Opinion

පෝර්ට් සිටි ද? පෝර්ක් සිටි ද?

Summary

ඔය කියන විදියට දිව්‍යලෝකෙනෙ ඔතන මැවෙන්නේ. එහේ යන්න බැරිවුණත් ළගට ගිහින් සෙල්ෆියක් ගැහුවත් මදැයි.

වෙනදාට හැමදාම හවසට නිවසට ගොඩ වදින මිතුරන් දැන් සංචරණ සීමා නිසා සැන්දෑවරැවට සූම් වෙති. මා සමූහය සමග එකතුවන විටත් ඔවුන් සව්දිය පිරීමට පටන් ගෙනය.
“අද සමරන්න ඕන ප්‍රීතිමත් දිනයක් සහෝදරයා. කාලෙකට පස්සෙ මෙහෙම දවසක් එන්නේ. ආණ්ඩුව ඇණ ගත්තනේ?” පළමු මිතුරා කතාව ආරම්භ කළේය.
“මොන රටේ ආණ්ඩුව ගැන ද ඔය කියන්නේ?” කියා මා ඇසුවේ කාලෙකට පස්සේ ඇණ ගත්තේ අපේ ආණ්ඩුව නම් විය නොහැකි බැවිනි.
“පෝර්ක් සිටි පනතට දීපු නඩු තීන්දුව දැක්කද? අපේ රටෙ තාමත් අධිකරණ තියෙනවා කියලා අපිටත් දැනෙන්නේ මේ වෙලාවට තමයි” ඔහු ප්‍රීතියෙන් කීවේය.
“ලංකාවේ අධිකරණ වර්ග කීයක් තියෙනවද?” අනෙකා ඇසුවේය.
“ඹය හැටහුටහාමාරක් තියෙන්නේ” මම කීවෙමි.
“එතකොට ශ්‍රේෂ්ඨාධිකරණ කීයක් තියෙනවද?” දෙවැන්නා නැවත ඇසීය.
“එකයි. එකයි. රටේ නීතිය ගැන මෙලෝ අවබෝධයක් නෑනේ?” මම අප්‍රසාදයෙන් කීවෙමි.
“එතකොට ඔය අධිකරණය වලින්මද රංජන් හිරේ යැව්වෙ?” මම හිස සලා ඔව් යැයි අනුමත කළෙමි.
“අම්මපා? එහෙනම් මාර වැඩේ නේද?” ඔහුට ප්‍රශ්න වැලැකි.
“ඇයි?” මිතුරා විශ්මය ප්‍රකාශ කිරීමට හේතුව මට නොවැටහුණි.
“එහෙනම් ඉතිං අධිකරණය කියපු විදියට කරන්න වෙයිනේ? රංජත් තාම හිරේ නේ?” මිතුරා යළිත් කුමක්දෝ වැල්වටාරමක් ඇද බෑවේය.
“කොහොමත් නීතිය ව්‍යවස්ථාව අර්ථ දක්වන්නේ අධිකරණය තමයි” මගේම මිතුරන්ගේ නොදැනුවත්වකම් ගැන මටම ලැජ්ජය.
“මචං, එතකො ආණ්ඩු පක්ෂයේ නඩු අහන්නයි විපක්ෂයේ නඩුඅහන්නයි වෙනමම අධිකරණ දෙකක් තියෙනවද?” එවර නම් මගේ ඉවසීමේ සීමාව නිමා විය.
“පිස්සුද මනුස්සයෝ කොහේද එහෙම තියෙන්නේ?” මම ගිගිරැවෙමි.
“නෑ මම නිකං ඇහුවේ. මොකක්දෝ හේතුවකට ඒ වගේ අදහසක් මගේ ඔලුවට රිංගලා තිබුණා” මම දෙවැනි මිතුරාගේ රෑපය දුරකථනයෙන් පසෙකට ඇ දමා පළමුවැන්නාගේ කැමරාවට යොමු වීමි.
“ආණ්ඩුව අවුරැදු නිවාඩුව අස්සේ පෝර්ට් සිටි පනතට විරැද්ධව උසාවි යන්න එක දවසයිනේ දුන්නේ. වෙලාවට ඒ කණා මුට්ටිය හැමෝම දැක්කේ. උසාවි ගියේ නැත්තන් කොහොමද? ව්‍යවස්ථා විරෝධි වගන්ති 25යි. 9කට ජනමත විචාරණයක් ඕන” පළමු මිතුරා සතුටින් ඉපිලෙමින් පැවසීය.
මා පිළිතුරක් දෙන්නට පෙර දෙවැන්නා යළිත් මැදට පැන්නේය.
“එතකොට ජනාධිපිවරණයේ ලක්ෂ 69යි මහමැතිවරණයේ 2/3යි ජනමතය මදිද ඕකට?” ඔහු නැවතත් සිය දේශපාලන දැනුම පෙන්නුම් කළේය.
“උඹ නොදන්නවා වුණාට ඔය පනත් හදන අය නීති රෙගුලාසි දන්නවා. එයාල හදන්නේ 69යි 2/3යි ඉතිරි උනුයි ඔක්කොම අන්දන්න” පළමු මිතුරා කියූ මෙලෝ දෙයක් දෙවැන්නාට නොවැටහුණු බව මට විශ්වාසය.
“ඒවුණාට විමලේ කියන්නේ ඔහොම ගොඩ බිමක් ලංකාවට තිබුණේ නැතිය. එහෙම ජනාවාසයක් තිබුණේ නැතිය. ඒ හින්දා ඒක පාලනය කරන්න මේ රටේ නීති ඕනේ නැතිය කියලා. බලන කොට ඒකත් ඇත්තනේ” දෙවැන්නා යළි කීය.
“ඔව් ඉතිං මුහුද වටේ දූපත් හදලා හතර වටේට විකුණන එක නම් හොද ව්‍යාපරයක් තමයි” පළමු මිතුරාද දෙවැන්නාගේ ප්‍රශ්නපත්‍රයෙන් වෙහෙස වී සිටියේය.
“එතකොට ඔහේලා දැන් ඔය චීන වරාය නගරෙට විරැද්ධද?” දෙවැන්නා විමසීය.
“පිස්සුද? ඔය කියන විදියට දිව්‍යලෝකෙනෙ ඔතන මැවෙන්නේ. එහේ යන්න බැරිවුණත් ළගට ගිහින් සෙල්ෆියක් ගැහුවත් මදැයි. අපි විරැද්ධ ඕකේ ව්‍යවස්ථා විරෝධි චීනකෑල්ලට විතරයි. දිව්‍ය ලෝකෙ වුනත් මේඩ් ඉන් චයිනා නම් වැඩිකල් තියෙන්නෙ නෑ. අනික මම නම් කොහොමත් කැමති අපායට. මොකද මෙහේ එවුන් ඔක්කොම යන්නෙ එහේටනේ” පළමු මිතුරා දෙවැන්නාට සරදම් කළේය.
“ඒ වුණාට දැන් ඔය සංශොධනය සහිතව කියලා ඔය පනත සම්මත වෙන්නේ?” එවර නම් දෙවැන්නාගේ කතාව සිහිකට යුතුය.
“ඒක තමයි ප්‍රශ්නේ. නමට සංශෝධන කරලා ඒවා හෙමීට විසංයෝජනය කරන්න දක්ෂයින්ට පුලුවන්. අනික ව්‍යවස්ථාව දැන් තමන්ට ඕන විදියට වෙනස් කර ගන්න එක ගන්න එක මහ කජ්ජක්ද? ඩයනාකරණය කරන්න විතරනේ ඕනේ. ව්‍යවස්ථාවට එකග නැත්තන් පහුවදාට ව්‍යවස්ථාව වෙනස් කර ගන්නවනේ” පළමු මිතුරා කණස්සල්ලෙන් කීය.
“ඒක තමයි මම කියන්නේ. ඔය නඩු භාණ්ඩෙ ගැන එච්චර උදම් අනන්න දෙයක් නෑ. සිංහල අවුරැදු පිස්සුව කෙලින්න දුන්නෙයි අවුරැදු කෝවිඩ් පොකුර බිහි වෙන්න ඇරියෙයිත් මේ පනත කියලා හිතෙන්නෙ නැද්ද. සුදියෙන් හරි වසංගතෙන් හරි වැඩේ වෙනව නම් එච්චරයි” මම කීවෙමි.
“ඇයි එතකොට ඕකට පෝර්ක් සිටිය කියන්නේ?” දෙවැනි මිතුරා යළි ඇසුවේය.
“චීන්නු කැමතිම ඌරැ මස් වලටනේ. ඒකයි” බැරිම තැන මම කීවෙමි.
“ඉතිං උන්ට කෑම හොයන්න වෙන දිහා නැතෙයි?” මිතුරා ඇසුවේය.
“නෑ. කෝටි දෙකක් ඌරෝ ඉන්න වෙන රටක් උන්ට තාම හම්බු වෙලා නෑ” කියූ මම සූම් සංවාදයෙන් සමුගතිමි.

Leave a Reply

Your email address will not be published.