Opinion

බත් කෑමේ ප්‍රශ්නය…

Summary

සහල් යම් ප්‍රමණයක් ආනයනය කරන්නට ඉඩ දීමේ වරදක් නැත. එවිට ආනයනික සහල් කන්නට කැමති කෙනා එය කනු ඇත. ලංකාවේ හොඳ හාලකට හොඳ මිලක් ගෙවන්නට කැමති කෙනා එය කනු ඇත. වෙළඳපොල මගින්ම මිල පාලය වනු ඇත.

මේ ආණ්ඩුව බලයට පත් වූ දා සිට දෙපැත්තට දෝලනය වූ ප්‍රශ්නයක් තිබිණි නම් ඒ වී සහ සහල් මිල සම්බන්ධයෙන් රජය සහ මෝල් හිමියන් අතර තිබූ ගැටුමය. ආණ්ඩුවේ ඇමතිලාගේ පාරම්බෑම්, හමුදා නිලධාරීන්ගේ පුස් වෙඩි, ⁣මහා පරිමාණ මෝල් වලට කඩා වැදීම් වැනි මහජනතාවට විනෝදය සපයන වැඩ පිළිවෙලක් මෝල් හිමියන් විසින් වී වලට උපරිම මිලකුත් සහල්වලට උපරිම සිල්ලර මිලක් නියම කිරීමෙන් අවසන් විය.

ලංකාවේ වී වගාව කියන්නේ ලේවලට මුහු වූ සංස්කෘතික කාරණාවකි. වීවලට සාධාරණ මිලක් ලැබීම ගොවි ජීවිත ගොඩ නගයි. හාල්වලට සාධාරණ මිලක් ලැබීම බත් කන මිනිස්සුන්ට ජීවිතය පහසු කරවයි.

ඒ නිසා අපි මේ ප්‍රශ්නය සාධාරණව කතා කරමු…
වෛරයෙන් තොරව, ඉරිසියාවෙන් තොරව කතා කරමු…
අනූ ගණන් වල වී මිල සම්බන්ධ ප්‍රශ්නය ඔබට මතකද? පොළොන්නරුවේ වී ගොවීන් මැහිතෙල් බොන එක ඒ කාල⁣යේ සුලබ ප්‍රවෘත්තියක් විය. ඒ කාලයේ වී ඒකාධිකාරය තිබූ මරඳගහමුල ව්‍යාපාරිකයන් කිව්වේ පොළොන්නරුවේ වී වල තෙත ගතිය හින්දා හොඳ මිලක් දෙන්නට බැරි බවය. මේ ප්‍රශ්නය ආණ්ඩුවට පාරාවළල්ලක් වන විට එක ඇමතිවරයෙක් කීවේ ගොවියන් වහ බොන්නේ ජොලියට කියලාය. විපක්ෂ දේශපාලනයට මෙය කදිම රස මසවුලක් විය. එදත් අදත් වී මිලට දේශපාලන මුහුණුවරක් තියෙන බව අප තේරුම් ගත යුතුය.

ඒ කාලයේ පාරිභෝගිකයාගේ තත්ත්වය කුමක්ද? මුදල් දී ගෙනෙනා හාල් අම්මලා ඉවුවේ හෝදලා ගරලා ය. හාල් වල වැලි, ගල්, කලු ඇට අපි හිතුවේ කොහොමත් තියෙන ඒවා කියලාය.
එහෙත් ක්‍රමයෙන් පොළොන්නරු වී මිල සම්බන්ධ ප්‍රශ්නය විසඳිණි. එය විසඳුවේ රජයක් නම් නොවෙයි. මහා පරිමාණයෙන් හාල් මිලට ගෙන ඒවායේ ගල් වැලි කලු ඇට ඉවත් කොට වෙළඳපොලට ආකර්ෂණීය ඇසුරුමකින් එලියට දැම්මේ නිපුන මුදලාලිය. එපමණක් නොව ඔහු තෙත හාල්ද මිලට ගත්තේය. ඒ සඳහා තාක්ෂණය ඔහු ගෙන ආවේය. ඒ නිසාම පොළොන්නරුවේ ගොවියාටද සාමාන්‍ය මිලක් ලැබිණි. ගොවියන්ගේ වහ බීම නැවතිණි. හැබැයි වහ බීම නැවතීම කාටවත් ප්‍රවෘත්තියක් නොවීය. ඓ් වෙනුවට නිපුණ මුදලාලි කෝටිපතියෙකු වීම ප්‍රවෘත්තියක් වෙන්නට පටන් ගත්තේය.

ඔහුගේ මග යමින් තවත් මහා පරිමාණ මෝල් කිහිපයක් ඇරඹිණි. ඒ එක්කම සුලු හා මධ්‍ය පරිමාණ මෝල් වලට කණ කොකා හඬන්නට පටන් ගත්තේය. එතැන අලුත් ප්‍රශ්නයක් නිර්මාණය විය. ඒ නිශේදනීය පැත්තකි.

පාරිභෝගිකයා පැත්තෙන්ද කතාව වෙනස් විය. හාල් ගැරීම අතීතයට එක් වූ වචනයක් විය. ඉහළ ප්‍රමිතියෙන් යුතු ගඳ ගහන්නේ නැති පහසුවෙන් පිසගත හැකි හාලක් ගෙදරට ආවේය. තව දුරටත් ගල්, වැලි සහිත ප්‍රමිතියෙන් තොර සහල්වලට පැවැත්මක් නැති විය. මේවා සාධනීය කාරණාය.
ඒ සමඟම සහල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගියේය. කල දුටු කල වල ඉහ ගැනීමේ ලාංකීය මනෝභාවය මෝල් හිමියන් පැත්තෙන්ද ප්‍රකට විය. හාල් දෙසීයට ගියේය. ඒ නිශේදනීය කාරණයකි.

මහා පරිමාණ මෝල් හිමියන් දියුණුවට පත් විය. එයින් අරලිය ව්‍යාපාරය ගැන කාගේත් අවධානය යොමු වුණේ ඩඩ්ලි සිරිසේනගේ සහෝදරයා ප්‍රබල ඇමතිවරයෙක් වීමත් පසුව ජනපතිවරයා වීමත් නිසාය. මා දන්නා තරම් මෛත්‍රීපාල ජනපතිි ගැන කවර විවේචන තිබුණත් ඔහු සහෝදර සමාගම් නඩත්තු කර නැත. ඒ නිසා ඩඩ්ලිගේ සහල් ව්‍යාපාරයට කෙරෙන බොහෝ චෝදනා ගැන මැදහත්ව සිතා බැලීම හොඳය. ඔහු පමණක් නොව අනෙක් බොහෝ මහා පරිමාණ ⁣මෝල් හිමියන් දේශීය ව්‍යාපාරිකයන් බව අමතක නොකළ යුතුය. රටක් දියුණු වෙන්නට දේශීය ව්‍යාපාරිකයන්ද දියුණු විය යුතුය. අනික් හැම දේටම වාගේ හාල්වලටත් බ්‍රෑන්ඩ් එකක් හැදෙන එක මා නම් හොඳ දෙයක් ලෙස දකිමි.

මේ මහා පරිමාණ මෝල් හිමියන් ක්‍රම ක්‍රමයෙන් ගොවියන්ගෙන් තරඟකාරී මිලට වී මිලට ගන්නට පටන් ගත්තහ. රජයේ සහතික මිලට වඩා ඔවුහු මිලට ගත්තහ. හැබැයි එහෙම මිලට ගෙන රජයේ ගැසට් කළ සහතික මිලට සහල් විකුණන්නට බැරි බව කුඩා ළමයෙකුට වුව තේරෙන කාරණාවකි. අවසානයේ රජය සහ මෝල් හිමියන් ගැටුමකට ගියහ. රජයකට කුඹුරට ගොස් තෙත වී මිලට ගන්නා මෝල් හිමියන් සමග තරග කරන්ට බැරිය. කොහොමත් ගොවියන් රජයේ අඩු මිලට වී දෙන්නේද නැත. සිදුවුණේ ඕකය. අවසානයේ රජයට තම ආක්‍රමණශීලී පිළිවෙත හකුලා ගන්නට සිදු විය.

මෙයට විසඳුමක් නැතිද?
මා මේ ගැන විශේෂඥයෙක් නොවන මුත් සාමාන්‍ය පුරවැසියෙක් හැටියට ⁣පහත කරුණු ටික පදනම් කරගත් මැදහත් විසඳුමකට යා යුතු යැයි සිතමි.

හෙක්ටයාරයක් වගා කරන ගොවියෙකුට වියදම් අතහැරිය විට කන්නයකට ලැබෙන ආදායම 125,000 පමණ වේ. අවුරුද්දකට කන්න දෙකකි. මේ ආදායම ඔබට ප්‍රමාණවත්ද? අනිත් හැම දේම ඉහළ යද්දී වී මිල පමණක් පාලනය කළ යුතු යැයි සිතීම ආත්මාර්ථකාමීය. අද සිගරැට්ටුවක මිල කීයද? වී මිල ඉහළ යනවා කියන්නේ අපේම රටේ ජනකොටසකගේ ජීවන තත්ත්වය ඉහළ යන එකය.

එය අප කවුරුත් පිළිගත යුතුය….

ඔවුනට ඉහළ මිලක් ගෙවන මෝල් හිමියා මාෆියාකාරයා යැයි හංවඩු ගහන ප්‍රතිපත්තියෙන් මිදී ඔවුන් සමග ප්‍රබුද්ධ ගනුදෙණුවකට යා යුතුය. සම්බා, කීරි සම්බා වැනි සුපිරි යයි සම්මත දේශීය සහල් වර්ග කෘත්‍රීමව මිල අඩු කිරීමට රජය මැදිහත් නොවිය යුතුය. ඒ වෙනුවට අති බහුතරය වන සාමාන්‍ය මිනිහාට දරන්නට හැකි මුදලකට පිරිසිදු හොඳ තත්ත්වයේ නාඩු වැනි සහල් වර්ගයක් වෙළඳපොලට එන ක්‍රමයක් සකස් කළ යුතුය. සම්බා කන එකාට ඒ මිල ගෙවා සම්බා කන්නට ඉඩ දිය යුතුය. නාඩු කන එකාට කන්නට නාඩු තිබිය යුතුය. ඔක්කොම පාලනය කරන්නට යාමෙන් සම්බාද නාඩුද දෙකම නැති වෙයි.

සහල් යම් ප්‍රමණයක් ආනයනය කරන්නට ඉඩ දීමේ වරදක් නැත. එවිට ආනයනික සහල් කන්නට කැමති කෙනා එය කනු ඇත. ලංකාවේ හොඳ හාලකට හොඳ මිලක් ගෙවන්නට කැමති කෙනා එය කනු ඇත. වෙළඳපොල මගින්ම මිල පාලය වනු ඇත.

හැම කන්නයකටම රජයේ මිලක් නියම කිරීම ප්‍රශ්නයක් නැති වුවද ඉන් ඉහළ මුදලකට මිල⁣ට ගැනීම සීමා නොකළ යුතුය. වෙළඳපොලට නිදහසේ හැසිරෙන්නට ඉඩ දිය යුතුය.

රජය යම් සහල් ප්‍රමාණයක් මිලට ගෙන සංචිතයක් ලෙස පවත්වා ගැනීම හොඳ වැඩකි. එය කොටන්නට සුලු පරිමාණ මෝල්වලට විකිණීමෙන් ඔවුනගේ ආර්ථික තත්ත්වය යහපත් වනු ඇත. ඒ සහල් නැවත සතොස හරහා විකිණීම කළ හැකිය.

මේ මොනවා කරන්නටත් වී සහ සහල් නිෂ්පාදනය මොනිටර් කරන්නට පුලුවන් නම් Dynamic දත්ත පද්ධතියක් අවශ්‍යය. ඒ මත තීරණ ගන්නට පුලුවන් නිර්මාණශීලී විෂය දන්නා නිලධාරීන් කිහිප දෙනෙකු සිටි නම් මේ වැඩේ විසඳාගන්නට පුලුවන්ය…
මේ සියල්ල සාරාංශ කරොත් මෙච්චරය. ⁣ඉහළ ප්‍රමිතියේ නමගිය හාලක් ඇති හැකි මිනිහාට විකිණීමට ව්‍යවසායකයෙකුට හැකි නම් ඔහු එය කරපුවාවේ. සාමාන්‍ය මිනිහාට කන්නට හැකි හොඳ හාලක් වෙළඳපොලේ තියෙන එක ගැන රජය බලපුවාවේ. හොඳ මිලකට වී මිලට ගෙන සාධාරණ මුදලකට හාල් දෙන එක ව්‍යාපාරිකයන් කරපුවාවේ.
ගොවියාත්, පාරිභෝගිකයාත්, සහල්මෝල් හිමියාත් තුන්ගොල්ලම මේ රටේ මිනිස්සුය…
තුන්ගොල්ලම බත් කෑ යුතු බව අප කවුරුත් තේරුම් ගත යුතුය…

ලක්මාල් කුලසේකර

Leave a Reply

Your email address will not be published.