COLUMN

බුද්ධාගම්කාරයෝ: සැබෑ බෞද්ධයා (සිව් වන කොටස)

Summary

බෞද්ධ අනන්‍යතාවයට නිර්වචන සැපයීම අර්බුධකාරී වැඩකි. මෙවැනි නිර්වචනයකින් සිදු වන්නේ ඔහුව සදාචාර විනිශ්චයකට ලක් කිරීමකි. මෙවැනි විනිශ්චයක් සඳහා අත්‍යාවශ්‍යයෙන්ම, මනුෂ්‍ය ජීවිතයේ වරද නිවරද තීන්දු කිරීමට භාවිතා කල හැකි බෞද්ධ මූලධර්මද අවශ්‍ය වෙයි.

අප අද දකින බෞද්ධයා නිර්මාණය වන්නේ මෙලෙසය. “සැබෑ බෞද්ධයකු විය හැක්කේ කෙසේද” වැනි මාර්ගෝපදේශන වැකි බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයට කලින් යුගයේ අසන්නට ලැබුනේ යයි කිව හැකි නොවේ. ස්වදේශික බෞද්ධයාට තම බෞද්ධකම ප්‍රශ්න කිරීමට උගැන්වූයේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය මගිනි. තමන් තමන්ව ප්‍රශ්න කිරීමට නම් තමන් තමන් පිලිබඳ යම් විනිශ්චයක සිටිය යුතුය. යමකු තමන්ගේ බෞද්ධකම ගැන ප්‍රශ්න කරන්නේ නම් ඔහු “බෞද්ධකම” පිළිබඳවත් යම් විනිශ්චයකට එළඹ සිටීම අනිවාර්යය වෙයි. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය මෙකී විනිශ්චය උකහා ගත්තේ යටත්විජිතවාදයෙනි. බුදු රදුන්ගේ දේශනා තුල ප්‍රමුඛ ලෙස අඩංගු වූයේ ජීවිතය අතික්‍රමණය කිරීමට අදාළ දේ මිස ජීවත් වීමට උපකාරී වන මාර්ගෝපදේශන නොවේ. එවැනි මාර්ගෝපදේශන බෞද්ධ සාහිත්‍ය තුල හිඟ නැති මුත් ඒවා ඒබ්‍රහමික ආගමක එන නිශ්චිත කොන්දේසි සහගත ඉගැන්වීම් මෙන් දෘඩ ඒවා නොවේ. දහනම වන සියවස තුල සිදු වුයේ මෙන්න මේ දෘඩ බව ස්වදේශික බෞද්ධ චින්තාව තුලට විසරණය වීමයි.

මේ ලිපියේ මුලදී මා සඳහන් කලේ මෙවැනි වෙනසක් සිදු වීමෙන් අනතුරුව,  “බෞද්ධයා” යන නූතන පදය නිර්මාණය වීමත් ඊට පෙර එවැනි තනි අනන්‍යතාවයක් දිය හැකි බෞද්ධයකු නොසිටි බවත් එනිසාම ඊට පෙර යුගයේදී බෞද්ධයන් හැඳින්වීමට බහුලව යෙදුනු බුද්ධාගම්කාරයා යන පදය ඒ සඳහා ඉතාම සුදුසු බවත්ය. බෞද්ධයකු යනු නිශ්චිත අර්ථයක් තිබෙන නිර්වචනයක් තිබෙන නියත පිළිවෙලකට ජීවත් වන්නෙකි. නමුත් බුද්ධාගම්කාරයා යනු එවැනි නිශ්චිත බවක් නැති, නමුත් පැහැදිලිව දැක්විය හැකි යම් සංස්කෘතික කලාපයක ජීවත් වන්නෙකි.

බෞද්ධ අනන්‍යතාවයට නිර්වචන සැපයීම අර්බුධකාරී වැඩකි. මෙවැනි නිර්වචනයකින් සිදු වන්නේ ඔහුව සදාචාර විනිශ්චයකට ලක් කිරීමකි. මෙවැනි විනිශ්චයක් සඳහා අත්‍යාවශ්‍යයෙන්ම, මනුෂ්‍ය ජීවිතයේ වරද නිවරද තීන්දු කිරීමට භාවිතා කල හැකි බෞද්ධ මූලධර්මද අවශ්‍ය වෙයි. බුදු දහමේ කියවෙන සංකල්ප සරලව තේරුම් ගෙන ඒවා ඇසුරින් මූලධර්ම තනාගෙන ඒවා බෞද්ධයන්ගේ ජීවිත නියාමනය කරන රීති ලේගුලාසි කොට ගැනීම ඉතාමත් පටු ක්‍රියාවකි. එමෙන්ම එය බුද්ධාගම්කාරයන්ගේ සංස්කෘතික සුදරත්වය කෙලෙසන සාහසික වැඩකි.

දැන් අප තත්කාලීන විවාදසම්පන්න මාතෘකා කීපයක් ඔස්සේ මේ අදහස තේරුම් ගැනීමට උත්සාහ කරමු. මෙහිදී බුද්ධාගම්කාරයා යනුවෙන් හැඳින්වෙන්නේ යටත්විජිත සදාචාර සහ ආගමික විනිශ්චයන් අනුව නිර්වචනය කල, බෞද්ධයා යන අනන්‍යතාවය සූත්‍රගත කිරීමට පෙර ජීවත් වූ ස්වදේශික බෞද්ධාගමිකයන්ය. බෞද්ධයා යනු දහඅටවන සියවසේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ නූතන නිෂ්පාදනයක් වන බෞද්ධ ආගමිකයාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *