කොලම

බක තපස් 4: විඥානවාදී මාක්ස්වාදීන්

Summary

මාක්ස්වාදීන්ගේ වරදම ඕනෑවට වඩා කල්පනා කිරීම යැයි ද විඥානවාදය කියා දෙයක් ඇත්නම් ලෝකයේ සිටින ලොකුම විඥානවාදීන් භෞතිකවාදය ගැන කියන මාක්ස්වාදීන් බව ද ජයවීරට හදිසියේ කල්පනා විය.

  • Save

ජයවීරට මහා සැහැල්ලුවක් දැණිනි. එය දැනුනේ තමන් ඔපිස් එකේ තමන්ගේ පුටුවේ ඉඳගැනීමත් සමඟය. රැකියාවක් කරන කාට වුණත් ලොකුම සැනසීමක් දැනෙන්නේ ඔපිස් එකට ගොස් තමන්ගේ පුටුවේ ඉඳගත් පසුවය. පුටුවේ හොඳටම නින්ද යන්නේ ද මේ නිසා විය හැකිය. ගෙදර ඇඳට වඩා හොඳට ඔපිස් එකේ පුටුවේ නින්ද යන්නේ මේ නිසා විය හැකිය. හිතට දැනෙන සැහැල්ලුව නිසාය. ගොවියාට කුඹුරට ගිය  පසුව ද දැනෙන්නේ මේ සැහැල්ලුව විය හැකිය. එහෙත් මෙතරම් සැහැල්ලු පුටුව ද සමහර විටක ජීවිතයේ ලොකුම වදය වෙයි. 

ශක්‍රයාට ද තමන්ගේ පුටුව ඇතැම් විට වදයක් වෙයි. මනුලොව කාට හෝ විපතක් වූ ඔහු එයින්  මුදවාගැනීම සක්‍රයාගේ රාජකාරියයි. මේ රාජකාරිය පැහැර හැර පුටුවේ වාඩිවී කල්ගෙවීමට නොහැක. ඒ පුටුව රත්වීම නිසාය. මේ අනුව සක්‍රයා ද රාජකාරිය නිසා දුක් විඳින්නෙකි. ඔහුව ඒ දුකින් මුදවාගැනීමට නම් කිසිවෙකු නොමැත. මනුලොව වුව ද රාජකාරිය සම්බන්ධ හේතුවක් නිසා විපතට පත්වන යම් අයෙකුගේ පිහිටට සක්‍රයා වුව ද නොඑන්නේ ඒ නිසා විය හැකිය. එනම් රාජකාරිය සම්බන්ධ ප්‍රශ්නයක දී සක්‍රයා ද බේරාගැනීමට අයෙකු නැති නිසාය.

කෙසේවුව ද අපි රාජකාරිය  කරන්නේ සක්‍රයා තමන්ගේ කාරිය ඉටුකරනවාට ද වඩා වුවමනාවෙන් යැයි ජයවීරට කල්පනා විය. රාජකාරිය දේවකාරියට ද වඩා උතුම් ය යන කතාවක් ඇති වී ඇත්තේ එහෙයිනි. කෙසේවුවත් ඇතැම් විට දේවකාරියට ද වඩා මුල්තැන දේ ජයවීරගේ ජීවිතයේ ඇත. ඔහු රාජකාරි ඇරඹීම සඳහා කටුකුරැන්දේ ඥානානන්ද හාමුදුරැවන්ගේ පොතක් අතට ගත්තේ ඒ නිසාය. 

ඥානානන්ද හාමුදුරැවන් ගැන ජයවීර දැනගත්තේ මහාචාර්ය නලින්ද සිල්වා මහතාගේ ලිපි කියවීමෙනි.  ඥානානන්ද හාමුදුරැවන් අපවත්වූ විට මහාචාර්ය නලින් ද සිල්වා මහතා කටුකුරැන්දේ ඥානානන්ද හිමියන් සෝතාපන්න වූ හිමිනමක් යැයි ලියා තිබූ බවක් ජයවීරගේ මතකයේ ඇත. සමහර විට එසේ ලියා ඇත්තේ අපවත් වීමට කලින් ද විය හැකිය. කෙසේ හෝ ඥානානන්ද හිමියන්ගේ පොත් සොයා කියවීමටම සිතුණේ මේ කතාව කියවීමෙන් පසුවය. නොමිලේ පමණක් ලබාගැනීමට හැකි ඥානානන්ද හාමුදුරැවන්ගේ පොත් ලබාගැනීමට ජයවීරට මහාභාරකාර දෙපාර්තමේන්තුවට යාමට සිදුවිය. ඒ පොත් ලබාගැනීමට ජයවීර ගිය විට එහි සිටින ඒ කටයුත්ත භාර තරමක උසස් නිලධාරියා ජයවීරගෙන් ඇසුවේ මොකද සසර කළකිරිලා ද යනුවෙනි. ඒ නිලධාරියා ජයවීරට ලියනගේ අමරකීර්තිගේ අහම්බකාරක  නවකතාව කියවන ලෙස අනුසාසනා කළේය. කෙසේ හෝ පොත් ටික ගෙනවිත් කියවන විට ජයවීර මුලින් වසඟ වුණේ එහි භාෂා ශෛලියෙනි. එවන් භාෂා ශෛලියක් ඊට පෙර තමන් කියවා නැතැයි ජයවීරට සිතිණි. එහි අර්ථයට වඩා ජයවීර භාෂා ශෛලියට වශී වුණේ ඔහුගේ පුරැද්ද නිසා විය හැකිය. කෙසේවුව ද පොත් 15ක පමණ කාණ්ඩයක් ඇති එ ධර්ම ග්‍රන්ථවලින් හත අටක් කියවා ජයවීර අවසන් වශයෙන් නිගමනය කළේ සමහර කරැණු සම්බන්ධයෙන් තමන්ට ඥානානන්ද හිමියන්ට වඩා දැනුමක් ඇති බවය. එසේ සිතා පොත් පැත්තකින් තැබුවේය.

එහෙත් වසරකට පමණ පසුව නැවත ඒ පොත් කියවන්නට ජයවීරට සිතිණි. එවර කියවද්දී නම් ජයවීරට සිතුණේ මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ කතාව ඇත්ත විය හැකි බවය. එවර ජයවීරට කල්පනා වූයේ තවත් කතාවකි. එනම් මිනිසුන් මහාචාර්ය නලින් ද සිල්වා මහතා ලියන දේ පමණක් කියවා කියවා සිටින්නේ ඇයි ද යන්නයි. එනම් මහාචාර්ය නලින් ද සිල්වා මහතා විසින් ම සෝවාන් උත්තමයෙකු විය හැකි යැයි සිතන ඥානාන්ද හාමුදුරැවන්ගේ පොත් නලින් ද සිල්වා මහතා ලියන දේ කියවන අය විසින් නොකියවන්නේ ඇයි ද යන්නයි. එයට මහාචාර්ය නලින් ද සිල්වාටම දොස් කිව හැකි ද යන්න ගැන ද ජයවීර කල්පනා කළේය. 

කෙසේ හෝ දිගටම එක පාරක නොයා එක එක පාරවල්වල යාමට තමන් තුළ ස්වාභාවික නැඹුරැවක් පවතින බව එවර ජයවීරට සිතුණි. මිනිසාගේ ප්‍රශ්නය ම එයමය. සතිපට්ඨානය අවශ්‍ය වන්නේ ඒ නිසාය. ඒ බව ද ඒ පමණින් හෝ තමාට ලැබුණේ ඥානානන්ද හිමියන්ගේ පොත් කියවීම නිසා බව ද ඥානාන්ද හිමියන්ගේ පොත් කියවීමට අවශ්‍ය දැනුම ලැබුණේ මහාචාර්ය නලින්  ද සිල්වා මහතා ලියන දේ කියවීම නිසා බව ද ජයවීර කල්පනා කළේය. කෙසේවුවත් තමන් ඥානානන්ද හිමියන් ගැන කල්පනා කරන්නේ ම බැසිල් ගැන කල්පනා කිරීමට ඇති අකමැත්ත නිසා යැයි ද ජයවීරට සිතිණි. බැසිල් මහතා ගැන කල්පනා නොකරන්නේ බැසිල් මහතා ගැන කල්පනා කළ ද තමන්ට කළ හැකි දෙයක් නැති නිසා යැයි ද ජයවීරට සිතිණි. ඒ නිසා හොඳම දෙය ඥානානන්ද හාමුදුරැවන් ගැන කල්පනා කිරීම යැයි ද ඔහුට සිතිණි. 

ආගම දහම ගැන කල්පනා කිරීමට යොමුකරවීම සඳහා බැසිල් මහතා සතු බලය ගැන ජයවීරට පුදුම නොවී සිටිය නොහැකි විය.

එදා බැසිල් යට කරගෙන මෛත්‍රී තමන්ගේ ගමන ගියේය. දැන් මෛත්‍රීගේ ගමන අවුරැදු පහකින් අවසන් වී තිබේ. බැසිල් මහතා තමන්ගේ ගමන අරඹා ඇත. තුනෙන් දෙක සමානයි බැසිල් යන මහාචාර්ය නලින් ද සිල්වාට පවා ඔප්පු කරගත නොහැකි ගණිතමය සූත්‍රය ඔප්පු කිරීම ඒ මහතාගේ අරමුණ වී තිබේ.

ඒ අතරම තවත් කරැණක් හදිසියේ ම ජයවීරට කල්පනා විය. එනම් ඇමරිකාවේ පුරවැසිකම හිමි අය කොතෙක් දෙනෙක් විවිධ රටවල විවිධ බලවත් තනතුරැ දරමින් සිටින්නේ ද යන්නයි. ඇමරිකාවේ බලය හිතාගැනීමටවත් නොහැකි තරම්ය. එසේ සිතන විට නිවන ගැන නම් යම්තමින්වත් සිතාගැනීමටවත් හැකි යැයි ද සිතේ. තමන් ඥානානාන්ද හිමියන් ගැන සිතන්නට වූයේ ඒ නිසාද? කෙසේවුවත් නොගැලෙපෙන මාතෘකා දෙකක් එකට පටලාගත් විට මෙබඳු අබූත පව්කාර  සිතිවිලි වෙත යාම නොවැළැක්විය හැකිය. ඕනෑවට වඩා කල්පනා කරන්නට යාම නිසා තමන් මාක්ස්වාදියෙකුගේ තත්වයට වැටී ඇතැයි ජයවීරට සිතිණි. මාක්ස්වාදීන්ගේ වරදම ඕනෑවට වඩා කල්පනා කිරීම යැයි ද විඥානවාදය කියා දෙයක් ඇත්නම් ලෝකයේ සිටින ලොකුම විඥානවාදීන් භෞතිකවාදය ගැන කියන මාක්ස්වාදීන් බව ද ජයවීරට හදිසියේ කල්පනා විය.

බක තපස් 1: වස්සා එක්ක විස්ස දාලා අනාගත්තා

බක තපස් 2: මර්වින් සිල්වලාගේ කොළඹ පොත් ප්‍රදර්ශනය

බක තපස් 3: කැප්පෙටිපොළගේ මරණය සැමරීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap