COLUMN

බුද්ධාගම්කාරයෝ: බුද්ධාගම්කාරයෝ (පස් වන කොටස)

Summary

නමුත් බුද්ධාගම්කාරයාට තමන් පිලිබඳ මෙවැනි නිර්වචන නැත. ඔහුට ජීවිතය තිබෙන්නේ ජීවත් වීමටය. බෞද්ධයාට ජීවිතය තිබෙන්නේ ප්‍රකාශ කිරීමටය, සූත්‍රගත කිරීමටය. තමන් පිලිබඳ විනිශ්චයකාරි වන බෞද්ධයා අන් සියලු දෙනා දෙස විනිසුරු ඇසින් බලයි. තමන් පිලිබඳවවත් එවැනි විනිශ්චයක් නොමැති පුද්ගලයකු වන බුද්ධාගම්කාරයා වෙනත් කෙනෙකු විනිශ්චය කිරීමට පෙළඹෙන්නේ නැත.

බුද්ධාගම්කාරයා පෙරහැර කර්මාන්ත වල රුසියෙකි. තමන් දන්නා වටිනාම භෞතික වස්තුව වූ බුදු රජාණන්වහන්සේගේ ශ්‍රී දන්ත දාතූන් වහන්සේ පෙරහරකින් නගර සංචාරය කරවා සැණකෙළි පවත්වා දේව පූජා පවත්වා සිත් බැතියෙන් පුරවා ගැනීමට හේ උත්සුක වෙයි. මේ පෙරහරේ වැදගත්ම චරිතය නම් ශ්‍රී දන්තදාතූන් වහන්සේ වැඩමවන හස්ති රාජයාය. පෙරහැරත් පෙරහැර අලියාත් සම්බන්ධයෙන් බුද්ධාගම්කාරයාට ඇත්තේ තමුන් විසින් සියවස් ගණනාවක් මුළුල්ලේ නිර්මාණය කරන ලද සහ අවශෝෂණය කරන ලද සංස්කෘතික දායාද විශ්වයකි. ඔහු මේ සංස්කෘතික මංගල්‍යයේ මුල සිට අගට තම සිත ශ්‍රද්ධාවෙන් පුරවා ගනියි. නමුත් අර්ථ දක්වන ලද බෞද්ධයා මේ දෙස බලන්නේ වෙනස් ආකාරයකටය. ඔහුට අනුව බුදු දහම අවිහිංසාවාදී දහමකි. එනම් මනුෂ්‍යන්ගේ මෙන්ම සතුන්ගේද ජීවත් වීමේ අයිතිය සම තැන්හි ලා එයට ප්‍රමුඛස්ථානය දෙන්නකි. පෙරහැරේ අලි ඇතුන් ගෙන යාම එම සතුන්ට හිංසාවකි. එසේ නම් පෙරහැරේ අලි ඇතුන් ගෙන යාම බෞද්ධ ප්‍රතිපදාවට පටහැණිය. එය සත්ත්ව හිංසාවක් වන නිසා නවත්වා දැමිය යුතුය.

තමන්ගේ මතය තව දුරටත් විශ්වසනීය කරගැනීම උදෙසා ඔහු තවත් යමක් මෙයට එකතු කරයි. එනම් පෙරහැරේ අලි ගෙන යාම වැනි සිරිත් උඩරට යුගයේ කේරළයෙන් මෙරටට සංක්‍රමණය වූ සිරිත් බවත්, එනිසාම මේවා “නියම සිංහල සිරිත් ” නොවන බවත් , මෙම සිරිත් අත් හැරීමට දැන් කාලය හරි බවත් ප්‍රකාශ කිරීමය . මෙහිදී නියම බෞද්ධයා තවත් විශාල වරදක් සිදු කොට ගනියි. එනම් සංස්කෘතිය යන ප්‍රපංචය කෙරේ ඔහුගේ ඇති දුරාවබෝධ ගතිය එලි පෙහෙළි කිරීමය. ඔහුට අනුව සංස්කෘතියක් යනු පිරිසිදු, එක තැන නැවතුනු, මිශ්‍ර නොවන, කිසිදු ගතිකත්වයක් නොමැති දෙයකි. මේ කියවෙන පරිද්දෙන් “නියම සිංහල ” වීමට නම් එය ආකාස්මිකව මේ දූපත තුලම ව්‍යුත්පන්න විය යුතුය. මෙය මොන තරම් මුග්ධ අදහසක් ද යන්න අමුතුවෙන් කිව යුතු නැත. සංස්කෘතියක් යනු නිතර වෙනස් වන සහ විකාශනය වන දෙයක් බවද, සංස්කෘතික විසරණය යනු සංස්කෘතියක් සම්බන්ධයෙන් වන අනිවාර්යයම අංගයක් වන බවද මොහු දන්නේ නැත. ඇත්ත වශයෙන්ම නොවෙනස් වන මුල් ආකෘතියකින් යුතු සංස්කෘතියක් මෙලොව පැවතිය හැකි නොවේ. එසේම සංස්කෘතියක අන්තිම මූලයන් සෙවීම ගඟක මුලක් සොයන්නා වැනි වැඩකි. අපට කල හැක්කේ ගඟක් ගලාගෙන එන ඉසව්වක් නම් කිරීම විනා එය ආරම්භ වන ලක්ෂයක් සෙවීම නොවේ. සිංහල සංස්කෘතිය ලොව දසත ඇති සංස්කෘතීන්ගෙන් පෝෂණය වුනු වර්ණවත් සංස්කෘතියකි. ඒවා අතුරිනුත් අපට වැඩිම බලපෑම සිදු කොට ඇත්තේ (එනම් අනික් පසට අපත් වැඩිම බලපෑම සිදුකොට ඇත්තේ) කේරලය බව නොකිවමනාය. මීට සියවස් ගණනාවකට පෙර කේරළයෙන් ආ යම් දෙයක් මේ වන විට කේරළය  ගැන කිසිදු සඳහනක් නොකොට අප විසින් පුරුදු කරන්නේ නම් ඉන් අදහස් වන්නේ එය ශක්තිමත් ලෙස අපේ සංස්කෘතියට අවශෝෂණය කරගෙන ඇති බවකි. මෙවැනි දේ මානවවිද්‍යා අධ්‍යනය අරමුණකින් විනා සංස්කෘතික පවිත්‍රතාවය පිලිබඳ අදහසකින් පැවසීම නොකළ යුතු අවර ගනයේ වැඩකි. බුද්ධාගම්කාරයාට අලියා පිටේ කරඬුව වැඩමවීම පිලිබඳ ඇත්තේ පවුකාර හැඟීමක් නොව උසස්ම ගනයේ පින්වන්ත ක්‍රියාවක් පිලිබඳ හැඟීමකි. ඔහුට ආගම යනු තාර්කික රීති පද්ධතියක් නොව සංස්කෘතික පුරුදු කට්ටලයකි.

බුද්ධාගම්කාරයාට බුද්ධ දේශනාව තිබියදීම ඔහු විසින් නිර්මාණය කරගත් වෙනත් දැනුම් පද්ධතියක්ද තිබේ. ඔහු ජෝතිෂ්‍ය භාවිතා කරන්නෙකි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්ද ප්‍රයෝජනයට ගන්නෙකි. නැකතට වැඩ කරන්නෙකි. අවුරුදු සිරිත් සමරන්නෙකි . නමුත් බෞද්ධයාට මෙවැනි දේ රුස්සන්නේ නැත. ඔහු කුමන හෝ ගාථා පාඨයක් උපුටා දක්වමින් නැකත් ජෝතිෂ්‍ය ප්‍රතික්ෂේප කරයි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් යනු ඔහුට අනුව දුරු කල යුතු අවර ගනයේ වැඩය. අවුරුදු චාරිත්‍ර යනු පොළොන්නරු යුගයේ චෝලයන් විසින් සිංහලයන්ට පුරුදු කරන ලද මිත්‍යාය (ඔහුගේ සිංහල පාරිශුද්ධත්වය පිලිබඳ අදහස පොලොන්නරුවටත් එහා යයි).

බෞද්ධයකුගෙන් බෞද්ධයකු යනු කවරෙක්දැයි ඇසුවහොත් ඒ පැහැදිලි කිරීමට ඔහු සතුව නිර්වචන තිබේ. බෞද්ධයා යනු භවය උද්ධ කරන තැනැත්තා යයි ඔහු කියනු ඇත. නමුත් බුද්ධාගම්කාරයාට තමන් පිලිබඳ මෙවැනි නිර්වචන නැත. ඔහුට ජීවිතය තිබෙන්නේ ජීවත් වීමටය. බෞද්ධයාට ජීවිතය තිබෙන්නේ ප්‍රකාශ කිරීමටය, සූත්‍රගත කිරීමටය. තමන් පිලිබඳ විනිශ්චයකාරි වන බෞද්ධයා අන් සියලු දෙනා දෙස විනිසුරු ඇසින් බලයි. තමන් පිලිබඳවවත් එවැනි විනිශ්චයක් නොමැති පුද්ගලයකු වන බුද්ධාගම්කාරයා වෙනත් කෙනෙකු විනිශ්චය කිරීමට පෙළඹෙන්නේ නැත.

Leave a Reply

Your email address will not be published.