Opinion

පොහොට්ටුවේ කෑදරයන්ට බැසිල් කඩේ යනවා

Summary

ජයවීර වැඩකරන්නේ යුරෝපීයන් යුනියන් නම් වූ ඖෂධ සැපයුම් සමාගමකය. නම යුරෝපීයන් යූනියන් වූවාට මේ සමාගම ප්‍රධාන වශයෙන් ඖෂධ ගෙන්වන්නේ චීනයෙන් හා ඉන්දියාවෙනි.

  • Save

සුබෝධ විද්‍යාචක්‍රවර්ති රචනා කරන දේශපාලන නවකතාව. සියලු නම් ගම් මනහ්කල්පිතය.

‘බැසිල් කළෙත් රනිල් කරපු එකමයි. රනිල්ට දිනන්න බැරි හින්ද රනිල් මෛත්‍රීව දැම්මා. ඊට පස්සේ දහනව වෙනි සංශෝධනේ ගෙනල්ලා මෛත්‍රීව නිෂ්ක්‍රීය කළා.

බැසිල් කළතේ ඒකමයි. බැසිල්ට දිනන්න බැරි හින්ද ගෝඨාභයව දැම්මා. දාලා විසිවෙනි සංශෝධනේ ගෙනාවා. ගෙනල්ලා ගෝඨාභය ව නිෂ්ක්‍රීය කළා.’

ජයවීර වැඩකරන්නේ යුරෝපීයන් යුනියන් නම් වූ ඖෂධ සැපයුම් සමාගමකය. නම යුරෝපීයන් යූනියන් වූවාට මේ සමාගම ප්‍රධාන වශයෙන් ඖෂධ ගෙන්වන්නේ චීනයෙන් හා ඉන්දියාවෙනි.

‘විසිවෙනි සංශෝධනෙන් ගෝඨාභයගේ බලතල අඩුවුණේ නෑ. තිබුණා වගේ දෙගුණයක් බලතල ලැබුණා. ඒත් ගෝටාගේ බලේ තිබුණෙ ව්‍යවස්ථාවේ නෙමෙයි. ජනමතයේ. ජනතා කැමැත්තෙ. ඒත් විසිවෙනි සංශෝධනෙන් පස්සෙ ඒක සම්පූර්ණයෙන් ම නැතිවුණා. විසිවෙනි සංශෝධනෙන් ගෝඨා නිෂ්ක්‍රීය වුණේ එහෙමයි.’

ඇතැම් කාලවල ඔපිස් එකේ ඔලුව උස්සන්නට ද බැරි තරමට වැඩය. මේ ජයවීරට ද එබඳු කාලයකි. සියල්ලෝම කඩියන් සේ කාර්ය බහුල වී ඇත. ජයවීර ද කඩියෙක් වී ඇත. ඔලුව උස්සන්නට බැරි වුව ද ඉස්සී නැති ඔලුව යටින් ජයවීරගේ සිත දේශපාලන සිතිවිලි ලුහුබඳියි.

‘බැසිල් විසිවෙනි සංශෝධනේ ගෙනාවෙම ගෝටාට තියෙන මහජන කැමැත්ත නැති කරලා දාන්න. එහෙම නැතිව බැසිල්ට ඔලුව උස්සන්න බෑ. ජනතා කැමැත්ත නැතිවුණ ගමන් ගෝටා නිෂ්ක්‍රීය වෙනවා. බැසිල් බලවත් වෙනවා. දැන් වෙලා තියෙන්නෙ ඒක’

‘ඇත්තටම පාර්ලිමේන්තු මැතිවරණය වෙනකං විසිවෙනි සංශෝධනය සම්මත වෙනකං ගෝටා මේ රටේ පූර්ණ බලතල සහිත විධායක ජනාධිපති හැටියට හිටියා. කවුරුවත් ගෝටාට ඉහළින් ගියෙ නෑ. ගෝටාගෙ අණ ක්‍රියාත්මක වුණා. ඒත් දැන් එහෙම වෙනවද? විසිවෙනි සංශෝධනේ බැසිල් ගෝටට දුන්න ලණුවක්’

මේ දිනවල ජයවීරගේ ඖෂධ සමාගම කාර්ය බහුල වී ඇත්තේ කොරෝනා එන්නතක් ගෙන්වීමේ කටයුත්ත නිසාය. පසුගිය කාලයේ ජයවීර වැඩ කරන කොම්පැනිය දිව්වේ ටිකක් අමාරුවෙනි. ඒ කොරෝනා නිසා අනෙක් බොහෝ ලෙඩ සුව වීම නිසා බෙහෙත් ඉල්ලුම අඩුවීම නිසාය.

‘බැසිල් දැන් යන්නෙ පළාත් සභාවලට. ගෝටාගෙ ප්‍රතිපත්ති එකක්වත් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. බැසිල්ට 2024 ජනාධිපතිවරණය දිනන්න ඕනැ ප්‍රතිපත්ති විතරයි ක්‍රියාත්මක වෙන්නෙ. විසිවෙනි සංශෝධනෙන් බැසිල්ට ඇමරිකාවට යන්නයි ලංකාවේ ජනාධිපති වෙන්නයි දෙකටම එකම දොරක් විවෘත කරගත්තා. ඒක තමයි විස්සෙ අර්ථය.’

‘පළාත් සභා ටිකේ බලය පොහොට්ටුවට ගත්තට පස්සෙ රටම බැසිල්ගෙ අතේ. ඒකෙන් පුළුවන් ජනාධිපතිවරණය දිනන්න. බැසිල් හිතන්නෙ එහෙම.’

‘ගෝටා අද වෙනකොට බැසිල් 2024 ජනාධිපතිවරණයෙන් දිනවීමේ ප්‍රධාන විධායක නිලධාරී විතරයි. 20 ගේනකොට කිව්වේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ඊට පස්සෙ ප්‍රමුඛතාවය දෙනවා කියලා විතරයි. ඒත් දැන් ප්‍රමුඛතාවය ලැබිලා තියෙන්නෙ පළාත් සභා ඡන්දය පැවැත්වීමට’

‘ඡන්දයකට යෑමෙන් වෙන්නෙ දැනටත් අඩපණ වෙලා තියෙන කොරෝනා බෝවීම වළක්වන එක තවත් අඩපණ වෙන එක. ඒත් ඒකට විසඳුම බැසිල්ට තියෙනවා. ඒ රට තවත් ණය කරමින් චීනයෙන්, ඉන්දියාවෙන්, එංගලන්තයෙන්, ඇමරිකාවෙන් හා රුසියාවෙන් කොරෝනා එන්නත් ගෙන්වීම.’

‘සල්ලි නැති අයට ටිකක් අඩුගානට චීනෙ හරි ඉන්දියාවේ හරි එන්නතක් ගන්න බැසිල් ක්‍රමයක් හදලා දෙයි. සල්ලි තියෙන අයට පයිසර් එන්නත ගන්න පුළුවන්. පළාත් සභා ඡන්දෙ තියන්න පුළුවන්. පැණියත් පරදිනවා. ගෝටත් පරදිනවා. හැබැයි බැසිලුත් පරදින්න පුළුවන්. පළාත් සභා ඡන්දෙ ප්‍රතිඵල උඩු යටිකුරු වෙන්න පුළුවන්. පොහොට්ටුවට එක පළාත් සභාවකවත් තනි බලයක් නොලැබෙන්නෙ පුලුවන්. බැසිල් කියන්නෙ රනිල් වගේ ම පක්ෂය පරද්දන නායකයෙක්.’

‘ඒත් කමක් නෑ. බැසිල්ට ඇමරිකානු පුරවැසිකම තියෙනවා. බැසිල් ඇමරිකාවට යනවා. 2015 වගේ ම බැසිල් දුකක් නැතිව ඇමරිකාවට යනවා. රටක් හැටියට බැසිල්ට ලංකාව වටින්නෙ ඒකෙ ජනාධිපතිකම ගන්න පුළුවන් නම් විතරයි. එහෙම නැතිනම් බැසිල්ට ඊට වඩා ඇමරිකානු පුරවැසිකම වටිනවා.

‘ඒත් දුක ඒක නෙමෙයි. රටට තවත් අවුරුදු පහක් අහිමිවෙනවා. රට හදන්න කිසිම වැඩක් කරනවා නෙමෙයි ලංකාව චීනයේ ඉන්දියාවේ හා ඇමරිකාවේ යුද පිටියක් වීම වැළැක්වීමට අපේ ස්වාධීන ශක්තියක් ගොඩනගාගැනීම වෙනුවට බැසිල්ගේ ජනාධිපති සිහිනය වෙනුවෙන් සියලු ක්‍රියාමාර්ග ගැනීමට අවුරුදු පහක් නාස්ති වෙනවා. ඊට පස්සෙ බැසිල් රට යනවා.’

‘2005 සිට 2010 දක්වා ප්‍රභාකරන්ගේ සිහිනය විනාශ කිරීමට රට ක්‍රියාත්ම වුණා. 2010 සිට 2015 දක්වා පවුලේ සිහිනය වෙනුවෙන් රට ක්‍රියාත්මක වුණා. 2015 සිට 2019 දක්වා අපි හිටංට විහිලුකර කර සන්තෝසයෙන් කාලය ගත කළා. 2019 සිට 2024 දක්වා බැසිල් පමණක් නිරර්ථක උත්සාහයක යෙදෙන අතර රට සහ අපි අයාලේ යමින් කාලය ගතකරනවා.’

‘2024 වෙන කොට මොන ව්‍යවස්ථා තිබුණත් රට ඇතුළෙ විදේශ බලපෑම තවත් ශක්තිමත් වෙනවා. ඒක තමයි රටට තියෙන එකම පාර. 2024 වෙන කොට රටපාලනය වෙන්නෙ දියවන්නාවෙන් නෙමෙයි පෝට් සිටියෙන් වෙන්න පුළුවන්. මෙහා පැත්තෙ තියෙන ජනාධිපති කාර්යාලයට වඩා එහා පැත්තෙ තියෙන සාප්පු සංකීර්ණ බලවත් වෙන්න පුළුවන්. මේ එකක් ගැනවත් බැසිල් හිතන්නෙ නෑ. බැසිල් දන්නෙ පොහොට්ටු යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම. පොහොට්ටුවේ යාන්ත්‍රණය වෙලා ඉන්න දේශපාලන කෑදරයො ටික එක්ක බැසිල්ගේ ගමන යාම. පොහොට්ටුවේ යාන්ත්‍රණය රට ජාතිය ආගම නෙමෙයි හැම තැනකම බලය. කැබිනට් එකේ බලය. පළාත් සභාවේ බලය. ප්‍රාදේශීය සභාවේ බලය. සමුපකාරෙ බලය. බලය එක්ක ධනය. බලය හා ධනය හැර රටක් ජාතියක් ආගමක් නොපෙනෙන පොහොට්ටුවේ කෑදරයො එක්ක බැසිල් තමාගේ ජනාධිපති සිහිනය කරා යනවා. බැසිල්ගෙ සිහිනය සැබෑ වෙන්නෙ නෑ. ඒත් පොහොට්ටුවේ කෑදරයන්ගේ සිහිනය සැබෑ වෙනවා. මොකද ඔවුන් ජනාධිපතිකමට සිහින දකින්නේ නෑ ඇමතිකම් පළාත් සභා ඇමතිකම් ප්‍රාදේශීය සභාපතිකම් වගේ ඔවුන්ගේ සිහින සැබෑ වෙනවා. ඔවුන් බැසිල් ව කඩේ යවන්නෙ එහෙමයි. බැසිල්ගේ ජනාධිපති සිහිනය සැබෑකරදීමට ඔවුන්ට වුවමනාවක් නෑ. බැසිල්ගේ ජනාධිපති සිහිනය හරහා ඔවුන්ගේ සිහින සැබෑකරගැනීම පමණයි ඔවුන්ට ඕනැ. ගෙදර බඩුමුට්ටු පුරවාගැනීම, මාළිගා හදාගැනීම, තමන්ට ඉස්සරහින් යන විශාල බඩක් හදාගැනීම, අලියෙකුට වඩා විශාල වාහනයක යාම වගේ අවශ්‍යතා ඉටුකරගැනීම. ඒ වෙනුවෙන් ඔවුන් බැසිල්ව කඩේ යවනවා. මේ පොහොට්ටුවේ කෑදරයන් වෙනුවෙන් කඩේ ගිහිල්ලා ඊට පස්සෙ බැසිල් ඇමරිකාවට යනවා. පොහොට්ටුවෙ කෑදරයෝ පෝට් සිටියෙනුත් තමන්ට බිම් අගලක් හරි අපාට්මන්ට් එකක් හරි ගැනීම ගැන සිහින දකිනවා’

මොන තරම් ඔපිස් එකේ වැඩ තිබුණත් කොරෝනාවට එන්නත් ගෙන්වීමේ ඖෂධ කොම්පැනියේ වැඩ තිබුණත් ජයවීරට මේ සිතිවිලි පස්සේ දුවන තමාගේ දේශපාලන සිත නවත්වාගැනීමට නොහැක. සිතට රසවත්ම ආහාරය දේශපාලනය වැනිය. එය දිවට අයිස්ක්‍රීම්වලට වඩා රසවත්ය. සමහර විට බැසිල් ජනාධිපතිකම ගැන සිහින දකින්නේ ද ඒ නිසා ම විය හැකිය. එ් අනුව බැසිල් විවේචනය කිරීමෙන් තමන් ලබන්නේ ද ජනාධිපතිවීමට උත්සාහ කිරීම මගින් බැසිල් ලබන්නට හදන ආකාරයේ ම වින්දනයක් ද?

සිහින දැකීමෙන් වැළකීමට අපි ඉගෙනගත යුතුය.

පසුගිය කොටස් 

කාටවත් කවුරැවත් නැති ලෝකයක්

ධනපති පංතියේ මෝඩදරුවන්ට ප්‍රයිවට් මෙඩිකල් කොලෙජ්වලින් දොස්තරලා වෙන්න ඉඩ දෙන්න?

ප්‍රභාකරන් පරද්දලා දිනාගත්ත නිදහස අපි චීනෙට හරි ඇමරිකාවට පාවලා දෙනවා නම් ඒක වීරකම නෙමෙයි

අපට ඕනෑ බලතණ්හාව නැති නායකයන් නෙමෙයි දරු ස්නේහය නැති නායකයන්

ඒක හරියට ආදරේ කරන්නෙ නැතිව ළමයි වඩා ගන්නවා වගේ වැඩක්.

ජාතිකවාද නිසා විනාශවන ජාතිකත්වය

මහින්ද මහත්තයා හා සරත් මහත්තයා මනුස්ස දෘෂ්ටිකෝණයකින්

පේල් කතාව ආවෙ කොහෙන්ද

ගෝටා ගැන හිතන විදිහට අපිට අනුර දිසානායක ගැනත් හිතන්න බැරිද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap