Opinion

බුදුන් උපන්නෙ ලංකාවේ. එතකොට දේවදත්ත…

Summary

බුදුහාමුදුරුවෝ උපන්නෙත් ඉන්දියාවේ. දේවදත්ත උපන්නෙත් ඉන්දියාවේ.

ඉන්දියාව කියන්නෙ මනුෂ්‍යත්වය වගේ ම අමනුෂ්‍යත්වය ඉහවහා ගිය රටක්.

බුදුහාමුදුරුවෝ උපන්නෙත් ඉන්දියාවේ. දේවදත්ත උපන්නෙත් ඉන්දියාවේ.

ලංකාවේ බුදුහාමුදුරුවෝ උපන්නා කියන්නෙ බොරුවක්. එහෙමනම් දේවදත්තත් ලංකාවේ උපදින්න ඕනැ. ලංකාවේ කවදාවත් දේවදත්තලා උපන්නෙ නෑ.

මරණයෙන් බේරෙන්න ජෙට්වලින් පැනලා යන මිනිස්සුත් ඉන්නෙ ඉන්දියාවේ. මරණයත් අරගෙන මෝටර් බයිසිකලෙන් යන මිනිස්සුත් ඉන්නෙ ඉන්දියාවේ.

යුරෝපයේ කිසිම නළුවෙකුට නිළියකට ලිප් කිස් එකක් ගැන කවදාවත් දෙන්න බැරි අර්ථ කථනයක් දුන්නේ ඉන්දියාවේ සාමාන්‍ය ගැහැණියක්. ඇය හමුවේ සියලූ හොලිවුඩ් චිත්‍රපට ශූන්‍ය වෙනවා. ඇන්ජලීනා ජොලීලා අහෝසි වෙනවා. බොලිවුඩ් කඩා වැටෙනවා. ඉන්දියාවේ ධනපතියන් ජීවිතය සොයාගෙන ගුවනින් පැනයනවා, ලැජ්ජාවට. අර ගැහැණියට මුහුණ දෙන්න බැරිව.

ලෝකයේ ලොකුම සුන්දරත්වය වගේ ම ඒකෙ විරුද්ධ පැත්තත් තියෙන්නෙ ඉන්දියාවේ.

ඉන්දියාව සැම විටම ඉතා ම පරාර්ථකාමීයි. ලංකාවේ ජනතාවගේ යහපත වෙනුවෙන් පළාත්සභා ක්‍රියාත්මක කරන්න කියන්නෙ ඒ නිසයි. එතකොට ලංකාවේ ජනතාවටත් ඔක්සිජන් නැතිව මැරෙන්න අවස්ථාව සලසන්න පුළුවන් බව ඉන්දියාව දන්නවා.

අපට හිතන්නවත් බැරි තරම් මාර චිත්‍රපට ඉන්දියාවේ හැදෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ නායකයෙක් කවදාවත් හමුදා සෙබළෙකුගෙන් පොලුපාරක් එහෙම නැත්නම් තුවන්කු බන්දෙන් පාරක් කාලා නෑ. ඒ්ත් ඉන්දියාවේ අගමැති කෙනෙක් ලංකාවට ඇවිල්ලා කවදාවත් දකින්න නොලැබෙන ඒ මනහර චිත්‍රපට ජවනිකාව නැරඹීමේ අවස්ථාව අපට පමණක් නොවෙයි ලෝකෙටම ලබාදුන්නා. ඉන්දියාවේ හැටි එහෙමයි. විජයදාසලාට වුණත් ඉන්දියාව ගැන ලොකු ආදරයක් ඇති වෙන්න මේ වගේ දේවලුත් හේතු වෙන්න පුලුවන්.

අපි චීනෙ ගැන ලොකුවට හිතාගෙන හිටියට 2026 වෙනකොට ලෝකෙ ජනගහණය වැඩිම රට බවට පත්වෙන්නේ චීනය නෙමෙයි ඉන්දියාව. අද චීනයේ ජනගහණය කෝටි 141යි. ඉන්දියාවේ ජනගහණය කෝටි 138යි. 2026 දී චීනය පරදවා ඉන්දියාව මුලට එනවා. ඒ විදිහට දියුණුව වෙනුවෙන් එහෙම නැතිනම් වෙන වෙන රටවල්වල පෝට් සිටි හදන්න ගිහින් චීනය තමන් සතුව තිබුණ කිරුළක් අහිමිකරගන්නවා.

ලෝකයේ සුන්දරත්වයේ සහ අසුන්දරත්වයේ මූලස්ථානය වශයෙන් ඉන්දියාවට හිමි තැන අහිමිකරන්න කවදාවත් බෑ.

ඉන්දියාව එක්ක ගත්තා ම අපි පුංචි රටක්. ඒත් ඇත්තටම අපි අපි අපේ රටේ මිනිස්සුන්ට වඩා ඉන්දියාවේ මිනිස්සුන්ට ආදරෙයි. ඒකයි අපි අපේ අය කොච්චර හිටියත් ඉන්දියාවෙ අයට උඩරට රජකම දුන්නෙ. අද වුණත් අපට ෂාරුක් දැක්කාම ඇඩෙනවා. විජය දැක්කට අඬන්න හිත හදාගන්න අමරුයි. ඒත් ෂාරුක් දැක්කාම නිකම්ම ඇ‌ඩෙනවා. දේව්දාස් බලලා අපි කොච්චර ඇඩුවද? රුක්මණීගෙන් පස්සෙ අපිව අඬවන්න පුලුවන් කෙනෙක් සිනමා ශාලාවට ආවේ නෑ. ෂාරුක්ලා කාජල්ලා ඒ අඩුව පිරෙව්වා. ඒක ගැන අපි අඬන්න ඕනැ.

අද වුණත් අපිට අපේ රට ගැන නෙමෙයි දුක. ඉන්දියාව ගැන. ඒ අපේ හැටි. අපට මෙච්චර අනවශ්‍ය පළාත් සභා වුණත් අප පවත්වාගන්නෙ ඒ නිසා. කෝටි 138ක ඉන්දියාවේ ජනගහණය රුසියාව ඇතුළු සමස්ත යුරෝපයේ ම සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජනගහණයටත් වැඩියි. ඉන්දියාවේ ජනගහණය ඇමරිකාවට ගිහින් දැම්මොත් ඇමරිකාව එක රැයින් ඉන්දියාවට වඩා ඉන්දියාවක් කරන්න පුළුවන්. ඉන්දියාව විශ්මිත රටක්.

කොහොම නමුත් අවසානයට මා ප්‍රාර්ථනා කරන්නේ ඉන්දියාවට ඉන්දියාවේ සිටින දෙවියන්ගේ පිහිට පමනක් නොව අපේ රටේ ද සිටින දෙවියන්ගේ ද පිහිට ලැබී හැකි ඉක්මණින් ඉන්දියාවේ සියලූ ජනතාව සුවපත් වේවා මේ කොරෝනා උවදුරින් මිදේවා කියලා. ඉන්දියාවේ මිනිස්සුන්ගේ අහිංසකකම දැක්කාම එහෙම නොපතා ඉන්න බෑ. ලෝකයේ සුන්දරම..

අපිත් කොරෝනාවෙන් ගොඩ එන්න ඕනැ. ඉන්දියාවත් කොරෝනාවෙන් ගොඩ යන්න ඕනැ. ඉන්දියාවට කොරෝනා එපා වගේ ම අපට පළාත් සභාත් එපා.

Leave a Reply

Your email address will not be published.