Opinion

බෝර්න් අගේන් වුණේ කොහොමද? වෙන්නෙ කොහොමද?

Summary

මුදල් මාරු කරනවා. ඒකට එක්ස්චේන්ජ් රේට් එකක් තියෙනවා. ආගම් මාරු කරනවා. ඒකටත් එක්ස්චේන්ජ් රේට් එකක් තියෙනවා.

  • Save

සල්ලි මාරු කරනවා. විදේශ මුදල් මාරැ කරනවා. ඩොලර් රැපියල්වලට මාරැ කරනවා. 

මේකට එක්ස්චේන්ජ් කියලා කියනවා. ඩොලර් රැපියල්වලට මාරැ කරන කොට ඒකට අනුපාතයක් තියෙනවා. උදාහරණයක් හැටියට ඩොලර් එකකට රැපියල් එකසිය පනහයි. මේකට එක්ස්චේන්ජ් රේට් කියලා කියනවා. මාරැ කිරීමේ අනුපාතය. රේට් කියන්නේ අනුපාතයට කියන ඉංග්‍රීසි වචනෙ.

සල්ලි විතරක් නෙමෙයි ආගමත් මාරැ කරනවා. ඒ කියන්නෙ එක්ස්චේන්ජ් කරනවා. ආගම් මාරු කරන එකටත් එක්ස්චේන්ජ් රේට්එකක් තියෙනවා. සල්ලි මාරු කරන මිනිස්සුම සල්ලි වෙනුවෙන් ආගමත් මාරු කරනවා. ඒ එක්ස්චේන්ජ් රේට් එක වෙනුවෙන්.

ඇත්තටම හැම දේකටම එක්ස්චේන්ජ් රේට් එකක් තියෙනවා. ආගමටත් තියෙනවා. එකස්චේන්ජ් රේට් එකක් තියෙන ඕනෑම දෙයක් මාරු කරන්න අද මිනිස්සු පැකිලෙන්නෙ නෑ. ඒක ආගමටත් පොදුයි. ඒක නිසා ආගමත් මාරු කරනවා. හැබැයි ආගම මාරු කරලා ආගම මාරු කළා කියලා කියන්නෙ නෑ. බෝර්න් අගේන් කියලා කියනවා.

ලොකු එක්ස්චේන්ජ් රේට් එකක් වෙනුවෙන් තමයි බෝන් අගේන් වෙන්න. හැබැයි මෙතන දී ආගමකට ආගමක් මාරැ වෙන්නෙ නෑ. බුද්ධාගම වෙනුවට වෙන ආගමකට යනවා කියලා පෙන්නනවා. හින්දු ආගම වෙනුවට වෙන ආගමක ඉපදෙනවා කියලා කියනවා. එහෙත් නමට එහෙම කිව්ව එහෙම ආගම් මාරැවක් නෑ. ආගමකින් ආගමකට යාමක් නෑ. ඔවුන් අදහන ආගම එක්ස්චේන්ජ් රේට්. එක්ස්චේන්ජ් රේට් අදහන්න ගත්තාම ඒක ගැන කල්පනා කරන්න ගත්තා ම කල්පනා වෙනවා තමන්ගෙ ආගමටත් එක්ස්චේන්ජ් රේට් එකක් තියෙනවා නේද කියලා. ඊට පස්සෙ තමන්ගෙ ආගම මාරැකරනවා. හැබැයි ඒ වෙන කිසිම ආගමක් වෙනුවෙන් නෙමෙයි එක්ස්චේන්ජ් රේට් එක වෙනුවෙන්. බෝර්න් අගේන් කියලා කියන්නෙ තමනුත් එක්ස්චේන්ජ් රේට් එකක් බවට පත්වීම. එතකොට තමන්ට තමුන්ව වුණත් විකුණන්න පුළුවන්. ඒ තත්වයට පත්වීම බෝර්න් අගේන්. බෝර්න් අගේන් කියන්නෙ ආගමක් නෙමෙයි. එක්ස්චේන්ජ් රේට් එක අවබෝධ කරගැනීම.

ආගම අතෑරියාම බොහෝ දේ ලැබෙනවා. බොහෝම ඈත කාලේ ආගම කිව්වේ මිනිස්සු විශ්වාස කිරීමේ ලකුණක්. ඒත් අද ඒක අවිශ්වාස කිරීමේ ලකුණක්. ආගමක් තියෙන මිනිහෙක් ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ. ආගමක් අදහන මිනිහෙක් ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ. ඒක නිසා තමයි ඔවුන් ව බෝර්න් අගේන් කරන්නෙ. විශ්වාසය තබන්න පුළුවන් බෝර්න් අගෙන් මිනිස්සු ගැන විතරයි. බෝර්න් අගේන් මිනිස්සු කියන්නෙ එක්ස්චේන්ජ් රේට් එකේ වටිනාකම ගැන දන්න අය. විශ්වාස කරන්න පුළුවන් එක්ස්චේන්ජ් රේට් එකේ වටිනාකම දන්න මිනිහෙක් විතරයි. ආගමක් අදහන මිනිස්සුන්ට එක්ස්චේන්ජ් රේට් එකට වඩා වටින දේවල් තියෙනවා. ඒ නිසා ආගමක් දහමක් අදහන මිනිස්සු විශ්වාස කරන්න බෑ. ඒ නිසා ඔවුන්ව බෝර්න් අගේන් කරන්න ඕනැ. ඊට පස්සෙ විශ්වාසයි. බෝර්න් අගේන් කියන්නෙ එක්ස්චේන්ජ් රේට් එක හැර වෙන කිසිම දෙයක් විශ්වාස නොකරන මිනිස්සු. ඒ නිසා ඒ මිනිස්සු ගැන සම්පූර්ණයෙන් ම විශ්වාසය තියලා කටයුතු කරන්න පුළුවන්. බෝර්න් අගේන් වීමේ වැදගත්කම ඒකයි. බෝර්න් අගේන් මිනිසෙකුගේ වැදගත්කම ඒකයි. වටිනාකම ඒකයි.

තමන්ව තමන්ට ම මාරු කරලා වටිනා මිනිසෙකු බවට පත්වීම තමයි බෝර්න් අගේන් කියන්නෙ. ඒක කරන්න පුළුවන් තමන්ව වෙනත් අයෙකු බවට මාරු කිරීමේ වටිනාකම එහෙම නැත්නම් එක්ස්චේන්ජ් රේට් එක අවබෝධ කරගත් අයෙකුට පමණයි.  ඒ අවබෝධය තියෙන්නෙ එක්ස්චේන්ජ් රේට් එක පරම දැනුම බවට පත්වූ අයට පමණයි. එහෙම අය පහසුවෙන් බෝර්න් අගේන් වෙනවා. තමන්ව වෙන් අයෙකු බවට පත් කිරීමේ එක්ස්චේන්ජ් රේට් එක අවබෝධ කරගත් අය ආගම අතඅරිනවා. එහෙම නැති අයට බෝර්න් අගේන් වෙන්න බෑ. බෝර්න් අගේන් වෙන්නෙ ඒ එක්ස්චේන්ජ් රේට් එක හරියටම පසක් කරගත්ත අය. තමන් ඩොලර් එකක් බව වටහාගත්ත අය. තමන්ටත් ඩොලර් එකට වගේ එක්ස්චේන්ජ් රේට් එකක් තියෙන බව වටහාගත්ත අය. තමන් මනුස්සයෙක් නොවන බව වටහාගත්ත අය. තමන් මනුස්සයන්ට වඩා වටිනා ඩොලර් එකක් බව වටහාගත්ත අය. ඒ අය බෝර්න් අගේන් වෙනවා. ඒ එක්ස්චේන්ජ් රේට් එක අදහන නිසා.

බෝර්න් අගේන් වුණාට පස්සෙ තමන් එක්ස්චේන්ජ් රේට් එකක් බවට පත්වෙනවා. ඒක අඩුවෙන්නෙ නෑ. මනුස්සයෙකුගෙ වටිනාකම අඩුවෙන්න වැඩිවෙන්න පුළුවන්. ඒත් ඩොලර් එකේ වටිනාකම අඩුවෙන්නෙ නෑ. දිගටම වැඩිවෙනවා. බෝර්න් අගේන් වුණාට පස්සෙ ඩොලර් එක වගේ ම තමන්ගෙ වටිනාකමත් දිගටම වැඩිවෙනවා. තමන්ගෙ එක්ස්චේන්ජ් රේට් එකත් වැඩි වෙනවා. තමන් මනුස්සයෙක් නෙමෙයි ඩොලර් එකක් විදිහට නැවත උපදිනවා. ඒකට තමයි බෝර්න් අගේන් කියන්නෙ.

බෝර්න් අගේන් නොවී බෝර්න් අගේන් වුණ අය ඉන්නත් පුළුවන්. ඒක නිසා බෝර්න් අගේන් අය ගැන මේ කතාව උපමා කතාවක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap