COLUMN

බුද්ධාගම්කාරයෝ : බෞද්ධයන් වර්ග ගණනාවකි (පළමු කොටස)

Summary

නියම , සැබෑ, නිවැරදි, හෝ පිරිසිදු යන වචන වල ඇත්තේ යම් නිශ්චිත , නොසෙලවෙන නොවෙනස්වන යමක් හෝ එවැන්නක් සාක්ෂාත් කරගැනීමට ලඟා කරගත යුතු ගුණාංගයක් වැනි අදහසකි. සියලු දේ මොහොතින් මොහොත වෙනස් වන, සියලු දේම අනවරත ක්‍රියාවලියක කොටස් වන බව සහ මේ ක්‍රියාවලියේ අගක් මුලක් සෙවීම නිරර්ථක සහ නොකළ යුතු වැඩක් ලෙස ඉගැන්වෙන බුදු දහම තුල නොසෙල්වෙන නොවෙනස් වන යම් ගුණාංගයක් පිලිබඳ කියවීම තරමක් ආගන්තුකය

බුද්ධාගම යනු තනි වචනයකි. බුද්ධාගම් කියූ විට එහි බහු වචන ගතියක් තිබේ. දහනමවන සියවසේ පැන නැගි බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ කටයුතු වලදී ක්‍රිස්තියානි ප්‍රතිපක්ෂය විසින් බෞද්ධ පාර්ශවය බොහෝ අවස්ථාවන්හිදී හඳුන්වා තිබෙන්නේ “බුද්ධාගම්කාරයෝ” යන පදයෙනි. කාලයාගේ අවෑමෙන් බෞද්ධ පක්ෂයේ ප්‍රකාශකයන් සහ රචකයන්ද තමන්ව හඳුන්වා ගැනීම සඳහා මෙම පදය භාවිත කරන්නට යෙදුනු බව පෙනේ. එතැන් පටන් දශක ගණනාවක් යන තුරු බෞද්ධයන් හැඳින්වුයේ බුද්ධාගම්කාරයන් නමිනි. මගේ වැටහීමට අනුව නම් බෞද්ධයා යන්න මෑත කාලීන(එනම් දහඅටවන සියවසේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයෙන් පසු අවධිය තුල නිෂ්පාදනය වුනු) පදයකි.

අද වන විට බෞද්ධයන් වර්ග ගණනාවකි. බෞද්ධ සිංහලයන් තමන්ගේ වාර්ගික දේශපාලන කතිකාවත් තුල තමුන් හඳුන්වා ගන්නේ සිංහල බෞද්ධයන් ලෙසටය. නලීන් ද සිල්වා මහතා ඕල්කට් බෞද්ධයන් නම් පිරිසක් ගැනද කතා කොට ඇත. එය ඔහුගේම නාමකරණයක් නිසා එයින් හැඟවෙන්නේ කුමක්ද යන්න වෙනම සලකා බැලිය යුතුය. මීට අමතරව බොහෝ දෙනකු, “නිවැරදි බෞද්ධයා”, ”සැබෑ බෞද්ධයා” සහ “නියම බෞද්ධයා” වැනි වචනද නිරන්තරයෙන් යොදා ගනු දක්නට ලැබේ. බුද්ධාගම්කාරයන් යනු මේ සියලු දෙනාමද? නැතහොත් බුද්ධාගම්කාරයන් යනුවෙන් පිරිසක් මේ වන විට නැතිද?

නියම , සැබෑ, නිවැරදි, හෝ පිරිසිදු යන වචන වල ඇත්තේ යම් නිශ්චිත , නොසෙලවෙන නොවෙනස්වන යමක් හෝ එවැන්නක් සාක්ෂාත් කරගැනීමට ලඟා කරගත යුතු ගුණාංගයක් වැනි අදහසකි. සියලු දේ මොහොතින් මොහොත වෙනස් වන, සියලු දේම අනවරත ක්‍රියාවලියක කොටස් වන බව සහ මේ ක්‍රියාවලියේ අගක් මුලක් සෙවීම නිරර්ථක සහ නොකළ යුතු වැඩක් ලෙස ඉගැන්වෙන බුදු දහම තුල නොසෙල්වෙන නොවෙනස් වන යම් ගුණාංගයක් පිලිබඳ කියවීම තරමක් ආගන්තුකය. බුදු දහමේ ඉගැන්වෙන්නේ මේ අනවරත ක්‍රියාවලියෙන් ගැලවී පිටත පැනීම ගැනය. මේ පොලා පැනීම තුලදී එතෙක් පැවති සියලු විනිශ්චයන් අහෝසි වෙයි. බුදු දහම තුල මනුෂ්‍යන්ට විනිශ්චයකාරි වීමට නොඋගන්වයි. ඒ වෙනුවට එය ලෝකය දෙස විවෘත සහ ලිහිල් භාවයෙන් යුතුව බලා එහි ස්වරූපය අවබෝධ කරගෙන එයින් නික්ම යාම දිරිගන්වයි. නිර්වාණයට යටින් ඇති සියලු දේ සම්මුති සත්‍යයන්ය. සම්මුති හට ගැනීම මෙන්ම කෙලවර වීමද සිදු වේ. එනිසා බෞද්ධ ප්‍රතිපදාවෙන් ආභාෂය ලැබූ සංස්කෘතික පුරුදු කට්ටල තුල, අරුත් ගන්වා වසා කෙලවර කල හැකි යහපත හෝ අයහපත පිලිබඳ අදහස් පැවතිය හැකි නොවේ.

මෙයින් අදහස් වන්නේ බෞද්ධ චින්තාව තුල විනිශ්චයන් නැති බව නොවේ. තමන් බෞද්ධයන් ලෙස විශ්වාස කරන මිනිසුන්ට යම් යම් දේ සම්බන්ධයෙන් විනිශ්චයන් ඇති කරගැනීම සිදු කල නොහැකි බවත් නොවේ. ඒ වෙනුවට මින් අදහස් වන්නේ එවන් සමාජයක් තුල තනි ඒකීය විනිශ්චයන් පැවතීම අසීරු බවය. තනි සත්‍යයක් වෙනුවට බුදු දහමෙන් පරිකල්පණය කිරීමට දිරි දෙන්නේ බහු විධ සත්‍යයන් පිලිගනීමටය. එනයින් ගත් කල ඒකීය භාවය බුදු දහමට ආගන්තුකය. ඓතිහාසිකව පැවති බුදු සසුනද ඒකීය ප්‍රපංචයක් වනවාට වඩා නැඹුරු වී ඇත්තේ අඟලෙන් අඟල සියුම්ව වෙනස් වන වර්ණාවලියක් ලෙස ගෙත්තම් වී සිටින “බුදු සසුන්” විශාල ගණනක එකතුවක් ලෙස පැවතීමටය.
බෞද්ධයා යන තනි , ගල් ගැහුණු පදයට වඩා “බුද්ධාගම්කාරයා” යන බහු වචන ශබ්ධයක් ප්‍රකට කරන පදය අලංකාර එකක් වන්නේ එහෙයිනි. මෙහිදී සැලකිය යුතු කරුණක් නම් ”බුද්ධාගම්කාරයා” යන පදය මේ කියන අර්ථයෙන් යුක්තව භාවිතාවට පැමිණි වචනයක්ද නැද්ද යන්න ගැන මෙයින් කිසිවක් නොකියවෙන බවය . ඒ පිළිබඳව දීර්ඝ සොයා බැලීමකින් තොරව යමක් කිව හැකි නොවේ. වඩාත් ඉඩ ඇත්තේ බුද්ධාගම අදහන්නා යන අර්ථය දීමට, “බුද්ධාගම” යන වචනයෙන්, එකල(එනම් දහනම වන සියවසේ මුල් භාගයේදී) භාවිතාවේ පැවති වාග් විලාශයට අනුකූලව ව්‍යුත්පන්න වූ වචනයක් ලෙස බුද්ධාගම්කාරයා යන පදය කල එලි දුටු බවය. එය එසේ නොවේ නම්, එනම් දහනම වන සියවසේ මුල් භාගයේදී බුදු දහම අදහන්නකුට බුද්ධාගම්කාරයා යයි කිවේ හුදෙක් බුද්ධාගම යන වචනයෙන් ව්‍යුත්පන්න වූ වචනයක් නිසාම නොවී, “බුද්ධාගම” යන්න තනි අර්ථයක් නොමැති ඒ වෙනුවට බහු අරුත් දෙන ප්‍රපංචයක් ලෙස ගෙන ඒ අනුසාරයෙන් විවිධ වූ බුද්ධාගම් අදහන සමූහයා පොදුවේ හැඳින්වීමට නම් , මේ වචනයේ ඉතිහාසය ඉතාම උනන්දුසහගත තැනකට නාභිගත වනු ඇත. මේ පිළිබඳව මීළඟට සලකා බැලෙයි. මේ කරුණු කෙසේ වෙතත් මේ ලියමන තුල සිදු කෙරෙන්නේ ”බුද්ධාගම්කාරයා” යන පදය වත්මනෙහි පවතින ශබ්ධාර්ථ අනුව ගෙන, එය ඉහත කි බහු අරුත් දෙන පදයකට ගොනු කිරීමකට , අශාස්ත්‍රීය ලෙස උත්සාහ කිරීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *