Opinion

බටහිරට යටත් නොවීමට නම් බටහිරකරණය වන්න

Summary

එකල ආක්‍රමණය සාධාරණය කළේ ‘සුදු මිනිසාගේ දෙවුර මත පැටවුණුබර’ ලෙසයි. අද වෙනස්. ටිකක්.

එක් දහස් අටසිය හැත්තෑ ගණන් වන විට  තායිලන්තය පාලනය  කරමින් සිටියේ පස් වන රාමා හෙවත් මහා චූලාලංකෝන් රජතුමා විසිනි. ඔහුට පාලනය සඳහා  උපදෙස් දුන් , ඉතාම විශ්වාසවන්ත, රජ පවුලටම අයත් වුනු  කුමාර වරුන් කණ්ඩායමක් සිටියේය. මේ අතර  සිටි , බටහිර රටවල් සමග රාජ තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන ගිය කුමාරයා වුයේ ප්‍රිස්ඩෑන් පරවත්  හෙවත් ප්‍රිස්ඩෑන් චුම්සායි නම් කුමාරයාය. දිනක් රජ තුමා  ඔහු අමතා ඉතා බැරෑරුම් ප්‍රශ්නයක් ඇසුවේය. ප්‍රශ්නය වුයේ මෙතෙක් ස්වාධීනව සිටි සියම් රාජ්‍යය බටහිර ආක්‍රමණ වලින් තව දුරටත් ආරක්ෂා වන්නේ  කෙසේද යන ප්‍රශ්නයයි. ප්‍රිස්ඩෑන් කුමාරයාගේ පිළිතුර වුයේ රජතුමනි බටහිර ආක්‍රමණ  වලින් ආරක්ෂා වීමට නම් ඉතා වේගයෙන් රට බටහිර  කරණය කරන්න යන්නය.

යම් රටක් පහළොස්වන සියවසෙන් පසු යුරෝපීය යටත්විජිතකරණයකට ලක් නොවුනේ නම් කෙසේ පවතිනු  ඇත්ද යන්න සිතා ගැනීමට  අපට ගන්නට  තිබෙන එකම උදාහරණය  තායිලන්තය හෙවත්  අතීත සියම් රාජධානිය පමණය . නේපාලය සහ භූතානය හැර දකුණු ආසියාවේත් අග්නිදිග ආසියාවේත් අන් සියලු රටවල් ඍජුවම යුරෝපීය ජාතීන් විසින් යටත් කරගෙන සිටියහ. එම දෙරට සහ ඇෆ්ඝනිස්ථානය ඍජුව යටත් නොවුනද  එහි සිටි පාලකයන් සමග  ඇති කරගත් වෙළඳ සහ දේශපාලනික ගිවිසුම් ගණනාවක් මගින් ඒවා බ්‍රිතාන්‍යය කිරීටයට අවශ්‍ය ආකාරයට   දුරස්ථව පාලනය වෙමින් තිබිණ. චීනය සම්පූර්ණයෙන් යටත් නොවුනද  අර්ධ වශයෙන්  බ්‍රිතාන්‍ය බලපෑමට හසු වී තිබිණ. මොන්ගෝලියාව සහ ඉරානය  පැවතියේද  අර්ධ වශයෙන් පිලිවෙලින් බ්‍රිතාන්‍යට සහ ප්‍රංශයට අවශ්‍ය ලෙස පාලනය වෙමිනි.  මේ කිසිදු අයුරකින්  යුරෝපීය ජාතියක බලපෑමට හසු නොවී පැවතියේ  රටවල් දෙකක් පමණි.. ඒ තායිලන්තය හෙවත් අතීත සියම් රාජධානිය සහ ජපානයයි.

ජපානය ඒ වන විට සිටියේ තමන්ගේම වූ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියකය. ඉන් සියවසකට පමණ පෙර අයුත්තයා හිදී චක්‍රී රාජ වංශය විසින් බුරුම හමුදාවන් තීරණාත්මක ලෙස  පරාජය කොට  නූතන තායිලන්ත රාජ්‍යයේ දේශපාලනික සීමා මායිම් සලකුණු කොට තිබුණි. නමුත් මේ වන සියමේ ස්වෛරීය භාවය දෙපසකින්  අභියෝගයට ලක් වී තිබිණ. එක්දහස් අටසිය මුල් ගණන් වල සිට උතුරු බුරුම රාජධානිය සහ ඉංග්‍රීසීන් අතර යුධ මාලාවක් හටගෙන තිබුණු අතර  අදියර දෙකකදී බුරුමයේ දකුණු කොටස් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉංග්‍රීසීන් විසින් යටත් කරගෙන සිටියහ. මෙය  පරිසමාප්තියට පත් වන්නේ 1885 දී මණ්ඩලේ රාජධානිය බ්‍රිතාන්‍යන් විසින් යටත් කරගැනීමෙනි. බුරුමය යටත් කරගැනීමෙන් පසුව එතනින් නැගෙනහිරට පැතිරීමට  බ්‍රිතාන්‍යට විශාල වුවමනාවක් තිබුණු අතර ඒ සඳහා මහෝපකාරී වන ලෙස සියමට දකුණින් ඊට යාබදව තිබුණු මැලේසියාවත් බ්‍රිතාන්‍යන් අතේ තිබිණි. මීට අමතරව  ඒ වන විට වර්තමාන වියට්නාමය, කාම්බෝජය, සහ ලාඕසය යටත් කරගෙන සිටි ප්‍රංශ අධිරාජ්‍යයද තම වපසරියන් බටහිර දෙසට පැතිරවීමට අධිෂ්ඨාන කරගෙන සිටියහ ( මේ කලාපයේ  සිතියම  සිතින් මවාගෙන කියවන්න). සියම සිටියේ ඒ වන විට ලොව බලගතුම අධිරාජ්‍යවාදී බලමුළු  දෙකට මැදි වීය. මහා චූලාලංකෝන් රජතුමා තමන්ගේ විශ්වාසවන්ත උපදේශකයකු වූ ප්‍රිස්ඩෑන්  කුමරාගෙන් ඉහත ප්‍රශ්නය අසන්නේ මෙවැනි මොහොතකය.

ප්‍රිස්ඩෑන්  කුමරා බටහිර අධ්‍යාපනය ලද ඉංජිනේරුවකු වුනු අතර ඒ වන විටත් වසර දහයක් මුළුල්ලේ යුරෝපීය රටවල් ගණනාවක  සියම් රජුගේ නිත්‍ය තානාපති ලෙස සේවය කොට තිබිණි ( ඔහු සියම විසින් පිටස්තර රටකට පත් කරන ලද පළමු නිත්‍ය නේවාසික නියෝජිතයා විය). බටහිර දේශපාලන අභිලාෂයන්, පාලන විධික්‍රම සහ  සමාජ ව්‍යුහයන් පිලිබඳ මනා දැනුමක් ඔහු සතු විය. එළබෙන සියවස අයත් වන්නේ යුරෝපයට බවත්, තනි සියමට එය වෙනස් කල නොහැකි බවත් , කල හැකි එකම දෙය ක්‍රමයට අනුගත  වී එය ජයගැනීමෙන් භෞතිකව යටත් වීම වලක්වා ගැනීම බවත් ඔහු සහතික වශයෙන්ම දැන  සිටියේය. මේ වන විට  බටහිර  ජාතීන්ට  රටක් යටත් කර ගැනීමට සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීම   අවශ්‍ය විය. ඉන් සියවස් කීපයකට පෙර ඉදිරිපත් කල ජනප්‍රිය හේතුව වුනු  “ ලෝකය ශිෂ්ඨ සම්පන්න කිරීමෙහි ලා සුදු මිනිසාගේ දෙවුර මත පැටවුණු බර “  ( White Man’s Burden) නිදහස් කරගැනීමට  ලෝකය යටත්  කරනවා යන්න පමණක්  මේ වන විට ප්‍රමාණවත් නොවුනේ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ අදහස් යුරෝපය පුරා බලවත් ලෙස පැතිරී තිබුණු බැවිනි. බොහෝ විට මේ කියන කාලය වන විට අලුතෙන් රටක් යටත් කරගැනීම සඳහා ඉදිරිපත් කල “ සාධාරණ” හේතු දැක්වීම වුයේ ආරක්ෂක හෝ ආර්ථික හේතුය. බ්‍රිතාන්‍යට  මෙන්ම ප්‍රංශයටද එකිනෙකා පෙන්වමින් ඇති  තරම් ආරක්ෂක හේතු දැක්විය හැකිව තිබුනත් එම හේතූන් සාධාරනීකරණය කල හැකිව තිබුනේ ස්වාධීන සියම් රාජ්‍යය “ බටහිර ක්‍රමය” පිළිනොගන්නා බව ප්‍රදර්ශනාත්මකව පෙන්නුම් කරමින් සිටියේ නම් පමණි. ප්‍රිස්ඩෑන්  කුමරාගේ උපාය මාර්ගය සනිටුහන් වන්නේ  මෙතැනිනි.

හැකි පමණ සියම් දරුවන් ප්‍රමාණයක් බටහිර රටවලට ගෙන ගොස් අධ්‍යාපනය ලබා දිය යුතු බවත් බටහිර රටවල පවතින්නාක් මෙන් පාසල් සහ උසස් අධ්‍යාපන පද්ධතියක් සියමේද ඇති කල යුතු බවත් ඔහුගේ උපදෙස විය. තායිලන්තයේ අදටත් තිබෙන මහා චූලාලංකෝන්  සරසවිය ඇතුළු රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ආරම්භ වන්නේත් , රට පුරා නවීන පන්නයේ විද්‍යාල පද්ධතියක් ආරම්භ වන්නේත්, බටහිර  වෛද්‍ය ක්‍රමයට අනුව ප්‍රතිකාර කරන රෝහල් සමූහයක් ආරම්භ වන්නේත්  මේ අනුවය. සියම් දරුවන්ට බටහිර රටවලට ගොස් අධ්‍යාපනය  ලැබීමට  මහා චූලාලංකෝන් රජතුමා ආරම්භ කල රාජකීය ශිෂ්‍යත්ව අරමුදල අදටත් ක්‍රියාත්මක අතර එරට දරුවකුට එවැනි අවස්තාවක් ලබා ගැනීමට තිබෙන ප්‍රධානතම මාර්ගයද එය වෙයි.

ප්‍රිස්ඩෑන්  කුමරා සිදු කල අනෙක් වැදගත්ම කාර්යය නම් 1885 තරම් ඈත කලකදී “ ව්‍යවස්ථාමය කිරීටයක් ” (Constitutional Monarchy) සඳහා වූ යෝජනා රජුට ඉදිරිපත් කිරීමයි. එනම් රජුට රටේ සියලු දේ කෙරෙහි තිබෙන කොන්දේසි විරහිත බලය ලිහිල් කොට පරිපාලනමය සහ නීතිමය කටයුතු ව්‍යවස්ථාවක් අනුව සිදු කිරීමේ යෝජනාවයි. ඒ අවස්ථාවේදී යම් යම් ප්‍රතිසංස්කරණ සිදු වුවද එය අංග සම්පූර්ණ ලෙස ස්ථාපිත වන්නේ 1932 දීය.  1885 වන විට එංගලන්තයවත් තම කිරීට බලය ප්‍රජාතන්ත්‍රකරණය කිරීම කෙරෙහි  උනන්දු වී තිබුනේ නැත.

ප්‍රිස්ඩෑන්  කුමරාගේ සියම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියත් ඊට සමාන්තර කාලයකදී ලංකාවේ ක්‍රියාත්මක  වුනු බෞද්ධ පුනරුද ව්‍යාපෘතියත් අප සමාන්තර කියවීමකට ලක් කල යුතුය. මේ දෙකෙහිම තේමා පාඨය වුයේ  පවත්නා නව තත්වයට අනුගත වීම සහ එය ජයගැනීම යන්නයි. මේ ව්‍යාපාර දෙකෙහි පැවති සැබෑ සබඳකම් පිළිබද අප ඉදිරියේදී කතා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *