Opinion

බෞද්ධ ජනරජයක් වෙනුවෙන් යෝජනාවක්

Summary

මෙම බෞද්ධ ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකා රාජ්‍යය තුළ අර්ථාන්විත වෙනසක් ඇති කළ හැකි බව අපි විශ්වාස කරමු.

වරුණ චන්ද්‍රකීර්ති  සහ  සුමේධ වීරවර්ධන

ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වී ලබන වසරට (2022 වසරට) අවුරුදු පනහක් සම්පූර්ණ වෙයි. මෙම කාලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකක් බලාත්මක වී තිබේ. 1972 වසරේ දී සම්මත කරගත් පළමු ජනරජ ව්‍යවස්ථාව වසර හයක් ඇතුළත පරිච්ඡින්න කෙරිණි. ඒ සමඟ ම බලාත්මක කෙරුණු දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ දක්වා අවුරුදු 43 කට වැඩි කාලයක් තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම අවුරුදු 43 ක කාලය ඇතුළත එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දහනව වතාවක් සංශෝධනය කර තිබීම ද විශේෂ කාරණයකි. එයට අමතරව, එය මුළුමනින්ම පරිච්ඡින්න කර අලුත් ව්‍යවස්ථාවක් පැනවීමට උත්සාහ කළ අවස්ථා ගණනාවක් ද වෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිතර නිතර සංශෝධනය කිරීමට සිදුවන්නේ ඇයි? රටේ, ජනතාවගේ සහ සංස්කෘතියේ අවශ්‍යතා සමඟ සසැ‍ඳෙන පරිදි සහ බහුතරයක් ජනතාව තෘප්තිමත් වන පරිදි ව්‍යවස්ථා සම්පාදනය සිදු වී තිබෙනවා නම් මෙවැනි දෑ කිරීමට අවශ්‍ය නොවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුත්තේ රටේ බහුතරයක් ජනතාව එකතු කළ හැකි පොදු අරමුණක් සාක්‍ෂාත් කරගැනීම ඉලක්ක කරගෙන ය. කවර ආකාරයේ බෙදීම් තිබුණ ද යම් යම් කාරණා සම්බන්ධයෙන් ජනතාව අතර එකඟතා පවතී. බහුතරයක් ජනතාව ඒ එකඟතා වෙනුවෙන් කැපවීමට ද අදිමදි නොකරයි. මෙයින් අදහස් කරනුයේ රටෙහි ජීවත්වන සෑම කෙනකු ම එම අරමුණ පිළිගනු ලබන බව නොවේ. සෑම කෙනකුන් විසින් ම පිළිගනු ලබන අරමුණක් කිසිදු රටකින් හෝ සොයාගැනීමට නොහැකිය. වැදගත් වනුයේ බහුතරයකට එකඟවිය හැකි අරමුණක් සොයාගැනීම ය.

අප රටෙහි එවැනි පොදු අරමුණක් තිබේ ද? බුද්ධ ශාසනයේ චිරස්ථිතිය යනු එවැනි පොදු අරමුණකි. අප රටෙහි බහුතරයක් ජනතාව මෙම අරමුණ වෙනුවෙන් කැප වී සිටිති. ඒ වෙනුවෙන් එක්වීමට පක්‍ෂ පාට භේද බාධාවක් නොමැත. අප රටෙහි ඉතිහාසයත් ශාසනය රැකගැනීම වෙනුවෙන් අපගේ ජනතාව කළ කී දෑවල ඉතිහාසයත් එකිනෙකින් වෙන් කළ නොහැකිය. එහෙයින් අප රටෙහි රාජ්‍ය පාලනයට අදාළ බොහෝ කාර්යයන් මෙම අරමුණ සමඟ සම්බන්ධ කළ හැකි ය. එම මූලික අරමුණ සාක්‍ෂාත් කරගැනීම වෙනුවෙන් සම්පාදන කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් රට තුළ අර්ථාන්විත වෙනසක් කළ හැකි වනු ඇත.

බෞද්ධ ජනරජයක් වෙනුවෙන් සම්පාදිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවක් අප විසින් ඉදිරිපත් කරනුයේ උක්ත කරුණ පදනම් කරගෙන ය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පත් කර තිබෙන විශේෂඥ කමිටුවට ද අපි මෙම යෝජනාව ඉදිරිපත් කළෙමු. මෙම ලිපියෙන් අපි එම යෝජනාවලියේ සාරාංශයක් ඉදිරිපත් කරමු.

රාජ්‍ය නාමය

රාජ්‍යයේ ඉතිහාසය සහ ජනතාවගේ පොදු අරමුණ පැහැදිළිව ප්‍රකාශවන ලෙසින් ශ්‍රී ලංකාව, “ශ්‍රී ලංකා බෞද්ධ ජනරජය” ලෙසින් නම් කළ යුතු වේ යන්න අපගේ පළමුවැනි යෝජනාව වේ.

පරමාධිපත්‍යය

දෙවැනි ජනරජ ව්‍යවස්ථාව තුළ ජනරජයේ පරමාධිපත්‍යය නිරූපණය කර ඇත්තේ ජනතාවගේ පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයට සීමාවන පරිදි ය. මෙම සීමාව ඉක්මවා ජනතාවගේ උපදේශන බලය සහ සාමූහික අයිතිවාසිකම් ද ඇතුළත් කර “පරමාධිපත්‍යයට ජනතාවගේ උපදේශන බලතල, පාලන බලතල, සාමූහික අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය” යනුවෙන් පුළුල් අර්ථදැක්වීමක් ලබාදීමට අපි යෝජනා කළෙමු.

ජනතාවගේ සාමූහික අයිතිවාසිකම් ජනරජයේ අනන්‍යතාව තහවුරු කරන සාමූහික අයිතිවාසිකම් සහ පොදු සාමූහික අයිතිවාසිකම් ලෙසින් වර්ග කළ හැකිය. බුද්ධ ශාසනය, සිංහල භාෂාව, දේශීය දැනුම සහ සම්පාදනය කළ යුතු දේශීය නීති ක්‍රමය ජනරජයේ අනන්‍යතාව තහවුරු කරන සාමූහික අයිතිවාසිකම් වෙයි. භාෂණයේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස, සමාගමයේ නිදහස යනාදිය පොදු සාමූහික අයිතිවාසිකම් තුළට ගැනෙයි.

රාජ්‍ය පාලන ව්‍යුහය

ජනතාවගේ උපදේශන බලය ක්‍රියාත්මක කිරීම සඳහා උත්තරීතර උපදේශක සභාව නමින් නව ආයතනයක් අප විසින් යෝජනා කරනු ලැබූ අතර එය ද ඇතුළත් නව රාජ්‍ය පාලන ව්‍යුහයක් පිළිබඳ යෝජනාවක් සම්පාදනය කිරීමට ද අපි කටයුතු කළෙමු. (මේ සමඟ පළ කෙරෙන රූපයෙන් එම රාජ්‍ය පාලන ව්‍යුහය නිරූපණය කර තිබේ; මෙහි අංක 1 යනුවෙන් දක්වා ඇත්තේ විෂයානුබද්ධ අමාත්‍ය මණ්ඩලයයි. අංක 2 යනුවෙන් දක්වා ඇත්තේ දිස්ත්‍රික් නායක මණ්ඩලයයි).

ග්‍රාමීය සහ ප්‍රාදේශීය පාලනය

මෙම රාජ්‍ය ව්‍යුහයේ බිම් මට්ටමින් ම ඇත්තේ ගම් සභා ය. (ග්‍රාමීය නොවන ප්‍රදේශ සඳහා නාගරික සභා පිහිටුවිය හැකිය). දැනට පවතින ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමින් පිහිටුවන ගම් සභා සඳහා නිර්පාක්‍ෂික ක්‍රමයට ජනතාවගේ ඡන්දයෙන් නියෝජිතයන් තෝරා පත්කර ගත යුතු වේ. එක් ගම් සභාවකින් එක් නියෝජිතයා බැගින් පත් කර කෝරළ සභා පිහිටුවනු ලැබෙයි. මෙහි කෝරළයක් ලෙසින් දක්වා ඇත්තේ දැනට පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශය ය. ජනතාවගේ ප්‍රාථමික මට්ටමේ අවශ්‍යතාවලට අදාළ පාලනය ගම් සභාව විසින් සිදු කරනු ලබන අතර ද්විතීයික මට්ටමේ අවශ්‍යතාවලට අදාළ පාලනය කෝරළ සභාව විසින් සිදු කරනු ලබයි.

රාජ්‍ය මන්ත්‍රණ සභාව

ගම් සභා සහ කෝරළ සභා නිර්පාක්‍ෂික ක්‍රමයට තෝරා පත් කෙරුණ ද කෝරළ සභාවේ සභාපතිවරයා බහුපාක්‍ෂික ක්‍රමයට ජනතාවගේ සෘජු ඡන්දයෙන් තෝරා පත් කෙරෙයි. කෝරළ සභාවෙහි ප්‍රධාන විධායකයා ලෙසින් කටයුතු කරනුයේ එහි සභාපතිවරයා ය. සෑම කෝරළ සභා සභාපතිවර‍යෙක් ම රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කරති. රාජ්‍ය මන්ත්‍රණ සභාව යනු ව්‍යවස්ථාදායක සභාව නොවේ. ජනරජයේ විධායකය ප්‍රමුඛ ආණ්ඩ්‍රවට අවශ්‍ය විවේචනාත්මක සහාය ලබාදීම රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් සිදු කළ යුත්තේ ය. ආණ්ඩුවේ අයවැය අනුමත කිරීම, විශ්වාසභංග සහ දෝෂාභියෝග ගෙන ඒම, හදිසි නීතිය පනවා ඇති විටෙක එය දීර්ඝ කිරීම වැනි කටයුතු මෙම ආයතනයට පැවරෙයි. ජනරජයේ අගමැතිවරයා ද, විපක්‍ෂ නායකවරයා ද, කථානායකවරයා ද රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් තේරී පත් වන්නේ ය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ විධායකය

ජනරජයේ ජනාධිපතිවරයා ද ජනතාවගේ ඡන්දයෙන් බහුපාක්‍ෂික ක්‍රමයට තෝරා පත් කරනු ලබන්නේ ය. රාජ්‍ය ආරක්‍ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය. ඒ සඳහා විෂයානුබද්ධ අමාත්‍ය මණ්ඩලයකින් සහ දිස්ත්‍රික් නායක මණ්ඩලයකින් සමන්විත ජාතික විධායක සභාවෙහි සහාය ලබාගැනීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුත්තේ ය.

දිස්ත්‍රික්කය

මෙම යෝජනාවලියෙහි දිස්ත්‍රික්කයක් වශයෙන් හැ‍ඳින්වනුයේ එකිනෙකට යාබදව පිහිටි කෝරළ පහළොවක් හෝ එයට ආසන්න ප්‍රමාණයකින් ආවරණය වන භූමි ප්‍රදේශයකි. එලෙසින් පිහිටුවනු ලබන දිස්ත්‍රික්කයක් නියෝජනය කරන කෝරළ සභාපතිවරුන් අතරින් එක් අයකු බැගින් තම අභිමතයට අනුව දිස්ත්‍රික් නායක මණ්ඩලයට පත්කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුත්තේ ය.

අමාත්‍යංශ පාලක සභා

කෝරළ ආයතනික සභා විසින් නම් කරනු ලබන නියෝජිතයන්ගෙන් දිස්ත්‍රික් ආයතනික සභා ද දිස්ත්‍රික් ආයතනික සභා විසින් නම් කරනු නියෝජිතයන්ගෙන් අමාත්‍යංශ පාලක සභා ද සැකසෙයි. ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදෙන අවස්ථාවෙහි ප්‍රකාශයට පත් කළ නාමලේඛනයකින් නියෝජිතයන් තිදෙනා බැගින් ඒ ඒ අමාත්‍යංශ සභාව සඳහා පත්කිරීමේ අවස්ථාව ජනාධිපති ධුරයට පත් වූ තැනැත්තා හට හිමිවෙයි. ඒ අනුව සෑම අමාත්‍යංශ පාලක සභාවක් ම අනුබද්ධ ආයතනික නියෝජිතයන්ගෙන් සහ ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන නියෝජිතයන් තිදෙනාගෙන් සමන්විත වෙයි. ජනාධිපතිවරයා විසින් තම අභිමතය අනුව විෂයානුබද්ධ ඇමැතිවරුන් පත් කළ යුත්තේ අමාත්‍යංශ පාලක සභාවල සභිකයන් අතරිනි.

ජාතික විධායක සභාව

අවශ්‍යතාව අනුව දිස්ත්‍රික් නායක මණ්ඩලය සහ විෂයානුබද්ධ අමාත්‍ය මණ්ඩලය වෙන වෙන ම ද, ඒකාබද්ධව ද රැස්කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුත්තේ ය. දිස්ත්‍රික් නායක මණ්ඩල සභිකයන් කෝරළ සභා සභාපතිවරුන් බැවින් ඔවුහු රාජ්‍ය මන්ත්‍රණ සභාව ද නියෝජනය කරති. අවශ්‍යතා පැන නැගෙන පරිදි රාජ්‍ය මන්ත්‍රණ සභා රැස්වීම්වලට සහභාගීවීමට විෂයානුබද්ධ ඇමැතිවරු ද ක්‍රියා කළ යුතුය.

උත්තරීතර උපදේශක සභාව

උත්තරීතර උපදේශක සභාව සඳහා නිර්පාක්‍ෂික ක්‍රමයකට නියෝජිතයන් පත් කෙරෙති.

ව්‍යවස්ථා සහ නීති අණ පනත් සම්පාදනය සඳහා ජාතික ව්‍යවස්ථාදායක සභාවට ද රාජ්‍ය පාලනය සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික විධායක සභාවට ද අවශ්‍ය උපදෙස් ලබාදීම උත්තරීතර උපදේශක සභාව විසින් සිදු කරන්නේ ය. කෝරළ උපදේශක සභාවෙන් දිස්ත්‍රික් උපදේශක සභාවට ද එයින් අමාත්‍යංශ උපදේශක සභාවට ද නියෝජිතයෝ පත් කෙරෙති. ත්‍රෛනිකායික කාරක සංඝ සභා විසින් නම් කරනු ලබන පැවිදි සහ ගිහි නියෝජිතයන් අට දෙනකු (එක් සංඝ සභාවකින් එක් පැවිදි සහ ගිහි නියෝජිතයා බැගින්); හින්දු, කතෝලික සහ මුස්ලිම් පාලක සභා විසින් නම් කරනු ලබන නියෝජිතයන් තුන් දෙනකු; සහ ඒ ඒ අමාත්‍යංශ උපදේශක සභාව විසින් නම් කරනු ලබන නියෝජිතයන්ගෙන් (අමාත්‍යංශයකට එක් නියෝජිතයා බැගින්) සමන්විත වන අයුරින් උත්තරීතර උපදේශක සභාව සමන්විත වන්නේ ය.

ජාතික ව්‍යවස්ථාදායක සභාව

ජාතික ව්‍යවස්ථාදායක සභාව සඳහා ද නිර්පාක්‍ෂික ක්‍රමයකට නියෝජිතයන් පත් කෙරෙති.

කෝරළ බුද්ධි මණ්ඩලය

ජාතික ව්‍යවස්ථාදායක සභාව සඳහා නියෝජිතයන් පත්කිරීමට ස්ථාපිත කරනු ලබන ප්‍රාදේශීය මට්ටමේ ජනතා නියෝජිත ආයතනය වනුයේ කෝරළ බුද්ධි මණ්ඩලයයි. කෝරළ මට්ටමේ සහ ජාතික මට්ටමේ ඇගැයීමක් අනුව කෝරළ බුද්ධි මණ්ඩලවල සඳහා ජනතා නියෝජිතයෝ පත් කෙරෙති. කෝරළයේ ජනතා අවශ්‍යතා සහ පවතින ගැටලු පිළිබඳව පර්යේෂණ කර යෝග්‍ය විසඳුම් සහ එම විසඳුම් සාක්‍ෂාත් කරගත හැකි ක්‍රියාමාර්ග යෝජනා කිරීමේ වගකීම කෝරළ බුද්ධි මණ්ඩල නියෝජිතයන්ට පැවරෙයි. මෙලෙස තම වගකීම ඉටු කරන කෝරළ බුද්ධි මණ්ඩල නියෝජිතයන් අතරින් එක් නියෝජිතයා බැගින් තම ඡන්දයෙන් ජාතික ව්‍යවස්ථාදායක සභාවට තෝරා පත් කිරීම ඒ ඒ කෝරළයේ ගම් සභාවල සභිකයන් විසින් සිදු කළ යුතුය. ව්‍යවස්ථා සහ නීති අණ පනත් සම්පාදනය සඳහා හැකියාවක් ඇති ජනතා නියෝජිතයන් ජාතික ව්‍යවස්ථාදායක සභාවට තේරී පත්වීම මෙම ක්‍රමය තුළින් සිදුවෙයි.

ජාතික අධිකරණ සභාව

ජාතික අධිකරණ සභාව සඳහා ද නිර්පාක්‍ෂික ක්‍රමයකට නියෝජිතයන් පත් කෙරෙති.

කෝරළ බුද්ධි මණ්ඩලවලට අනුබද්ධව නීති අංශයක් ද ඇති කළ යුත්තේ ය. කෝරළ සභාවේ සහ කෝරළ මට්ටමේ රාජ්‍ය ආයතනවල නීති උපදේශක ලෙසින් කටයුතු කිරීම, කෝරළයේ නීති අවශ්‍යතා සහ ගැටලු පිළිබඳව අධ්‍යයනය කිරීම, කෝරළවාසී ජනතාවගේ නීති සාක්‍ෂරතාව ඉහළ නැංවීමට දායකවීම සහ අවශ්‍ය නීති උපදේශන සේවා පැවැත්වීම මෙම අංශයේ වගකීම වෙයි. මෙකී නීති අංශවල කටයුතු කර අත්දැකීම් ලත් ප්‍රවීණ නීති විශාරදයන්ගෙන් දිස්ත්‍රික් අධිකරණ සභා ද ඒවායේ කටයුතු කර අත්දැකීම් ලත් ප්‍රවීණ නීති විශාරදයන්ගෙන් ජාතික අධිකරණ සභාව ද සැකසෙයි. දිස්ත්‍රික් අධිකරණ සභා නියෝජිතයන් අතරින් කෝරළ සහ දිස්ත්‍රික් මට්ටමේ විනිසුරුවරු ද ජාතික අධිකරණ සභා නියෝජිතයන් අතරින් ඉහළ ජාතික මට්ටමේ විනිසුරුවරු ද පත් කෙරෙති.

ජාතික මැතිවරණ සභාව

උත්තරීතර උපදේශක සභාව, ජාතික ව්‍යවස්ථාදායක සභාව සහ විධායක ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන නියෝජිතයන්ගෙන් සමන්විත ජාතික මැතිවරණ සභාව විසින් රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයත් ජනාධිපතිවරණයත් පැවැත්විය යුත්තේ ය.

ප්‍රාථමික මැතිවරණ

උක්ත මැතිවරණ දෙක සඳහා විශාල අපේක්‍ෂකයන් පිරිසක් සහභාගීවීම වැළැක්වීම සඳහා ප්‍රාථමික මැතිවරණ ක්‍රමයක් ද අපි යෝජනා කළෙමු. රාජ්‍ය මන්ත්‍රණ සඳහා මැතිවරණය සඳහා සහභාගී වන අපේක්‍ෂකයන් තෝරා ගැනීමට අදාළ ප්‍රාථමික මැතිවරණයේ ඡන්ද හිමිකම ඇත්තේ ඒ ඒ කෝරළය තුළ පවතින ගම් සභාවල සභිකයන්ට ය. ජනාධිපතිවරණය සඳහා සහභාගී වන අපේක්‍ෂකයන් තෝරා ගැනීමට අදාළ ප්‍රාථමික මැතිවරණයේ ඡන්ද හිමිකම ඇත්තේ කෝරළ සභා සභිකයන්ට ය. රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය වෙනුවෙන් කෝරළයක් නියෝජනය කරමින් සහභාගී වන අපේක්‍ෂකයන් ගණන ද ජනාධිපතිවරණයට සහභාගී වන අපේක්‍ෂකයන් ගණන ද හය දෙනකුගේ උපරිමයකට සීමාකිරීමේ ක්‍රමවේදයක් ද ඒ තුළින් අපි යෝජනා කළෙමු.

ජනරජයේ පරමාධිපත්‍යය පුළුල්ව අර්ථ දැක්වෙන, ජනතාවගේ උපදේශන බලයට තැනක් ලැබෙන, ව්‍යවස්ථාදායකය සහ විධායකය පැහැදිළිව වෙන් කෙරෙන, එමෙන්ම ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත සහ පැහැදිළි නියෝජිත වැඩපිළිවෙළක් ඇතුළත් මෙම බෞද්ධ ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකා රාජ්‍යය තුළ අර්ථාන්විත වෙනසක් ඇති කළ හැකි බව අපි විශ්වාස කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *