කොලම

බක තපස් 3: කැප්පෙටිපොළගේ මරණය සැමරීම

Summary

ඒ අනුව මේ ජාතික සටන් හා ජාතික ව්‍යාපාර සියල්ල මිථ්‍යාවක් යැයි සිතුණේ ජයවීරගේ අවිඥානයටය. කොල්ලුපිටියේ තමන් වැඩ කරන කාර්යාලය තුළට රිංගා ගත් ජයවීරගේ අවිඥානයටය.

සිතේ ජයග්‍රහණ කිසිවක් නැතිව බාහිර ජයග්‍රහණ හඹා යන රටකට කිසිදු ජයග්‍රහණයක් ලබාගත හැකිද? දේශපාලනය යනුවෙන් සිදුවන්නේ ඒ වංචාව නොවේද? කාර්යාලයත් වඩා ආගාධයක ජයවීරගේ අවිඥානය සැරිසරමින් තිබුණි.

  • Save

සුබෝධ  විද්‍යාචක්‍රවර්ති රචනා කරන දේශපාලන නවකතාව

මේ කාලයේ වැඩිහිටියෙක් නිවසට වඩා කාලයක් ගත කරන්නේ කාර්යාලය තුළය.එහෙත් ඒ බව ජයවීරට කල්පනා වන්නේ කලාතුරකිනි. සීත කාමරවලට වී කරන දේශපාලනයක් ගැන ටිකක් ඈත කාලයක කතාවක් තිබුණි. ඒ ඉහළ පෙළැන්තියට අයත් අය කරන දේශපාලනය ගැනය. එහෙත් අද ඉහළ පංතිය පමණක් නොව මධ්‍යම පංතිය ද කරන්නේ සීත කාමරවලට වී කරන දේශපාලනයකි. සීතකාමරවලට වී ෆේස්බුක් එකෙන් කරන දේශපාලනයකි. මේ රටේ කතාවේ තරමට කෙරැවාව නැත්තේ ම ඒ නිසාය. කෙරැවාව සියේට එකක් වන විට කතාව සීයට සීයක් වන්නේ ඒ නිසාය.

වාහනයෙන් බැස කාර්යාලයට යන ජයවීරට මේ කිසිවක් කල්පනා වූයේ නැත. එහෙත් ඒවා අවිඥානයේ තිබෙන්නට ඇත. එහෙත් ඔහු ඔලුව බරකරගෙන කාර්යාලයෙන් බැස වාහනය වෙත ගියේ එදින කළ යුතු වැඩ ගැන සිතමිනි.

රට පුරා රාජ්‍ය භාෂාව සිංහල වුවත් කාර්යාල තුළ රජ කරන භාෂාව ඉංග්‍රීසිය.  සියලූ වීරයන් කාර්යාල තුළට කොටුකර දැමීමට බටහිර යටත් විජිත වාදය අද වන විට සමත් ව ඇත. කාර්යාල තුළ කළ හැකි විප්ලවයක් හෝ අරගලයක් නැත. කාර්යාල තුළ කළ හැකි එකම දෙය අධිරාජ්‍යවාදය වෙනුවෙන් සේවය කිරීමයි. සුදු මිනිසා වෙනුවෙන් සේවය කිරීමයි. කාර්යාලය තුළට යන්නේ අප නොවේ වෙනත් කෙනෙක් යැයි කාර්යාලයට ඇතුළුවෙන විට ම සෑම කාර්යාල සේවකයෙකුටම ඉබේම සිතෙන්නේ ඒ නිසා විය හැකිය. මේවා ද ජයවීරගේ විඥානයේ නොව අවිඥානයේ පැවති අදහස්ය. ඒවා විඥානයට ගෙන කරන්නට වැඩක් නැති නිසා ඒවා අවිඥානයේ ම පවතිනවා ඇත. කෙසේ වුවත් අපේ අවිඥානයේ තවම සිටින්නේ කැප්පෙටිපොළ විය හැකිය.

සංවර්ධනය යනු කාර්වලින් යාම බව බ්‍රවුන්රිග්ගේ හෘද සාක්ෂියයි. සංවර්ධනය යනු අවම වශයෙන් තට්ටු දෙකේ ගෙයක් හදාගැනීම බව බ්‍රවුන්රිග්ගේ හෘද සාක්ෂියයි. සංවර්ධනය යනු හැපි බර්ත් ඩේ කියමින් කේක් කෑම බව බ්‍රවුන්රින්ගේ ඇත්තේ සමහරවිට බ්‍රවුන්රිග්ගේ හෘද සාක්ෂියේ නොව ‘උදරසාක්ෂියේ” විය හැකිය. හැපි බර්ත්ඩේ කියමින් කේක් කැවීම ඇත්තටම කැප්පෙටිපොළ නැවත නැවත මරාදැමීමක් බව අපට කල්පනා නොවන්නේ ම බ්‍රවුන්රිග්ගේ හෘද සාක්ෂිය නොඑසේනම් උදර සාක්ෂිය නිසාය. ජෝ අබේවික්‍රම මහතා කියන විදිහට දැන් හැපි බත් ඩේ විකාරයක් පැවතිය ද එකළ අප සැමරෑ එකම උපන් දිනය බුදුරජාණන්වහන්සේගේ උපන් දිනය පමණක් විය. උපත දුකක් වූ කළ ඒ උපත නැති කරන උත්තමයාගේ උපත පමණක් අපි සැමරැවෙමු. එහෙත් උපත නමැති දුක උත්සවාකාරයෙන් සමරන සියලූ දෙනාම අබෞද්ධයෝ නොවන්නේද? මෙබදු ප්‍රශ්න පැනනොනගින්නේ ම බ්‍රවුන්රිග්ගේ හෘද සාක්ෂිය නිසා නොවේද? මේ කාර්යාලය අසල ඇවිලෙන ජයවීරගේ අවිඥානයයි.

බ්‍රිතාන්‍යයන් විසින් සියලු ශ්‍රී ලාංකිකයන්ට නැවත උත්පත්තියක් ලබාදී ඇත. උපන් දින උත්සව හෙවත් හැපි බර්ත් ඩේ ලෙස සමරනු ලබන්නේ එයයි. මේ සෑම උපන්දිනයක් ම ඇත්තටම කැපපෙටිපොළගේ මරණය සැමරීමකි. එහෙත් වෙනත් වීරකමක් කරනු තබා උපන්දින උත්සවය සැමරීමෙන් ඉවත්වීමට තරම්වත් නිර්භීතකමක් බොහෝ සිංහලයන්ට අද නැත.

ඒ අනුව මේ ජාතික සටන් හා ජාතික ව්‍යාපාර සියල්ල මිථ්‍යාවක් යැයි සිතුණේ ජයවීරගේ අවිඥානයටය. කොල්ලුපිටියේ තමන් වැඩ කරන කාර්යාලය තුළට රිංගා ගත් ජයවීරගේ අවිඥානයටය.

සිතේ ජයග්‍රහණ කිසිවක් නැතිව බාහිර ජයග්‍රහණ හඹා යන රටකට කිසිදු ජයග්‍රහණයක් ලබාගත හැකිද? දේශපාලනය යනුවෙන් සිදුවන්නේ ඒ වංචාව නොවේද? කාර්යාලයත් වඩා ආගාධයක ජයවීරගේ අවිඥානය සැරිසරමින් තිබුණි.

බක තපස් 1: වස්සා එක්ක විස්ස දාලා අනාගත්තා

බක තපස් 2: මර්වින් සිල්වලාගේ කොළඹ පොත් ප්‍රදර්ශනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap