කොලම

බක තපස් 1: වස්සා එක්ක විස්ස දාලා අනාගත්තා

Summary

”මා පවසන්නේ අපේ රටේ උගතුන්ගෙන් දේශපාලනඥයන්ගෙන් බුද්ධිමතුන්ගෙන් මහාචාර්යවරැන්ගෙන් සියයට සියයක් ‘බකතපස්’ බව නොවේ.”

  • Save

[සුබෝධ  විද්‍යාචක්‍රවර්ති රචනා කරන දේශපාලන නවකතාව]

”මිනිස්සු රේස් දානවා. ඒ කියන්නෙ අස්සයන්ට ඔට්ටු දානවා. ඒත් ගෑණු රේස් දාන හැටි පේන්නෙ නෑ. ගෑණු රේස් දානවා නෙමෙයි රේස් පදිනවා.. ගෑනුන්ට තමන්ගෙ මහත්තයා අස්සයෙක්. ජොකියා නෝනා. අස්සයා මහත්තයා. ගෑණු තමන්ගෙ ඉලක්කෙට අස්සයා පන්නනවා. රේස් දාන එක අපරාධයක්. ඒක ඇත්ත. ඒත් තමන්ගෙ මහත්තුරැ තමන්ගෙ ඉලක්කයට දුවන අස්සයෝ කරගන්න එක ඊට වඩා අපරාධයක්..අපේ රටේ වෙන්නෙ ලොකු අපරාධයක් පොඩි අපරාධයකින් වහන එක. ලොකු ඇත්තක් පොඩි ඇත්තකින් වහන එක”

”පාර්ලිමේන්තුවෙ නැතත් ෆේස් බුක් එකේ හරි විපක්ෂයක් ඉන්නවා. ඒක නිසා හරක් ප්‍රශ්නෙ ඉස්සරහට දාලා දේශපාලන වාසි ගැනීමේ ආණ්ඩුවේ වෑයම අසාර්ථක වුණා. වස්සගෙන් විස්ස වහන්න බැරිවුණා”

‘”ලංකාවේ ලොකුම නාස්තිය හා දූෂණය පළාත්සභා”

“නුවරඑළියේ එළවළු සහ රජරට එළවළු අතර තියෙන්නෙ නූතන රයිගමයාගෙයි ගම්පළයාගෙයි කතාවක්. නුවරඑළියේ මිනිස්සු නුවරඑළියේ වවන එළවළු කන්නෙ නෑ. ඒ පැත්තෙ කඩවල තියෙන්නෙ ඔක්කොම වට්ටක්කා, තලන බටු, මයියොක්කා, දෙල් වගේ පාතරට එළවළු. තමන් තෙල් බේත් ගහන හැටි දන්න නිසා නුවරඑළියෙ මිනිස්සු තමන්ගෙ පළාතේ එළවළු කන්නෙ නෑ. රජරටත් එහෙමයි. රජරට මිනිස්සු කන්නෙත් උඩරට එළවළු. තමන් පෝර ගහලා හදන වට්ටක්කා කන්න ඒ අයට ආසාවක් නෑ. අන්තිමට අනිත් අයට වහ දාපු එළවළු දීලා තමන් අනිත් අයගෙ වහදාපු එළවළු කනවා. රයිගමයාගෙයි ගම්පොළයගෙයි කතාවමයි”

කළල්ගොඩ පාර මගින් මාලබේ කොට්ටාව පාර, පන්නිපිටිය තලවතුගොඩ පාර සමග යා කරනු ලබයි. කළල්ගොඩ පාර කාපට් දමා සකසා ඇතත් ඉඩ ඇත්තේ යම්තම් වාහන දෙකක් මාරැවීමට පමණක් නිසා වාහනයක් ඉස්සර කිරීම තරමක් අසීරැය. නැතිනම් අවදානම් සහගත වැඩකි. ඒ නිසා මෙසේ එකක් පරදවා තවත් සිතිවිල්ලකට ඉස්සරවීමට ඉඩ දෙමින් ජයවීර ස්වකීය වැගන්ආර් රථය නිවිහැනහිල්ලේ පදවමින් සිටියේය. එහෙත් හදිසියේ මේ සිතිවිලි අතරට ජයවීරගේ සිතට එකවරම වෙනස් සිතිවිල්ලක් ආවේය.

”පොළන්නරැව අනුරාධපුරේ වගේ දුර ගිහිල්ලා ආපහු එද්දි කඩවත පහුවෙන කොට තමයි ගමට ආවා වගේ දැනෙන්න ගන්නෙ.”

එසේ කීවේ විජයන්ය. විජයන් ජයවීර රැකියාව කරන වෙල්ඩන් ඇන්ඩ් වැල්ඩින් බහුජාතික ඇඩ්වටයිසින් කම්පැනියේ සේවයට ආවේ ළගකදීය. එයට පෙර ඔහු රැකියාව කළේ සුරස නම් වූ දැවැන්ත රෑපවාහිනී නාළිකාවේය. විජයන් පමණක් නොව විජයන්ගේ අම්මා තාත්තා පමණක් නොව සීයා හා මුත්තා ද ගුණසිංහපුර වැසියෝ වූහ.

කෙසේවුවත් විජයන්ගේ සියාගේ කාලයේ ගුණසිංහපුරයේ නම කුමක්දැයි ජයවීරට මතක් වූයේ නැත. එහෙත් මේ අමතකවීමෙන් හෙළිවන්නේ ඒ තිබුණ නම් සියල්ල පරයා ගුණසිංහපුරය නම් නම රෙජිස්ටර් වී තිබීම යැයි ජයවීර සිතාගත්තේය. ආර් ප්‍රේමදාස මහතා විසින් එම ප්‍රදේශයට ඔය නම යොදන්නට ඇත්තේ 1980 දී පමණ විය යුතු යැයි ජයවීර කල්පනා කළේය.

එහෙත් ඒත් සමගම අලුතින් ගුණසිංහපුරය යන නම දමනු ලැබුවේ පැරණි කෙහෙල්වත්තට බව ජයවීරට එක්වරම කල්පනා විය. ගුණසිංහපුරය කියන නම සමග එම ප්‍රදේශයට ඊට පෙර කියන ලද නම මතක් නොවූව ද ප්‍රේමදාස නාමය සමග එම ප්‍රදේශයට කියන ලද නම කෙසෙල්වත්ත බව ජයවීරට කල්පනා විය. කෙසේවුවත් එය එසේ වූයේ අපේ සියලු විඥානයන්ට වඩා දේශපාලන විඥානය ප්‍රබල වීම නිසා යැයි ජයවීරට සිතුණේ නැත.

ඊළග සතියේ: ගලේවෙලින් කඩවතට 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap