්ද ඉල්ලපු, පොහොට්ටුවට චන්දෙ දුන්න හුඟක් අය ඒ සිංහල බෞද්ධ මොකක් හරි එකෙන් ගනිමින් ඉන්න තාවකාලික චූන් එකට යන්න පුළුවන් දුර සීමිතයි. එතැනින් එහාට මේ ගමන යන්න නම් ඊට වඩා ශක්තිමත් බුද්ධිමය පදනමක් උඩ අපේ දේශපාලන ව්‍යාපෘතිය ගොඩ නගන්න වෙනවා. මම විශ්වාස කරන හැටියට මේ වෙලාවෙ සමගි ජන බලවේගය වටේට එකතු වෙලා දේශපාලන මතධාරීන්ට කරන්න පුළුවන් ලොකු ම වැඩෙත් ඒක.

[රසික ජයකොඩි ‘සමගි සංදේශය’ නමින් මුහුණුපොතට ලියන ලිපි පෙළේ 14 වන සටහනයි.]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap