Opinion

පොම්පියෝ සහ පම්පෝරියෝ

Summary

ආණ්ඩුවේ MCC විරෝධය පුස්සක් බවට පත් වෙලා ඒ ගිවිසුම ගැන අවසන් තීරණයක් ගන්න බැරිව ආණ්ඩුවේ ප්‍රධානීන් හතර අතේ ඇඹරෙනවා.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ගේ සංචාරය ගැන අද දවල් කොළඹ චීන තානාපති කාර්‍යාලය නිකුත් කරලා තිබුණු ට්විටර් පණිවිඩය ශ්‍රී ලංකාව මේ වෙනකොට මැදි වෙලා ඉන්න රාජ්‍ය තාන්ත්‍රික අවුල තේරුම් ගන්න හොඳට ම ප්‍රමාණවත්.

මේකට මට මතක් වෙන ලේසි ම උදාහරණය තමයි ගමක ඉන්න දුප්පත්, වැන්දඹු ඒත් ලස්සන ගැහැනියක් තමන්ගෙ ග්‍රහණයට ගන්න ගමේ ධනවත් සහ හයිරංකාර පිරිමි දෙන්නෙක් එළිපිට ම සන්ඩු සරුවල් වෙන එක… එක හයිරංකාරයෙක් උදේ වරුවේ ඒ ගැහැනිය ගේ ගෙදරට ගිහින් කියලා ආරංචි වුණා ම අනෙක් හයිරංකාරයා බලෙන් ම වගේ හවස් වරුවේ ඒ ගෙදරට ඇතුළු වෙනවා. තමන් ගේ අසරණකම, ණය බර සහ ආර්ථික ප්‍රශ්න නිසා මේ පිරිමින් දෙන්නා එක්ක ම යහන්ගත වෙන්න ඒ ගැහැනියට සිද්ධ වෙනවා. එහෙම වුණත් මේ ගැහැනිය තමන් ගේ ප්‍රතිවාදියා සමග යහන්ගත වීම වළක්වන්න මේ පිරිමින් දෙදෙනා ම සෘජුව සහ වක්‍රව බලපෑම් එල්ල කරනවා.

මේ මොහොතේ චීනය සහ ඇමෙරිකාව එළිපිට ම ලංකාව තමන්ගේ ග්‍රහණයට ගැනීම වෙනුවෙන් වහසි බස් ප්‍රකාශ කරනවා. මේ තාක් කල් තානාපති කාර්‍යාල ඇතුළේ, රහසිගතව සාකච්ඡා වුණු දේවල් අද තානාපති කාර්‍යාල තමන්ගේ සමාජ මාධ්‍ය පිටුවල එළිපිට පළ කරනවා. මේ සියලු දේ තුළ ලංකාව තල්ලු වෙන්නේ ඇමෙරිකාව සහ චීනය කියන විකල්පයන් දෙකෙන් එකක් තෝරාගැනීම කියන උභතෝකෝටිකය දිශාවට මිස ඇමෙරිකාව සහ චීනය කියන සාධක දෙක ම කළමනාකරණය කරගැනීම කියන දිශාවට නෙවෙයි.

ලංකාවේ අපනයන ආදායම ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර සබඳතා මත සෘජුව රඳා පවතිනවා. 2019 වසරේ පමණක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 3141ක් අපනයන ආදායමක් උපයලා තියනවා. ඒ මුදල ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් සියයට 26.3ක්. ඒ කියන්නේ යම් හෙයකින් ඇමෙරිකාව ලංකාවේ අපනයන සඳහා දොරටු වැහුවොත් අපේ අපනයන ක්ෂේත්‍රය මුළුමනින් ම අඩපණ වෙනවා. චිනයෙන් ලංකාව අපනයන ආදායම වශයෙන් උපයන්නේ ඩොලර් මිලියන 240යි. ඒ මුදල සමස්ත අපනයන ආදායමෙන් සියයට 2කට ආසන්න ප්‍රතිශතයක් පමණයි.
චීනය ඒ වෙනුවට ලංකාව පාලනය කරනේ දැවන්ත ණය උගුලක් හරහා ලංකාවේ බොටුව සිරකිරීමෙන්. ඉදිරි වසර පහක කාලය තුළ ලංකාව එක අවුරුද්දකට දළ වශයෙන් ඩොලර් බිලියන 4.8ක විදේශ ණය ගෙවිය යුතුයි. ඒ වගේ ම ලංකාව චීනයට පමණක් ඩොලර් බිලියන 5කට වඩා ණයයි. ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම්වල දිනෙන් දින පහළට වැටෙන, ඒ වගේ ම විදේශ සංචිත සූරමින් ණය ගෙවන රටක්වන ලංකාවට ඉතිරි වෙන ප්‍රධාන ම විකල්පයක් වන්නේ චීනයෙන් තව තවත් ණය ගනිමින් දැනට තිබෙන ණය ගෙවීමයි.
චීනය කියන්නේ ණය සම්බන්ධයෙන් අවම පාරදෘශ්‍යභාවයක් සහ විනිවිදභාවයක් පවත්වා ගෙන යන රටක්. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නැති, ඒකාධිපති පන්නයේ පාලනයන් ඇති, ගත් ණය ආපහු ගෙවන්න බැරි, දුර්වල ආර්ථික කළමනාකරණයක් සහිත රටවල තව තවත් ණය දීලා ඔවුන් තමන්ගේ බල ව්‍යපෘතියේ ඉත්තන් කරගන්න චීනය ඉතා ම කැමතියි. ඉන්දියන් සාගරයේ උපායමාර්ගිකව ඉතා ම වැදගත් මර්මස්ථානයක පිහිටලා තියන රටක් වන ලංකාව මේ වන විටත් සිරවෙලා ඉන්නෙත් මේ ණය උගුල තුළයි. මේ ණය බහුල වශයෙන් ආයෝජනය වෙලා තියෙන්නේ සුදු අලි ව්‍යාපෘතිවල නිසා එයින් ගන්න පුළුවන් ඵල ප්‍රයෝජන සීමිතයි. එහෙත් ඒ වෙනුවෙන් අපට චීනය එල්ල කරන දැඩි භූ දේශපාලනික පීඩනය හමුවේ බොහෝ දේ අහිමි කරගන්න සිදු වෙනවා.
මේ යථාර්ථය නිසා අපට චීනය සහ ඇමෙරිකාව අතර බලගැටුමට අනවශ්‍ය ලෙස මැදිවෙලා අපේ ස්වාධීනත්වය සහ ස්වෛරීත්වය අහිමි කරගන්න සිද්ධ වෙලා තියනවා. මීට කලින් ජෝන් කෙරී ලංකාවට එන වෙලාවේ ඇමෙරිකානු විරෝධී සටන් පාඨ කියමින් රට දෙවනත් කරපු විමල් වීරවංශ ලා, උදය ගම්මන්පිල ලා අද මී පැටවුන් වගේ හැංගිලා ඉන්නවා. ආණ්ඩුවේ MCC විරෝධය පුස්සක් බවට පත් වෙලා ඒ ගිවිසුම ගැන අවසන් තීරණයක් ගන්න බැරිව ආණ්ඩුවේ ප්‍රධානීන් හතර අතේ ඇඹරෙනවා. MCC ගිවිසුම ඉරා දැමීමේ අභිලාශය වෙනුවෙන් පහුගිය ජනාධිපතිවරණයේ දී චන්දය පාවිච්චි කළ සියලු දෙනා මේ වන විටත් බරපතළ ලෙස රැවටීමට ලක් වෙලා අවසානයි. ජනාධිපතිවරණයට කලින් කරපු කියපු හැම දෙයක් ම පුහු කයිවාරු බවට පත්වෙලා ආණ්ඩුවේ අසමත් බව සහ අවිධිමත්බව සියලු දේ වහගෙන ඉස්මතු වෙමින් තිබෙනවා.

මේ නිසා ම ඊයේ රාත්‍රියේ ලංකාවට ආපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකා රජයට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට ඇති බව පැහැදිලියි. ඒ වගේ ම එළඹෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී ලැබෙන ප්‍රතිඵලය කුමක් වුණත් මේ පීඩනය වෙනස් වන ලකුණු පෙනෙන්නේ නැහැ. ඥානසාර හාමුදුරුවන් ගේ භාෂාවෙන් ම ලංකාවට “අබ සරණ” පතනවා හැරෙන්නට මේ වෙලාවේ කාටවත් වෙන කරන්න ලොකු දෙයක් ඉතිරි වෙලා නැහැ.

Leave a Reply

Your email address will not be published.