COLUMN

බුද්ධාගම්කාරයෝ: ඉංග්‍රීසීන් විසින් ඇති කල නව තත්වය (තෙවන කොටස)

Summary

ඉන්දියාවේ වැඳුම් පිදුම් ලැබූ විශාල දෙවිවරු පිරිසක් සහ භාවිතාවේ පැවති බර ගණනක් වූ ආගමික පුරුදු සමූහයක් ”තනි හින්දු ආගමක්” ලෙස අනුකලනය වන විට මීට සමාන දෙයක් ලංකාවේ බුදු සමයටද සිදු විය (යටත්විජිතවාදී ව්‍යාපෘතියක් ලෙස සිදු කරන ලදී). එනම් ලාංකීය ස්වදේශික බුදු දහම එක තනි ඒකකයක් බවට රූපාන්තරණය වීමයි

දැඩි ආගමික බලහත්කාරයක් නොතිබුණු ඉංග්‍රීසි යුගය තුල ඔවුන් විසින් අලුතෙන් විවර කරන ලද ආර්ථික ඉඩ ප්‍රස්ථා ප්‍රයෝජනයට ගෙන ධනවත් වුනු නව ප්‍රභූ පැලැන්තියේ උදවියටද තම ධනය සහ සමාජ තත්වය උපයෝගී කරගනිමින් බෞද්ධ ආගමික කටයුතු වල යෙදීමටත් ඒවාට නායකත්වය දීමටත් බාධාවක් නොතිබිණි. රජය විසින් ඍජුව ඇති කරන ආගමික බලහත්කාරයක් වෙනුවට විවිධ නිකායික ආගමික කණ්ඩායම් වලට තරඟකාරී ලෙස තම නිකායික ආගම ප්‍රචාරය කිරීමට ඉඩ දී එම තරඟය ඇතුලත ස්වදේශීය බෞද්ධ සංස්ථාව සමග හැපීමට ඉඩ දීම බ්‍රිතාන්‍ය උපක්‍රමය විය. මේ ආගමික තරඟය දියත් වුයේ පෙරමුණු කිහිපයකිනි. මින් ප්‍රමුඛතම සහ ශක්තිමත්ම පෙරමුණ වූයේ අධ්‍යාපනික පෙරමුණය. බ්‍රිතාන්‍ය පාලනය ස්ථාපනය වූ විගසම යුරෝපයෙන් සහ උතුරු ඇමෙරිකාවෙන් විවිධ නිකායික පල්ලි වලට අයත් මිෂනාරීන් වැල නොකැඩී මෙහි ආ අතර ඔවුන්ගේ අරමුදල් වලින් ආරම්භ කෙරුණු පාසල් පද්ධතියක් රට පුරා ඇති විය. මේවාට රාජ්‍ය අනුග්‍රහය සහ අවසරය අවශ්‍ය තැන් වලදී ලැබුණු මුත් බ්‍රිතාන්‍ය පාලනය උපකාර කලේ ක්‍රිස්තියානි පාර්ශයවයට පමණක් නොවේ. උදාහරණයක් ලෙස 1873 වසරේදී හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ට විද්‍යෝදය පිරිවෙන ආරම්භ කිරීමේදී මෙන්ම පසු කාලීනව එම ආයතනය පවත්වා ගෙන යාමේදීත් බ්‍රිතාන්‍ය පාලකයන්ගේ අනුග්‍රහයන් ලැබී තිබේ. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය දහනමවන සියවස තුලදී ආරම්භ වන්නේ මේ සියල්ල මැදය. ඊට බුද්ධිමය නායකත්වය මෙන්ම මූල්‍යමය අනුග්‍රහය දැක්වූ බොහෝ දෙනා නූතන අධ්‍යාපනය ලැබූ , බ්‍රිතාන්‍ය පාලනය සමග ආර්ථික අත් වැල් බැඳගත් අලුත් ධනපති පන්තියට අයත් අය වූවෝය. මේ හේතු නිසා එම ව්‍යාපාරය එක් අතකින් බ්‍රිතාන්‍ය පාලනය විතැන් කිරීමට යත්න දරන ස්වදේශික ව්‍යාපාරයක මුහුණුවර ගත්තද අනෙක් අතින් යටත්විජිත පාලනය විසින්ම ඇති කරනු ලැබූ නව තත්වය තුල ඉතා හොඳින් ස්ථාපනය වුනු යටත්විජිත හර පද්ධතිය ගැඹුරු තැනකින් පිළිගත් සමාජ ඒකකයක් විය. මෙවැනි විටකදී සිදු වන්නේ එතෙක් පැවති ස්වදේශීය ආගමික අනන්‍යතාවය සංස්කරණයකට ලක් වීමය.

යුරෝපීය ආගමනයට පෙර ස්වදේශික කලාපයෙන් සොයා ගත හැකි වූයේ බහුදේව වාදී ආගමික විශ්වාස පද්ධතීන් පමණි. බුදුදහම තුල ඉහලින්ම සිටින්නේ බුදු හාමුදුරුවන් වුවද ඊට පහල මට්ටමට ඕනෑම දේව විශ්වාසයක් අවශෝෂණය කරගැනීමේ හැකියාවක් එය සතුය. මේ අරුතින් විශාල දෙවියන් සංඛ්‍යාවකට පිළිගැනීමක් ලැබෙන හින්දු දහම තුල මෙන්ම බුදු දහම තුලත් දෙවියන්ට ඉඩ ලැබේ (වර්තමාන ව්‍යවහාරය අනුව සම්‍යක්දෘෂ්ඨික දෙවිවරු: එනම් බුදු හාමුදුරුවන්ගේ දහම පිළිගත් සැදැහැවත් දෙවි වරු). බහු දේව වාදී හින්දු ආගම තුල මෙන්ම බුදු දහම තුලත් භක්තියේ කේන්ද්‍රය පවතින්නේ යම් විසිරුණු ස්වභාවයකිනි. හින්දු ආගමේ විවිධ කටයුතු සඳහා මෙන්ම එකිනෙකට වෙනස් කාර්ය සාධනයන් සඳහා විවිධ දෙවිවරු සිටින්නාක් මෙන් (ජලයට අධිපති දෙවිවරු, ගින්දරට අධිපති දෙවිවරු, ඥාණයට අධිපති දෙවිවරු..) බෞද්ධ විශ්වාසය තුලද විවිධ කටයුතු වලට විශේෂ සමත්කමක් දක්වන බෞද්ධ දෙවිවරු සිටිති. මෙනිසා බුද්ධාගම්කාරයන්ට සිටින විශාලතම මිනිසා බුදු හාමුදුරුවන් වුවද ඔවුන් වඳින පුදන උදව් ලබා ගන්නා වෙනත් දෙවිවරු විශාල සංඛ්‍යාවක්ද සිටිති. දහනමවන සියවසේ දකුණු ආසියානු කලාපය තුල මුහුණට මුහුණ හමුවූයේ භක්තියේ කේන්ද්‍රය විසිරි තිබෙන හින්දු ආගම සහ බුදුදහමත් (සහ වෙනත් එවැනි ආගම් සමූහයකුත්), භක්තියේ කේන්ද්‍රය තනි ලක්ෂයකට නාභිගත වී තිබෙන ක්‍රිස්තියානි දහමත්ය. ඉහත ඡේදයේ විස්තර කෙරුණු, බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ ගතිකයන් ගෙන් සිදු වූයේ ඒක දේවවාදී ක්‍රිස්තියානි දහමේ යම් ආගමික පර්යාවලලෝකනයක් නොවැලක්විය හැකි ලෙස ස්වදේශීය ආගම් තුල පතිත වීමය. ලංකාවේදී නම් මෙය සිදු වුයේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය අතරතුරදී බෞද්ධ විශ්වාසය තුලය.

මේ කාලය තුලදීම ඉන්දියාවේ පැවති “ හින්දු” යයි කිව හැකි ආගමික සහ සංස්කෘතික පුරුදු කට්ටල සිය ගණනක් එක හින්දු දහමක් ලෙස සන්නාමකරණය කිරීමද අධිරාජ්‍යවාදීන් අතින් සිදු විය. අද ඉන්දියාවේ හින්දුවා යනු ඒකඡත්‍ර ආගමික සමාජයක් ලෙස ලේඛනගත වන ප්‍රජාවකි. මධ්‍ය ප්‍රදේශ් හි හින්දුවාත්, තමිල්නාඩුවේ දමිල හින්දුවාත්, කේරළයේ මලයාලි හින්දුවාත් කර්ණාටකයේ හෝ මුම්බායේ හින්දුවාත් තම පරිකල්පනය තුල බෙදා හදා ගන්නා පොදු බව අධිරාජ්‍යවාදීන් එහි පැමිණෙන මොහොතේදී තිබුණු එකක් නොවේ. සරලව කියතොත් මේ කියන ලද එක් එක් පළාත් වල ජීවත් වූ අද එකම හින්දු ආගමකට අයත් යයි සැලකෙන ජනයා අතර එකල එවැනි පොදු එකඟතාවයක් නොතිබිණි. මේ එකඟතාවය නිර්මාණය කලේ යටත්විජිතවාදීන් විසිනි. ඉන්දියාවේ වැඳුම් පිදුම් ලැබූ විශාල දෙවිවරු පිරිසක් සහ භාවිතාවේ පැවති බර ගණනක් වූ ආගමික පුරුදු සමූහයක් ”තනි හින්දු ආගමක්” ලෙස අනුකලනය වන විට මීට සමාන දෙයක් ලංකාවේ බුදු සමයටද සිදු විය (යටත්විජිතවාදී ව්‍යාපෘතියක් ලෙස සිදු කරන ලදී). එනම් ලාංකීය ස්වදේශික බුදු දහම එක තනි ඒකකයක් බවට රූපාන්තරණය වීමයි. යටත්විජිතවාදය ක්‍රියාත්මක වීමට අඩසියවසකට පමණ පෙරය උඩරට රාජධානිය තුල සියමෙන් ගෙන ආ උපසම්පදාව නැවත ස්ථාපනය කරන ලද්දේ. මෙසේ ස්ථාපනය වන විට ඒ තුල අලුතින් ගෙන ආ සියම් සම්ප්‍රදාය මෙන්ම එතෙක් පැවති ගනින්නාසේ සම්ප්‍රදායද එකට එකතු වී දෙමුහුම් විය. ධර්ම විනය කාරණා පිලිබඳ නොසෙල්විය හැකි දැඩි මතයකුත් දේපල හිමිකම හා නායක පදවි වැනි දේ සම්බන්ධව ගනින්නාන්සේ සම්ප්‍රදයාත් මේ අලුත් දෙමුහුම් බුදු සමය තුල මූලික වුනු බව මගේ අදහසයි. මෙයින් නිර්මාණය වුයේ මේ ලිපියේ මුලදී සඳහන් කලාට සමාන වුනු එක් තනි අදහසකට ගොනු කල නොහැකි “බුදු සසුන්” ගණනාවකි. නමුත් ඊට අඩ සියවසකට පමණ පසු හටගත් බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය මගින් බෞද්ධ සංස්කෘතික පුරුදු යම් බුද්ධිවාදී අස්ථානයක් සහිතව සංස්කරණය කිරීමත් වෙනස්කම් නොමැතිව සෑම තැනකම එක ලෙස පැතිර පවත්නා ඒකීය බුදු දහමක් තුලට ගොනු කිරීමත් සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *