Opinion

බැමිණිගේ සාය

Summary

අපිට විශේෂඥයෝ මහ ගොඩක් ඉන්නවා. මේ අය දන්න දේවල් සුළුපටු නෑ. ඇත්තටම මේ අය හැම වේදයක ම පරතෙරට පැමිණි බමුණෝ වගේ තමයි. බැමිණියොත් ඉන්නවා. ඉහළට ම වේද ශාස්ත්‍ර ඉගෙනගත්ත අයට අපි කියන්නේ “කෙළ පැමිණි බමුණෝ” කියලා. ඇත්තෙන්ම එහෙම හැඳින්වීමක් අපේ […]

අපිට විශේෂඥයෝ මහ ගොඩක් ඉන්නවා. මේ අය දන්න දේවල් සුළුපටු නෑ. ඇත්තටම මේ අය හැම වේදයක ම පරතෙරට පැමිණි බමුණෝ වගේ තමයි. බැමිණියොත් ඉන්නවා. ඉහළට ම වේද ශාස්ත්‍ර ඉගෙනගත්ත අයට අපි කියන්නේ “කෙළ පැමිණි බමුණෝ” කියලා. ඇත්තෙන්ම එහෙම හැඳින්වීමක් අපේ විශේෂඥයෝ හඳුන්වන්න ප්‍රමාණවත් නෑ. ඒ හින්දා තව ටිකක් බර වැඩි කරලා අපේ විශේෂඥයන්ව “කෙළ කෙළ පැමිණි බමුණෝ” කියලා හඳුන්වන්න පුළුවන් කියලා මට හිතෙනවා.

අපේ විශේෂඥයෝ (කෙළ කෙළ පැමිණි බමුණෝ සහ බැමිණියෝ) මේ දවස්වල කියන්නේ තව මාස දෙකකින් ඇතිවෙන සාගතයක් ගැන. ඉස්සර කාලේ අපේ රටේ “බැමිණිතියා සාය” කියලා මහා සාගතයක් ඇතිවුනා. ඉතින් තව මාස දෙකකින් ඇතිවෙනවා කියන සාගතයටත් ඊට කිට්ටුවෙන් යන නමක් පටබඳින්න අපිට පුළුවන්. එළැඹීමට නියැමිතයි කියන ඒ සාගතයට අපි “බැමිණිගේ සාය” කියලා කියමු.
සාගතයක් ඇතිවෙන්නේ අවශ්‍ය ආහාර නොලැබුනාම කියලා අපි හැමෝම දන්නවා. මේ සඳහා බලපාන්න පුළුවන් මූලික කරුණු දෙකක් තියෙනවා.

මහ ඉඩෝරයක් ඇවිල්ලා ආහාර වගාකරන්න බැරිවුනොත්, ගංවතුර වගේ ආපදාවක් හින්දා වගාබිම් පාළුවුනොත් ආහාර නිෂ්පාදනය බිඳ වැටෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මුල් ම කාරණය. ආහාර නිෂ්පාදනයක් නැති හින්දා සාගතයක් ඇතිවෙනවා.
තව සමහර කාලවල දී ආහාර නිපැදවීම අඩුවෙන්නේ නෑ. ඒත් ආහාර බෙදාහැරීම සහ වෙළෙඳපොළ බිඳවැටෙන්න පුළුවන්. නුවරඑළියේ වවන එළවළු කොළඹට ගෙනියන්න බැරි වුනොත් අවශ්‍ය අයට සල්ලි තිබුණත් ඒවා මිල දී ගන්න විදිහක් නෑ. හාල්, පොල් වගේ අනෙකුත් ආහාර ද්‍රව්‍යයත් මෙහෙම තමයි. මහ යුද්ධයක් තියෙන වෙලාවක මෙහෙම වෙන්න පුළුවන්.

දැන් අපි බලමු තව මාස දෙකකින් අපිට සාගතයක් ඇතිවෙනවා නම් ඒක ඇතිවෙන්නේ කොහොම ද කියලා.
පහුගිය මාස කීපයේ (විශේෂයෙන් ම ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල) ඉවරයක් නැතුව වැස්ස හින්දා අපේ එළවළු වගා බිම්වලට හානි සිද්දවුනා. (මම වවපු හුඟක් එළවළු උල්දියට විනාශවුනා). මේ විනාශයේ ප්‍රතිඵලයක් විදිහට දැන් වෙළෙඳපොළට එළවළු එන්නේ හුඟක් අඩුවෙන්. ඉතින් වෙළෙඳපොළේ එළවළු ගණන් ගිහිල්ලා.

එළවළු කියන්නේ කෙටිකාලීන භෝගයක්. හුඟක් එළවළුවල අස්වැන්න දවස් හතළිස්පහක් පනහක් ඇතුළත ගන්න පුළුවන්. පහුගිය සති දෙක තුනේ හොඳට පෑව්වා. වෙළෙඳපොළේ ඉහළ මිලක් ලැබෙන හින්දා හුඟක් ගොවියෝ එළවළු වගාවට යොමුවෙලා. අපේ ගම්වලත් එහෙමයි. නුවරඑළිය, කඳපොළ පැත්තෙත් එහෙමයි.

තව මාස දෙකක් යද්දි මේ එළවළු වෙළෙඳපොළට එනවා. මේ වෙද්දි ලංකාවේ මහා නියඟයක් නෑ. (අද මේ දැන් අපේ ගමට වහිනවා. සති දෙකකට පස්සේ වහින මුල් ම වැස්ස තමයි මේ). ඉදිරි මාස දෙක ඇතුළත මහා වැහි, ගංවතුර ඇතිවෙන්න තියෙන ඉඩත් අඩුයි කියලා තමයි මම හිතන්නේ. ඒක තමයි අපේ අත්දැකීම. යම් විදිහකින් මහ වැහි වැස්සොත් එළවළු වගාවට හානියක් වෙන්න පුළුවන්. එහෙම වුනොත් එළවළු මිල හුඟක් අඩුවෙන එකක් නෑ. එහෙම නොවුනොත් එළවළු මිල තුට්ටුවට වැටෙන්න ඉඩ තියෙනවා. අපේ රටේ වැඩ සිද්දවෙන්නේ ඒ විදිහට තමයි.
මම ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. මේ පළාත්වල හැම කුඹුරක් ම වැඩකරලා තියෙන්නේ. වාරිමාර්ග ක්‍රම නැති හින්දා අපේ අය සෑහෙන ප්‍රමාණයක් කුඹුරු වැඩකරන්නේ අහස් දියෙන්. පහුගිය ඔක්තෝබර්, නොවැම්බර් මාසවල හොඳට වහිද්දි අපේ පළාත්වල මිනිස්සු කුඹුරු කෙටුවා. මේ පැත්තේ මිනිස්සු කුඹුරුවල වෙනත් භෝග වගාකරන්නේ නෑ. රටේ තියෙන අවිනිශ්චිත තත්ත්වය හින්දා මේ වතාවේ වෙනදටත් වඩා උනන්දුවෙන් කුඹුරු කරපු බව නම් මම දන්නවා.

ලංකාවේ වැඩියෙන් ම වී නිෂ්පාදනය කරන්නේ කුරුණෑගල, පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්ක තුනේ. පහුගිය කාලේ ආණ්ඩුව ඇති කරපු පොහොර ප්‍රශ්නය හින්දා අවුල් ඇතිවුනා. ඒත් නිතර ම උද්ඝෝෂණ ඇතිවෙනවා අපි දැක්කේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ. ඒ දිස්ත්‍රික්කයේ කුඹුරු ලොකුයි. හැබැයි වැඩිපුර ගොවියෝ ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනගහනය වැඩිකමත් කුඩා ප්‍රමාණයේ (ලියැද්ද දෙකේ) කුඹුරු තිබීමත් තමයි මේකට හේතුව. කුරුණෑගල සහ අම්පාර දිස්ත්‍රික්කවල ගොවියෝ උද්ඝෝෂණය කරනවා අපි දැක්කේ නෑ. ඒ ඇයි කියලා මට හිතාගන්න අමාරුයි.

කොහොම හරි ලබන මාසය වෙද්දි අපේ සමහර ගම්වල ගොයම් කපනවා. මේ ලියන වෙලාවෙත් මම ඒ ගැන හොයලා බැලුවා. “මේ සැරේ කුඹුරු හොඳයි මහත්තයා. වැස්සෙන් හානියක් වුනේ නැතිනම් අවුලක් නෑ” කියලා මම අහපු කෙනෙක් කිව්වා.
පරිප්පු, ලොකු ළුැණු වගේ ආනයනය කරන ආහාරවල හිඟයක් නම් ඇතිවෙන්න පුළුවන්. මේක තමයි රටේ ආහාර නිෂ්පාදනයේ සහ සැපැයුමේ තත්ත්වය.

ඒ කොහොම වුනත් වෙළෙඳපොළ බිඳවැටෙන්න ඉඩක් නෑ කියලා කියන්න අමාරුයි. ඉන්ධන සැපයුම හරියට කරගන්න ආණ්ඩුවට බැරිවුනොත් ලොකු ප්‍රශ්න ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඒක වෙළෙඳපොළට කෙළින් ම බලපානවා. එහෙම වෙලාවට ආණ්ඩුව ඩීසල්වලට ප්‍රමුඛතාව දෙයි.
පෙට්‍රල් නැති වුනොත් මිනිස්සු අවුල්වෙනවා. නූතනත්වය කියන්නේ පාරේ බැහලා රස්තියාදු ගහන එකට. පහුගිය අගෝස්තු 21 වැනි දා නිරෝධායන ඇඳිරි නීතිය පනවද්දි මිනිස්සු මුලින් ම කළේ ෂෙඩ්වලට ගිහිල්ලා තෙල් ගහගන්න එක. ඉතින් මිනිස්සුන්ට පෙට්‍රල් ඕන. පාරේ යන්න ඕන. ඒක කරගන්න බැරිවුනොත් මහා කැළැඹීමක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඒක රටේ සහ වෙළෙඳපොළේ ස්ථාවරත්වයට බලපායි.
ආණ්ඩුව ඉවරයක් නැතුව සල්ලි අච්චුගහන හින්දා හුඟක් භාණ්ඩ සහ සේවාවල මිල පහළ බහින්න විදිහක් නෑ. උද්ධමනය තවත් වැඩිවෙයි. මේ වෙද්දි උද්ධමනය වාර්තාවෙන්නේ සියයට 11 ක් විදිහට. (මේ ඉලක්කම් නම් වැඩිය ගණන්ගන්න ඕන නෑ. ඒක වෙනම කතාවක්). 2008 අවුරුද්දේ සියයට 28 ඉක්මවපු උද්ධමනයක් වාර්තාවුනා. එහෙම වුනා කියලා අපේ ගම්වල අය නම් ඒ ගැන දන්නෙවත් නෑ.

මේ රටේ බහුතරයක් තවමත් ජීවත්වෙන්නේ ගම්වල. මේ ගම්වල ඉන්න අයට ඔය උද්ධමන කතා අදාළ නෑ. පහුගිය මාසය ඇතුළත මම වුනත් කඩේකින් එළවළුවක් ගත්තේ බොහොම අඩුවෙන්. කොළඹ ආශ්‍රිතව වුනත් සිංහල මිනිස්සු අතිබහුතරයක් ජීවත්වෙන්නේ අර්ධ නාගරික ප්‍රදේශවල. ඒ හැම කෙනෙක්ට ම ගම්වල මුල් සහ සම්බන්ධකම් තියෙනවා. ඉතින් ප්‍රවාහනයේ බිඳවැටීමක් වුනේ නැතිනම් ඒ අයත් පණ ගැටගහ ගනියි.

ඉතින් මේ ඔක්කොම සාධක මැද්දේ තමයි අපිට “බැමිණිගේ සාය” ගැන හිතන්න වෙන්නේ. කෙළ කෙළ පැමිණි විශේෂඥයෝ කියන හින්දා මේ අනාවැකි බොරු වෙන්න විදිහක් නෑ. ඒ කොහොම වුනත්, අපේ විශේෂඥයෝ කියන මේ අනාවැකිය බොරුවක් වෙනවා නම් හොඳයි. ඉතින් ඒකත් අර “ඉදිරි සති දෙක තීරණාත්මකයි” වගේ එකක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

Leave a Reply

Your email address will not be published.