Opinion

පොහොර ටිකක් දාන්න ද?

Summary

කොච්චර හොඳ වැඩක් වුනත් හරියට කළේ නැතිනම් ඒකට ලැබෙන්නේ හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි.

පොහොර තහනම ගැනත් කතාවක් ඇතිවෙලා. ඉතින් ඒකට පොහොර ටිකක් දාන්න මටත් හිතෙනවා.

රසායනික පොහොර සහ අනෙකුත් කෘෂි රසායන ද්‍රව්‍ය පාවිච්චියෙන් පරිසරයටත් අපේ සෞඛ්‍යයටත් සිද්දවෙන හානිය ගැන අපි හැමෝම දන්නවා. ඒ හානිය කොච්චර බරපතල එකක් වුනත් පොහොර තහනම ගැන රටේ (විශේෂයෙන්ම අපේ ගම්වල) තියෙන්නේ ප්‍රසාදයක් නෙවෙයි. මම කතා කරපු හුඟක් අය කිව්වේ “මේක මහ පිස්සු වැඩක්” කියලා. “කිසිම සූදානමක්, වෙනත් ක්‍රමයක් අඳුන්නලා දෙන්නේ නැතුව එක සැරේ මෙහෙම කළාම අපි මොකද කරන්නේ?” කියලා ඒ අය අහනවා. කොච්චර හොඳ වැඩක් වුනත් හරියට කළේ නැතිනම් ඒකට ලැබෙන්නේ හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි.

මේ ගැන වැඩි විස්තර කියන්න කලින් තරමක් බාහිර කාරණයක් ගැන කියලා ඉන්නම්. ඒ, අපේ රටේ රාජ්‍ය ණය කළමනාකරණයට අදාළ කාරණයක්.

රටක රාජ්‍ය ණය ප්‍රමාණය කොච්චර ලොකු ද කියලා හොයලා බලන්නේ ඒක රටේ දළ දේශීය නිෂ්පාදිතයත් එක්ක සන්සන්දනය කරලා. 2001 අවුරුද්ද වෙද්දි අපේ රටේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට සියයට 103 ක් බවට පත්වුනා. ඒ කියන්නේ අපේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයත් ඉක්මවලා ගියා. මේක හුඟක් බරපතල තත්ත්වයක්.

ඉතින් මේ කාරණය සළකලා රාජ්‍ය මුල්‍ය විනයක් ඇති කිරීමේ අදහසින් නීතියක් පනවන්න පාර්ලිමේන්තුව කටයුතු කළා. ඒ වැඩේ කළේ 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතින්.

රාජ්‍ය ණය ප්‍රමාණය එක දවසකින් පහළ දාන්න බෑ. ඒකට කාලයක් ඕන. ඒ සඳහා නිශ්චිත ඉලක්ක ලබාදෙන්න ඕන. ඒ වගේ ම, ඒ ඉලක්ක සාක්‍ෂාත් කරගන්න දිශාවට ණය ප්‍රමාණය ටිකෙන් ටික අඩුවෙන්නත් ඕන. ඉතින් මේ නීතියේ අනුව කටයුතු කරලා 2012 අවුරුද්ද වෙද්දි රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 68.7 ක් දක්වා අඩු කරන්න ඒ දවස්වල පැවැතිච්ච ආණ්ඩුවට පුළුවන් වුනා.

මේ වැඩේ කළේ ගැසට් නිවේදනයකින් නෙවෙයි. මේක කළේ ඒ වෙනුවෙන් නීතියක් පැනවීම මඟින්. මේකත් හරියට ශරීර බර අඩු කරන්න නීතියක් පැනෙව්වා වගේ වැඩක්. දැන් ශරීර බර කිලෝ ග්‍රෑම් 80 ක් නම්, මාසයක් ඇතුළත ඒක කිලෝ ග්‍රෑම් 77 ක් කරගන්න ඕන. තවත් මාසයක් යද්දි ඒක කිලෝ ග්‍රෑම් 75 ක් කරගන්න ඕන. වෙනස වෙන්න ඕන අඩුවෙන පැත්තට විතරයි. අනිත් පැත්තට (ඒ කියන්නේ බර වැඩිවෙන පැත්තට) වෙනසක් වෙන්න බෑ. ඒක නීතියෙන් තහනම්.

මට හිතෙන විදිහට රසායනික පොහොර සහ අනෙකුත් කෘෂි රසායන ද්‍රව්‍ය පාවිච්චියෙන් අපේ මිනිස්සු මුදවාගන්නත් මේ වගේ නීතියක් ඕන වෙනවා. මේ වැඩේ කරන්න පුළුවන් ක්‍රම ක්‍රමයෙන් ඒ සඳහා අවශ්‍ය කරන පෙළැඹවීම කරලා. මේ වෙනුවෙන් කරන්න ඕන වැඩ මහ ගොඩක් තියෙනවා. නීතියක් පැනවීම ඒ අතරින් ප්‍රධානයි.

දැන් තියෙන තත්ත්වය තුළ කෘෂි රසායන පාවිච්චි එක සැරෙන් නවත්තන්න අමාරුයි. මිනිස්සුත්, වවන කියන දේවලුත්, පොළොවත් ඒකට ඇබ්බැහි වෙලා. ඉතින් උඩින් කියපු රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතින් පනවපු නීතිය වගේ එකක් මේ වෙනුවෙනුත් ඕන වෙනවා. අදාළ රසායන ද්‍රව්‍ය පාවිච්චි සම්පූර්ණයෙන් ම අත් අරින ඉලක්කය සාක්‍ෂාත් කරගන්නේ අවුරුදු දහයකින් කියලා හිතමු. ඉතින් දැන් ඉඳලා ඒ ඉලක්කය දිශාවට මේ පාවිච්චිය අඩු කරන්න ඕන. අදාළ රසායන ද්‍රව්‍ය ආනයනයට සහ නිෂ්පාදනයට සීමා පැනැවීමෙන් මේක කරන්න පුළුවන්. ඉතින් අවශ්‍ය වෙනස වෙනුවෙන් ටිකෙන් ටික හැඩ ගැහෙන්න ඕන අවස්ථාව මිනිස්සුන්ට ලැබෙනවා.

මේ හැඩගැහීම වෙනුවෙන් කරන්න ඕන වැඩ ගොඩක් තියෙනවා.

මුලින් ම, රසායනික පොහොර සහ කෘෂි රසායන වෙනුවට යොදන විකල්ප (කාබනික පොහොර සහ අනෙකුත් යෙදවුම්) සුලභ කරන්න ඕන. ඒ දේවල් නිෂ්පාදනය සහ පාවිච්චිය දිරි ගන්වන්න ඕන.

දෙවනුවට රසායනික යෙදවුම් නැතුව වවන්න පුළුවන් බීජ වර්ග ප්‍රචලිත කරන්න ඕන. දැන් තියෙන දෙමුහුන් බීජ වර්ගවලින් ඒක කරන්න අමාරුයි. දැනටමත් යම් යම් අය අපේ පාරම්පරික බීජ වර්ග වගාකරනවා. ඒත් ඒ වැඩේ කරන්නේ පුද්ගලික මට්ටමින්. එහෙමත් නැතිනම් කුඩා සංවිධාන මට්ටමින්. මේ සීමාව ඉක්මවලා අදාළ බීජ වර්ග ප්‍රචලිත කිරීම රජයේ මට්ටමින් කරන්න ඕන.

ඒ එක්කම අවශ්‍ය දැනුම ලබාදීලා මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්නත් මහා පරිමාණ ව්‍යාපෘතියකුත් ක්‍රියාත්මක කරන්න වෙනවා. පාසල් අධ්‍යාපනයට පවා ඒ සඳහා අවශ්‍ය දැනුම සහ භාවිතය එකතු කරන්න වෙනවා. ජනමාධ්‍ය ආයතනවලටත් මේ සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා. කිසිම හරයක් නැති ඉන්දියානු කුණු ටෙලි නාට්‍ය පෙන්වනවා වෙනුවට මේ කාරණයට අදාළ තේමා සහිත නිර්මාණ හදලා ප්‍රචාරය කරන්න රූපවාහිනී ආයතනවලට පුළුවන් වෙන්න ඕන.

ගොවිතැනේ වියදම අඩු කරන ක්‍රමත් හඳුන්වාදෙන්න වෙනවා. දැන් තියෙන ඉඩම් පාවිච්චිය පවා ඒ වෙනුවෙන් වෙනස් කරන්න වෙයි. මේ වෙද්දි හුඟක් ප්‍රදේශවල කුඹුරු අයිතිය ලියැද්දේ ප්‍රමාණයට අඩුවෙලා. මේ ඉඩම් එකතු කරලා මිනිස්සුන්ට කොටස් හිමිකම් තියෙන කුඹුරු සමාගම් ගම් මට්ටමින් හදන්න පුළුවන් නම් වියදම් අඩු කරන එකත්, වැඩි ආදායමක් උපද්දවන එකත් අමාරු වැඩක් නෙවෙයි.

මේ වැඩේ සාර්ථක වෙන්න නම් මිනිස්සු විතරක් හැඩ ගැහිලත් මදි. ඒ වෙනුවෙන් පොළොවත් සක්‍රීය සහ සාරවත් තත්ත්වයට පත් කරන්න වෙනවා. පසේ ඉන්න වගාවට හිතකර දිලීර සහ අනෙකුත් ජීවීන් වර්ධනය වෙන්න ඕන. මෙම කාර්යය වෙනුවෙන් විකල්ප ක්‍රම පාවිච්චි කරන අයත් ඉන්නවා. ඒ වැඩෙත් ඊට වඩා පුළුල් කරන්න වෙනවා. කොහොම වුනත් මේක කරන්නත් තරමක කාලයක් ගතවෙයි.

පාරිභෝගිකයන් පුරුදු කරවන වැඩෙත් මේකට අදාළයි. අපි සෑහෙන දෙනෙක් පුරුදුවෙලා ඉන්නේ ලස්සන එළවළු මිල දී ගන්න. ඒ ලස්සන වෙනුවෙන් අපි අපේ ජීවිතය පවා පරදුවට තියෙනවා. සමහර රටවල්වල ක්‍රියාත්මක Ugly Vegetables වගේ වැඩසටහන් අපේ රටෙත් පටන් ගන්න වෙනවා.

මේ දේවල්වලට අදාළ දිරිගැන්වීම් වැඩපිළිවෙළකුත් හඳුන්වලා දෙන්න වෙනවා. මුදල් අධාර දීලා කරන දිරිගැන්වීම්වලට අමතරව තරග සංවිධානයෙන්, සම්මාන ලබාදීමෙන්, වෙනත් විශේෂ වරප්‍රසාද ලබාදීමෙන් (සේවා ලබාගැනීමේ ප්‍රමුඛතා ලේඛනයකට නම ඇතුළත් කිරීමේ වගේ ක්‍රම) මේ වැඩේ කරන්න පුළුවන්.

මෙහෙම සූදානමක් ගැන අදහසක්වක් නැතුව එක සැරෙන් ම කරන තහනම් කිරීම්වලින් ලොකු හානි සිද්ද වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම කලබල වැඩක් කළොත් ඊ ළඟ ඡන්ද පොරොන්දුව රසායන පොහොර සහ කෘෂි රසායන ලබාදීම වෙන්නත් පුළුවන්. එහෙම වුනොත් සිද්දවෙන්නේ අවුරුදු හතළිහක් පනහක් ආපස්සට යෑමක්. ඒ වගේ ම, සෞඛ්‍ය සම්පන්න අනාගතයක් හදාගන්න තියෙන මාර්ගය සම්පූර්ණයෙන් ම විනාශ කරගැනීමක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *