Opinion

පෞද්ගලික බෞද්ධයෝ?

Summary

ශාසන ආවරණයෙන් අපිට ලැබෙන්නේ හතුරන්ට මුහුණ දීමේ ප්‍රතිශක්තියක්

  • Save

පහුගිය දවස්වල මූණු පොත ඇතුළේ එක්තරා අදහසක් උස්ස උස්ස පෙන්නනවා අපි දැක්කා. ඒ අදහස මෙහෙම එකක්.

“බුද්ධාගම කියන්නේ එක එකාට අයිති දෙයක් මිසක් අපේ ජාතියට අයිති දෙයක් නෙවෙයි. අපි අපේ ආගම වෙනස් කරපු පමණින් සිංහලකම නැති වෙන්නේ නෑ.”

“ආගම වෙනස් කරපු පමණින් අපේ සිංහලකම නැති වෙන්නේ නෑ” කියන අදහසේ වැරැද්ද නම් පොඩි ළමයෙක්ට වුනත් තේරුම් ගන්න පුළුවන්. අපි දැන් පිළිගන්න බුද්ධාගම අත ඇරලා ඒ වෙනුවට ඉස්ලාම් ආගම වැළැඳ ගත්තොත් අපේ සිංහලකම ඉතිරි වෙයි ද? ඉතින් මේ සරල කාරණය ගැන යමක් කියන අදහසක් මට නෑ. අපි මේ ලිපියෙන් අනිත් කාරණය විතරක් විමසලා බලමු.

බුද්ධාගම කියන්නේ අපි පුද්ගලිකව තනි තනියෙන් පිළිපදින දහමක් ද?

අපි පොඩි කාලේ අපේ අම්මලා තාත්තලා අපිව පන්සල් එක් කරගෙන යනවා. “මම පුද්ගලික වැඩකට යනවා. උඹලා උඹලගේ වැඩක් බලා ගනිල්ලා” කියලා අපේ අම්මා පන්සල් ගියේ නෑ. බුදුහාමුදුරුවෝ ගැන, පන්සල් ගැන, හාමුදුරුවරු ගැන, පව් පින් ගැන, කුසල් අකුසල් ගැන අපි ඉගෙන ගත්තේ අපේ දෙමව්පියන්ගේ ආභාෂයෙන්. දන් දෙන විදිහ, සිල් ගන්න විදිහ, තව තව පින්කම් කරන විදිහ අපි අපේ දෙමව්පියන්ගෙන් සහ අනෙකුත් වැඩිහිටියන්ගෙන් ඉගෙන ගෙන තියෙනවා.

අපේ ගෙවල්වලත් නොයෙකුත් පින්කම් කරනවා. ගෙදර බුදු පිළිමයකුත් තියෙනවා. අපි ඒ බුදු පිළිමයට මල්, පහන්, හඳුන් කූරු පූජා කරලා වන්දනා මාන කරනවා. ඒ වෙලාවට කියන පාලි ගාථාවල තේරුම අපි පොඩි කාලේ ඉඳලා ම දන්නවා. “පූජේමි බුද්ධං කුසුමේන නේන” කියන ගාථාවේ තේරුම දන්නේ නැති බෞද්ධ ළමයි අපි දන්න සමාජයේ නම් නෑ. මෙහෙම ගාථා කියලා බුදුන් වඳින්න කලින් මල් තියන්න ඕන තැන ගැනත් අපිට අවබෝධයක් තියෙනවා. මල් ටිකක් කඩා ගෙන ඇවිල්ලා කොතැනකට හරි දාලා අපි බුදුන් වඳින්නේ නෑ.

අපේ සිංහල උච්චාරණය හැදෙන්නත් මේ ගාථා කීම හේතු වෙලා තියෙනවා. සිංහල භාෂාව හසුරුවන්න පාලි, සංස්කෘත භාෂා දැනුම ප්‍රයෝජනවත් කියලා කුමාරතුංග මහත්තයා වගේ පඬිවරුත් තේරුම් ඇරගෙන හිටියා. ඉතින් නිවාඩු කාලයට එතුමා නුවරඑළියට ගිහිල්ලා වීදුරුපොළ පියතිස්ස මහා නායක හාමුදුරුවන්ගෙන් පාලි භාෂාව ඉගෙන ගෙන තියෙනවා.

අපේ සිංහල සමාජය බුද්ධ ශාසනයෙන් වෙන් කරලා සළකන්න බෑ. ශාසනයේ සිව්වනක් පිරිස මූලික වශයෙන් සැකසෙන්නේ ම අපේ දායකත්වයෙන්. සිංහල නොවන සුළු පිරිසක් අපේ ශාසනයට සම්බන්ධ වෙලා ඉන්න බව ඇත්ත. ඒත් ඒ දායකත්වය ඉතාමත් සුළු එකක්. මේ භික්‍ෂු, භික්‍ෂුණි, උපාසක, උපාසිකා සිව්වනක් පිරිස ශාසනයත් එක්ක සම්බන්ධ වෙන්නේ සාමූහික විදිහට. සංඝ කියලා කියන්නේ ම සාමූහිහ රත්නයක්.

සිංහල භාෂාව දන්න පොඩි ළමයි පවා “සංඝ” කියන වචනයේ තේරුම දන්නවා. මේ “සංඝ” කියන වචනයෙන් ආවරණය වෙන්නේ දැන් වැඩ වසන ස්වාමීන්වහන්සේලා විතරක් නෙවෙයි. අතීතයේ වැඩ හිටිය (අගත), ඒ වගේ ම අනාගතයේ වැඩ ඉන්න (අනගත) ස්වාමීන්වහන්සේලාත් ඒ වචනයෙන් හැඳින්වෙනවා. උන්වහන්සේලාට යමක් පූජා කරද්දි අපි ඒ දේවල් සාංඝික කරනවා. සාංඝික කරපු දේවල් පුද්ගලික නෑ.

අපි අපේ හැකියාවෙන් යම් යම් දේවල් ශාසනයට පූජා කරන බව ඇත්ත. ඒත් එකතු වෙලා යමක් පූජා කරනවා නම් පින වැඩියි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් හාල් මිටකින් හරි මහ පිංකමකට දායක වෙන්න අපි කැමැතියි. මේ විදිහට සම්මාදම් වෙලා තමයි අපේ වෙහෙර විහාර මහ ගොඩක් හදලා තියෙන්නේ. රුවන්වැලි මහා සෑය ප්‍රතිසංස්කරණය කිරීම ගැන හිතලා බලන්න. ඒක අපේ සාමූහික හපන්කමක්.

වෙහෙර විහාර කියන්නේ පුද්ගලික දේපල නෙවෙයි. ඉතින් අපේ පොදු සාමුහික කටයුතු සෑහෙන ප්‍රමාණයක් පන්සල මුල් කරගෙන සිද්ද වෙනවා. හදිස්සියේ ගංවතුරක් වගේ ආපදාවක් ඇති වුනාමත් මිනිස්සු රැස් වෙන්නේ, ආරක්‍ෂා වෙන්නේ පන්සලේ.

ස්වාමීන්වහන්සේලා එක පැත්තකින් අපිට ගුරුවරු වෙනවා. තවත් පැත්තකින් උන්වහන්සේලා අපිට සමාජ නායකත්වයක් සපයනවා. අපේ භාෂාව මේ තරමට පෝෂණය කරන්න, වර්ධනය කරන්න උන්වහන්සේලාගේ කටයුතු හේතු වෙලා තියෙනවා. අතීතයේ දී අපේ රටේ සාහිත්‍ය පොත පත සෑහෙන ප්‍රමාණයක් ලියලා තියෙන්නේ භික්‍ෂූන්වහන්සේලා. අපේ ඉතිහාසය පවා වාර්තා කරලා තියෙන්නේ උන්වහන්සේලා. ඒ විදිහට ලියැවිච්ච පොත් පත් ආරක්‍ෂා කරගෙන තියෙන්නෙත් පන්සල්වල.

එංගලන්තේ, ප්‍රංශයේ ඉන්න සමහරු පොත් පත් කියවලා බෞද්ධ වෙලා ඉන්න පුළුවන්. ඒ අය පුද්ගලිකව තමන්ගේ ආගම අදහනවා වෙන්නත් පුළුවන්. ඒත් සාමුහික ඇගැයීම්වලට තැනක් තියෙන අපේ සංස්කෘතිය ඇතුළේ බෞද්ධකම ඊට වඩා ගොඩක් වෙනස්. ඉතින් අපි අපේ බෞද්ධ සංස්කෘතිය ගැන ආඩම්බර වෙනවා. බෞද්ධ ශිෂ්ටාචාරය කියලා විෂයයක් අපේ ළමයින්ටත් උගන්නනවා.

අපේ ජාතිය ආරක්‍ෂා වුනේ ශාසනය හින්දා. අපි ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් වැඩ කළා. ඒ වගේ ම, ශාසනය විසින් අපේ ජාතිය ආරක්‍ෂා කළා. ක්‍රිස්තු වර්ෂ 993 දී ඇරැඹුණු චෝළ ආක්‍රමණය හින්දා විශාල සංස්කෘතික බිඳ වැටීමක් සිද්ද වුනත් ශාසනික ආවරණය තුළ නැවතත් හිස ඔසවන්න අපිට පුළුවන් වුනා. ඒ විදිහෙ ශක්තිමත් ශාසනික ආවරණයක් නොතිබුණු මාලදිවයින, සිරිවිජය (මැලේසියාව සහ ඉන්දුනීසියාව ඇතුළත් ප්‍රදේශය) වගේ රාජ්‍යයන්ට වෙච්ච දේ ගැන අපි හොඳින් දන්නවා. ක්‍රිස්තු වර්ෂ 1215 දී වෙච්ච කාලිංග මාඝයාගේ ආක්‍රමණය නිසා සෑහෙන හානි සිද්ද වුනත් ශාසනික ආවරණය ඇතුළේ අපිට ජාතියක් විදිහට නැවතත් හිස ඔසවන්න අපිට පුළුවන් වුනා.

ශාසනය අමතක කරලා කටයුතු කළා නම් අපිට මේ ආරක්‍ෂාව ලැබෙන්නේ නෑ. එහෙම වුනා නම් අපිට අපේ භාෂාව ඉතිරි වෙන්නෙත් නෑ. අපිට අපේ නම් ගම් ඉතිරි වෙන්නෙත් නෑ.

මේ හපන්කම අපි විතරක් කරපු එකකුත් නෙවෙයි. මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය කියන රටවල් ආරක්‍ෂා වුනෙත් ඒ අය අපෙන් උරුම කරගෙන හිටිය ශාසනික උරුමය හින්දා. ජාතියත් ආගමත් වෙන් කරන්න බැරි තරමට එකට බැඳලා තියන්න ථෙරවාද කලාපයේ හැම රටකට ම පුළුවන් වුනා. මේ ශාසනික බැඳීම ට්‍රෙවෝ ලිං (Trevor Ling) මහාචාර්යතුමාත් නිරීක්‍ෂණය කරලා තියෙනවා. එතුමා ලියපු A History of Religion East and West පොතේ 311 – 312 පිටුවල ඒ ගැන කියලා තියෙන්නේ මෙහෙම.

In all these countries, throughout the period when the Theravada was more and more thoroughly permeating the fabric of society, the monks were the public educators. Almost every village had its monastery, however small, and to it the village children went for their lessons, with the result that these countries are among the most highly literate in Asia. The village monasteries have been the agents of a two-way process of cultural interpenetration between Buddhism and local indigenous beliefs, similar to that which has been noted in connection with Ceylon, a process whose result has been not the corruption of Buddhist values but rather the civilising by the Buddhist presence of what was formerly barbaric.

අපේ සමහර අඥාන පුද්ගලයන්ට මේ ඇත්ත පේන්නේ නෑ. ඒ අය දවල් රෑ නැතුව මහන්සි වෙන්නේ අපි ශාසනයට දීලා තියෙන ප්‍රමුඛතාව නැති කරලා දාන්න. තමන් අද ඉවරයක් නැතුව පම්පෝරි කියවන්නේ මේ ශාසනික උරුමයට පින්සිද්ද වෙන්න කියන එකවත් ඒ අය තේරුම් ගන්නේ නෑ.

බෞද්ධ අපි අනිත් රටවල් ආක්‍රමණය කරන්න යොමු වෙච්ච පිරිසක් නෙවෙයි. වෙනත් රටවල සංස්කෘතීන් යටපත් කරන උවමනාවකුත් අපිට නෑ. ඒත් බුද්ධ ශාසනය ආරක්‍ෂා කරලා, පෝෂණය කරලා ඒ මාර්ගයෙන් අපේ ආරක්‍ෂාව සලස්වා ගන්නත් අපි අදහන දහම අනාගත පරපුරට උරුම කරලා දෙන්නත් අපි කටයුතු කරලා තියෙනවා. ශාසන ආවරණයෙන් අපිට ලැබෙන්නේ හතුරන්ට මුහුණ දීමේ ප්‍රතිශක්තියක්. තවත් විදිහකට කියනවා නම් මේක හරියට මදුරු දැළක් ඇතුළට වෙලා ආරක්‍ෂා වෙනවා වගේ වැඩක්. ඉතින් මේ ඇත්ත අමතක කරලා පුද්ගලික බුද්ධාගමක් අදහන්න පෙළැඹෙනවා කියන්නේ අපේ වළ අපි ම කපා ගැනීමක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap