COLUMN

බුද්ධාගම්කාරයෝ : යටත්විජිතවාදය ස්වදේශීය බුදු දහමට අභිමුඛව (දෙවන කොටස)

Summary

මේ වන විට තිබුණු බලවත්ම අධිරාජ්‍යය වුයේද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයි. ඉන්දියානු ප්‍රධාන භූමිය ඔවුන්ට ආර්ථික වශයෙනුත් උපායමාර්ගික වශයෙනුත් තිබුණු වැදගත්ම භූමිය වුනු අතර සියවස් එකහමාරක් පමණ වන ඔවුන්ගේ ලාංකීය පාලනය දෙස බලන විට තේරුම් යන්නේ එය ආර්ථික වුවමනාවකටත් වඩා උපායමාර්ගික අවශ්‍යතාවයක් වුනු බවයි.

ලංකාවේ දහනමවන සියවස උදාවීමෙන් දශක එකහමාරකට පමණ පසු රටේ සමස්ථ භූමි කලාපයම ඉංග්‍රීසි පාලනයට නතු විය. ඒ වන විට සියවස තුනක් පමණ කාලයක් තිස්සේ පහතරට පළාත් වෙනත් බටහිර ජාතීන් දෙකක ආශ්‍රයට හුරු වී සිටියද මේ උදාවූ සියවසත් මේ වන විට පාලන බලයට විත් තිබුණු යුරෝපීය ජාතියත් පැවතියේ නව කොන්දේසි ගණනාවක් යටතේය. පළමු කොට යටත්විජිතවාදය මේ වන විට තම ආගම ප්‍රචාරය කිඊමේ නග්න වුවමනාවෙන් යම් තරමට විස්ථාපනය වී එය ප්‍රාග් ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම ඔස්සේ පරිපාලනමය උපක්‍රම ඔස්සේ සිදු කෙරෙන තත්වයකට විතැන් වී තිබිණ. දෙවනුකොට , මේ කියන කාලය වන විට යටත්විජිත වුවමනාවන් අතර ආගමික අභිලාෂයන් පරයා ආර්ථික අභිලාෂයන් පෙරට විත් තිබිණ.

පහළොස් වන සියවසේ යුරෝපීය යටත්විජිතවාදය ආරම්භ වන විට බලය සහ පැතිරීම අතින් පෙරමුණේ සිටියේ පෘතුගීසි, ස්පාඥ්ඥ සහ බෙල්ජියම් ජාතිකයන්ය. මින් පසු අවධියේදී ඕලන්ද ජාතිකයන් යම් බලවත් ස්ථානයකට පත් වුනු අතර එහි අවසාන සියවස් එකහමාර තුලදී ඉංග්‍රීසි සහ ප්‍රංශ ජාතිකයන් පෙරමුණට ආහ. ශ්‍රී ලාංකික “ඉතිහාසකරණ” අත්දැකීමට අනුව පෘතුගීසීන් අතිශය බලවත් ආගමික අභිලාශයකින් යුක්ත වූ පිරිසක් වූහ. ඔවුන් දීර්ඝකාලීනව ආශ්‍රය කල රටේ පහතරට පළාත් අධි ඝනත්වයෙන් යුතුව කතෝලික කරණය වී තිබීම මේ ඉතිහාසකරණය වඩාත් විශ්වසනීය සහ සංගත කරවයි. පෘතුගීසි පාලනයට ආර්ථික අංශයෙහි ලා විශාල ඉදිරිදැක්මක් නොතිබුණු අතර ඔවුන් එතෙක් පැවති කුල ක්‍රමය සහ පරිපාලන ක්‍රමය එලෙසින්ම තබා ගනිමින් බදු අය කරගැනීම කෙරේත්, හැකි තරම් රාජකීය සහ ආගමික ස්ථාන සතුව තිබුණු වස්තුව කොල්ල කෑම සහ මිලදී ගැනීම කෙරේත් උනන්දු වූ බව පෙනේ. මීට අමතර ඔවුන් යම් ආර්ථික ක්‍රියාවලියක නිරත වූයේ නම් ඒ කුරුඳු වෙළඳාම , අලි ඇතුන් සහ ඇත් දළ වෙළඳාම, ගම්මිරිස් වෙළඳාම සහ පුවක් වෙළඳාමට එය සීමා විය. පෘතුගීසීන්ගෙන් පසුව පහතරට පළාත් වල පාලන බලය හිමි කරගත් ඕලන්ද ජාතිකයන් පෙරට වඩා සංවිධානාත්මක කෘෂිකර්මයේ සහ නිෂ්පාදනය ක්‍රියාවලියෙහි ඉදිරියට ගිය බව පැහැදිලිය. ඒ වන විටත් පැවති කුරුඳු සහ පුවක් වගාව තව දුරටත් ව්‍යාප්ත කල ඕලන්ද පාලකයන් එම කෘෂි බෝග මහා පරිමාණ අපනයන බෝග මට්ටමට ඔසවා තැබූහ. මීට අමතරව බටහිර මුහුදු තීරයේ අක්‍රමවත්ව තිබුණු පොල් වගාව යම් ක්‍රමවත් ආකාරයකට ව්‍යාප්ත කොට ඒ ආශ්‍රිත රා මැදීමේ සහ අරක්කු නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයක්ද ස්ථාපනය කළහ. මේ අරක්කු ව්‍යාපාරය ඕලන්ද පාලකයන්ට සුවිශාල ලාභයක් ගෙන දුන් එකක් විය. මීට සමගාමීව වයඹ දිග මුහුදේ මුතුපර නෙලීම සහ රට අභ්‍යන්තරයේ මැණික් ගැරීමද සිදු කරන ලදී. අලි ඇතුන් සහ ඇත් දළ වෙළඳාමද තව දුරටත් ඉදිරියට ඇදිනි. ලන්දේසි පාලනයේ මුල් යුගයේදී ඔවුන්ගේ ප්‍රොතෙස්තන්ත ආගම ව්‍යාප්ත කිරීමේ යම් උත්සාහයක් පිලිබඳ සාධක රැස් කරගත හැකි වුවද පසු කාලීනව මේ උත්සාහය තනූකකරණය වී ඔවුන්ගේ අවධානය සහමුලින්ම ආර්ථික කාරණා වලට පමණක් ගොනු වුනු බව දැකිය හැකිය. රට තුල නූතන පන්නයේ අධ්‍යාපන ආයතන පද්ධතියක් මුල් වරට ඇති කලේත් ලන්දේසීන් විසිනි. ලන්දේසි පාලන කාලය අවසන් වන කල ලංකාවේ බටහිර සහ දකුණු දිග පහතරට වෙරල තීරය පූර්ව වෙළඳපල ආර්ථිකයක මූලික කොන්දේසි වලට අනුගත වී තිබුණු අතර ස්වදේශීය නොවන පන්නයේ පරිපාලන උපකරණ වලටද යම් සැලකිය යුතු ප්‍රමාණයකට හුරු වී සිටියේය . දහනම වන සියවස ආරම්භ වීමට කෙටි කලකට පෙර ඉංග්‍රීසීන් මෙහි පැමිණෙන්නේ මෙවැනි පසුබිමක් තිබියදීය. ඒ වන විට එංගලන්තයේ ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් ස්ථාපනය වී සියවසකටත් වඩා වැඩි කාලයක් ගත වී තිබුණු අතර රජ කිරුළේ ”හිතුමතයෙන් ” වෙනුවට “ක්‍රමවේදයක්” මගින් සමාජ පරිපාලන කටයුතු සිදු කිරීමේ පුරුද්ද ඔවුන් වෙතට යම් සැලකිය යුතු තරමකට කිඳා බැස තිබිණි. මේ වන විට තිබුණු බලවත්ම අධිරාජ්‍යය වුයේද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයි. ඉන්දියානු ප්‍රධාන භූමිය ඔවුන්ට ආර්ථික වශයෙනුත් උපායමාර්ගික වශයෙනුත් තිබුණු වැදගත්ම භූමිය වුනු අතර සියවස් එකහමාරක් පමණ වන ඔවුන්ගේ ලාංකීය පාලනය දෙස බලන විට තේරුම් යන්නේ එය ආර්ථික වුවමනාවකටත් වඩා උපායමාර්ගික අවශ්‍යතාවයක් වුනු බවයි. වර්තමාන ඉන්දියාව, පකිස්තානය සහ බංගලිදේශය යන රටවල් තුනද, වර්තමාන බුරුමය දශක ගණනක් මුළුල්ලේද එකට ඈඳන ලද සුවිශාල භූමියක් තනි ආණ්ඩුකාරවරයකු යටතට පත් කල බ්‍රිතාන්‍ය පාලනය එම ප්‍රධාන භූමියෙන් සැතපුම් තිහක් පමණක් දකුණින් පිහිටා තිබුණු ඉතා කුඩා දිවයිනක් වන ලංකාවටද එම බලතලම සහිත සමාන මට්ටමේ ආණ්ඩුකාරවරයකු පත් කළේය. මේ කාරණා ද්වය, ඔවුන් ලංකාව දෙස යම් සැලකිය යුතු අවධානයක් සහිතව බැලූ බවට සාධකය . ලංකාව යටත් කරගෙන නඩත්තු කිරීම ආර්ථික වශයෙන් වාසිදායක නොවුනද එය යටත් කර නොගෙන නිදහසේ තිබෙන්නට හැරීම නරක පූර්වාදර්ශයක් වීමට තිබිණ. මේ සියලු කොන්දේසි මත ඉංග්‍රීසීන්ගේ අවධානය වැඩිපුරම යොමු වන්නේ ඔවුන්ගේ ක්‍රමයට රටේ පාලනය ගෙන යා හැකි ආයතන පද්ධතියක් රටේ ඇති කිරීමත් වෙළඳ කෘෂිකර්මාන්තය දියුණු කොට හැකි තරම් ලාභ ඉපයීමත් කෙරේය. මෙවැනි අවස්ථාවක පාලකයාගේ බලපෑම ස්වදේශිකයන්ට දැනෙන්නේ ඍජු මර්ධනයකදී දැනෙන බලපෑමට වෙනස්වය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *