Opinion

බන්ධනාගාර ඛේදවාචකය

Summary

සිරකරුවන් ගේ අයිතීන් ආරක්ෂා කිරීම රටක මානව හිමිකම් කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරවන කාරණයක්. “ගමේ චණ්ඩියෙකු” හැසිරෙන ආකාරයෙන් ආණ්ඩුව හැසිරුණොත් එයින් රටට ම දරුණු ඵලවිපාක අත් වෙන්න පුළුවන්.

මහර බන්ධනාගාරය අසළට ආපු සිරකරුවන්ගේ දෙමාපියන් සහ පවුලේ ඥාතීන් කඳුලු පිරි මුහුණින් යුතුව පොලිස් නිලධාරීන් ගේ දෙපා මුල වැඳ වැටෙමින් රැඳවියන් ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලන සේයාරුව හදවත කම්පා කරවන එකක්. 

මහර බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල සහ සිරකරුවන් 08 දෙනෙකු ඝාතනය වීමේ සිද්ධිය නිසා බන්ධනාගාරය තුළ සිටින තම ආදරණීයයන් ගේ ආරක්ෂාව ඔවුන් මේ මොහොතේ බරපතළ දෙගිඩියාවකින් සහ අවිනිශ්චිතතාවකින් සිටින බව පැහැදිලියි. සමාජයට සිරකරුවෙකු වන හැම පුද්ගලයෙකු ම කවුරු හරි අම්මා කෙනෙකුට දරුවෙක්, කවුරු හරි දරුවෙකුට දෙමාපියෙක්, කවුරු කෝ කෙනෙකුට සහෝදරයෙක්. ඒ නිසා ම බන්ධනාගාරයක් තුළ සිරකරුවන් වෙඩි කා මිය යාමේ පුවතක් අහන දකින හැම මොහොතක ම හැම රැඳවිගෙකුගේ ම පවුල්වල සාමාජිකයන් ගේ හදවත් ගිනි ගන්නා බව නිසැකයි. 

බන්ධනාගාරගතව සිටින සැම පුද්ගලයෙකුගේ ම ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක්. කවර හේතුවක් නිසා හෝ බන්ධනාගාරයක් තුළ ඝාතනය වෙන හැම ජීවිතයක් පිළිබඳව ම වගකීම රජය භාර ගත යුතුයි. එය කුමන ආණ්ඩුවක් බලයේ සිටියත් වෙනස් වන්නේ නැහැ. සිරගෙවල් ඇතුළේ සිරකරුවන් කැරලි ගැසීමත් ඒ කැරලි මැඩපැවැත්වීමේ දී සිරකරුවන් වෙඩි කා මියයාමත් කියන දෙක ම අතිශයින් ම අසමත් පාලනයක් ලක්ෂණයක්. ඒ වගේ ම සිරගෙවල් යනු විනයක් හෝ නීතියක් නැති, අවනීතිය රජ කරන අපරාධ මෙහෙයවන මධ්‍යස්ථාන බවට පත් වෙලා තියනවා. බන්ධනාගාරය ඇතුළේ සිටින රැඳවියන් ජංගම දුරකථනවලින් තමන්ට කතා කරන බව බන්ධනාගාර ‍රාජ්‍ය ඇමතිනිය ම කියනවා. මේ වියවුල් හැම එකක් ම එකිනෙකට බැඳුණු අර්බුදයක කොටස් බවත් ඒ අර්බුදය විසඳීමේ දී පවතින ආණ්ඩුව දැඩිව අසමත් වෙලා තියන බවත් පැහැදිලියි. 

මහර බන්ධනාගාරය තුළ ඇතිවුණු ප්‍රශ්නය ලංකාවේ සිරගෙවල් ආශ්‍රිතව සිදු වුණු මේ විදියේ පළමුවෙනි සිද්ධියවත් අවසාන සිද්ධියවත් නෙවෙයි. වැලිකඩ ඝාතනවල වින්දිතයන්ට තවමත් යුක්තිය ඉටු වෙලා නැහැ.  මේ ආණ්ඩුව යටතේ ම මේ වසරේ මාර්තු මාසයේ අනුරාධපුර බන්ධනාගාරය ආශ්‍රිතව නොසන්සුන්කාරී තත්ත්වයක් මතු වෙලා රැඳවියන් දෙදෙනෙකු මිය ගියා. හැමදාමත් කරනවා වගේ ඒ ප්‍රශ්නයටත් කමිටුවක් පත් කළා. ටික දවසකින් ප්‍රශ්නය යටපත් වුණා. තවත් කාලයක් යනකොට එහෙම ප්‍රශ්නයක් වුණා ද කමිටුවක් පත් කළා ද කියලාවත් කාටවත් මතක නැහැ. ආපහු ඒ ප්‍රශ්නය මතක් වෙන්නේ තවත් බන්ධනාගාරයක ඒ විදියේ ම සිදුවීමක් වෙලා තවත් ජීවිත සහ දේපළ හානි සිදු වුණා ම. එතකොටත් අර විදියට ම කමිටු පත් කරලා සුපුරුදු පරිදි මාතෘකාව යටපත් වෙනකල් ප්‍රශ්නය අතගාමින් කල් මරනවා. මේ විෂම චක්‍රය නිසා කවදාවත් දීර්ඝ කාලීන හෝ මධ්‍ය කාලීන විසඳුම් එක්ක තිරසාර විදියට මේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ.
මේ වෙද්දි බන්ධනාගාර ආශ්‍රිතව හමු වෙන කොරෝනා ආසාදිතයන් ගේ ප්‍රශ්නය නිසා බන්ධනාගාර අර්බුදය තවත් දරුණු වෙලා තියනවා. මේ හේතුව නිසා රැඳවියන් ප්‍රකාශ කරන්නේ තමන් ගේ නඩු කටයුතු ඉක්මන් කරලා හෝ ඇප දීලා ඔවුන්ගේ ප්‍රශ්න ඉක්මනින් විසඳන්න කියලයි. ඒ වගේ ම බන්ධනාගාර ඇතුළත ආසාදිත පුද්ගලයන් ඉක්මනින් හඳුනා ගෙන ඔවුන් අනෙක් සිරකරුවන්ගෙන් වෙන් කරලා රැඳවියන්ගේත් නිලධාරීන්ගේත් සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමේ වගකීම රජයට තිබෙනවා. නමුත් බන්ධනාගාර වැනි පුද්ගලයන් විශාල ප්‍රමාණයක් සීමිත ඉඩකඩක ගැවසෙන අවකාශයක කොරෝනා ප්‍රශ්නය කළමනාකරණය කරගැනීමේ දී බලධාරීන් අසමත් වෙලා තිබෙන බව බැලූ බැල්මට ම පේනවා. මෙබඳු ප්‍රශ්න විසඳිය යුත්තේ ඉක්මන් ප්‍රතිචාර දැක්වීම් සහ තිරසාර උපායමාර්ග හරහා මිස කැමරා ඉදිරිපිට ගහන පම්පෝරි හරහා නොවෙයි. 

සිරකරුවන් වගේ ම මේ ප්‍රශ්නයේ කෙළවරක බන්ධනාගාර නිලධාරීනුත් සිටිනවා. බොහොමයක් බන්ධනාගාර නිලධාරීන් ඉතා ම අඩු වැටුපකට අවම පහසුකම් යටතේ දුෂ්කරතා රාශියක් මැද සේවය කරන පිරිසක්. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ විෂය සඳහා ආණ්ඩු ගණනාවක් යටතේ ඇමතිවරු හිටියත් ඔවුන් මුහුණ දෙන දීර්ඝ කාලීන වෘත්තීය ප්‍රශ්නවලට තවමත් විසඳුම් ලැබිලා නැහැ. රැඳවියන් වගේ ම නිලධාරීනුත් එක ම ප්‍රශ්නයක වින්දිතයන් බවට පත්වී සිටීම හරහා ම මේ අර්බුදය කොතරම් ඔඩු දුවලාද කියලා තේරුම් ගන්න පුළුවන්. 


සිරකරුවන් ගේ ප්‍රශ්නය කිසිම ආණ්ඩුවකට සෙල්ලම් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. සිරකරුවන් ගේ අයිතීන් ආරක්ෂා කිරීම රටක මානව හිමිකම් කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරවන කාරණයක්. සාපරාධී දඬුවම් විඳින හැම පුද්ගලයෙකුට ම ජීවත් වීමේ අයිතිය, සාධාරණ නඩු විභාගයකට හිමිකම් කීමේ අයිතිය, නීතියේ සර්ව සාධාරණ රැකවරණය සඳහා ඇති අයිතිය, නිදහස අහිමි වන කාලය තුළ මානුෂිකව සැළකීම, අධ්‍යාපනය ලැබීම සහ රැකියා සඳහා ප්‍රවේශ වීමේ අයිතිය මානව හිමිකම් ප්‍රමිතීන් විදියට ම සමස්ත ලෝකය ම පිළිගන්නවා. මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගන්නා මූලධර්ම වගේ ම නීතිරීතිත් තියනවා.මානව හිමිකම් ප්‍රශ්නයේ දේශපාලන වගේ ම ආර්ථික මුහුණුවරකුත් තියන නිසා මේ ප්‍රශ්නයේ දී “ගමේ චණ්ඩියෙකු” හැසිරෙන ආකාරයෙන් ආණ්ඩුව හැසිරුණොත් එයින් රටට ම දරුණු ඵලවිපාක අත් වෙන්න පුළුවන්. 

Leave a Reply

Your email address will not be published.