COLUMN

“භික්ෂු පරිච්ඡේදය “

Summary

“කහකඩයො”,”හොරගණයො”,”කහ කුරුල්ලො”,”කහ කෝට් ව්‍යාපාරිකයො” සහ “ගල් සාදුලා” ගේ කතා වස්තුව
මේ ඔක්කොම මම උපුටා ගන්නේ මේ දවස්වල කතා බහට ලක් වන තැන්වලින් .මාත් කාලෙකට කලින් භික්ෂූන්වහන්සේ සහ සිල්මෑණිවරු සම්බන්ධයෙන් හිටියෙ මේ දැන් කියන මතයේ ම තමයි.ඒ අය ව මම ඉතා ම පිළිකුල් කළා .ඒකට හේතු සාධක බොහොමයක් තිබුණා .මට ඇකඩමික් ජීවිතේ තිත්ත කරන්නෙ චීවරධාරියෙක්.ඒ වගේ ම දවසක් මම මගේ පුතා ලැබෙන්න බඩත් උස්සගෙන පඩි පේළියක් අමාරුවෙන් නඟිනකොට ..මගේ ජීවිතේ මම අහපු කුප්ප ම කතාව කියන්නෙ චීවරධාරියෙක් .ඔන්න ඔය පෞද්ගලික කාරණා දෙක සහ පොදු සමාජයේ භික්ෂූන්වහන්සේ ගැන ඇහෙන කතන්දර නිසා මම ඉන්නෙත් අද බහුතරය ඉන්න තැන ම තමයි …

“කහකඩයො”,”හොරගණයො”,”කහ කුරුල්ලො”,”කහ කෝට් ව්‍යාපාරිකයො” සහ “ගල් සාදුලා” ගේ කතා වස්තුව
මේ ඔක්කොම මම උපුටා ගන්නේ මේ දවස්වල කතා බහට ලක් වන තැන්වලින් .මාත් කාලෙකට කලින් භික්ෂූන්වහන්සේ සහ සිල්මෑණිවරු සම්බන්ධයෙන් හිටියෙ මේ දැන් කියන මතයේ ම තමයි.ඒ අය ව මම ඉතා ම පිළිකුල් කළා .ඒකට හේතු සාධක බොහොමයක් තිබුණා .මට ඇකඩමික් ජීවිතේ තිත්ත කරන්නෙ චීවරධාරියෙක්.ඒ වගේ ම දවසක් මම මගේ පුතා ලැබෙන්න බඩත් උස්සගෙන පඩි පේළියක් අමාරුවෙන් නඟිනකොට ..මගේ ජීවිතේ මම අහපු කුප්ප ම කතාව කියන්නෙ චීවරධාරියෙක් .ඔන්න ඔය පෞද්ගලික කාරණා දෙක සහ පොදු සමාජයේ භික්ෂූන්වහන්සේ ගැන ඇහෙන කතන්දර නිසා මම ඉන්නෙත් අද බහුතරය ඉන්න තැන ම තමයි …
ඒත් ක්‍රමයෙන් අපේ සමාජමය වපසරිය පුළුල් වෙනකොට …අධ්‍යයන අවශ්‍යතා වෙනුවෙන් භික්ෂූන්වහන්සේ සහ සිල්මෑණිවරු ඇසුරු කරනකොට මට ඒ අයගෙ සමාජයේ ඇතුළාන්තයට එබෙන්න පුළුවන් වෙනව.ඒකත් නිවැරදි ම තැනට එන්නෙ ක්‍රමයෙන් වැඩී වර්ධනය වන කල්‍යාණමිත්‍රයන් නිසා.අපි තර්ක කරනව…වාද කරනව..අන්තිමට මම තේරුම් ගන්නව භික්ෂූන්වහන්සේ කියන්නෙ ශාසනයේ අවයව …ඒ අය තනි තනි ව වැරදි කළා කියල පිරිහෙන්නෙ තම තමන් මිස ශාසනය නො වන බව…..
මම සමහර දාට කොළඹ ප්‍රාචීන සම්මන්ත්‍රණවලට ගියා ම රෑට නවතින්නෙ සිල්මාතා ආරාමෙක.ඇත්තට ම ඒ අයත් මාත් එක්ක ම සම්මන්ත්‍රණයට ගිහින් මහන්සි වෙලා ආරාමෙට එන්නෙ.මම මහන්සියට මට දීපු කාමරේට ගිහින් වොෂ් එකක් දාගෙන හාන්සි වෙලා ඉන්නව.ගෙදරට කෝල් එකක් ගන්නව.ඒත්….එයාලට එහෙම බෑ.එයාල එනකල් දායකයො බලන් ඉන්නව.මහන්සි කියල රෙස්ට් කරන්න බෑ.බෝධිපූජා තියෙනවා .බණ තියෙනවා ,පිරිත් තියෙනවා.අස්පස් කරන්න තියෙනවා.බල්ලන්ට පූසන්ට කන්නත් දීල ඔය ඔක්කොම ඉවර කරල කාමරේට එනකොට බාගෙට මැරිල.ඒත් නිවනක් නෑ.ලොකු මෑණියො අසනීපෙන් නම් ඒව බලන්න ඕන.මම පොඩි මෑණියන්ගෙ යාළුවනෙ ඉතින් මාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න හරි කියල එනකොට පණ නෑ..කතා කරන ගමන් නින්ද යනව.දවල්ටත් හරියට කන්න වුණේ නෑ.සම්මන්ත්‍රණේ හින්ද.හෙට තියෙන පාඩම් වැඩ බලා ගන්නත් ඕන.ඔහොම වෙලා රෑ දෙගොඩහරියේ වෙනකල් නින්දක් නැතුව ඉඳල නිදා ගන්නවනෙ.ආපහු උදේ 4ට නැඟිටින්න ඕන.මට ඇත්තට ම පිස්සු වගේ මුල දී.මම නිදි විකාරෙන් ගිහින් බලන් ඉන්නව.මේ අය වරම ගත්ත වගේ අස් කරනව.හෝදනව..කට්ටියක් උයනව..අතුගානව..වතාවත් කරනව.ඒ අතරෙ දානයක් ගෙනත් නම් ඒ වැඩවලට යනව.ඔහොම වෙලා සම්මන්ත්‍රණේට යන්න එළියට බහින්නෙ දුවන ගමන්.ඒත් උදේට හරියට කන්න වෙලාවක් නෑ.ඔන්න බස් එකේ යන ගමන් තමයි මාත් එක්ක කතා කරන්නෙ….
උදේට පන්සලට දානෙ ගේන දායකයින්ට නම් මාර යි .අතුගාල පිරිසිදු කරල තියෙනව.පන්සල් සුවඳින් හිත පිරෙනව.වතාවත් කරල වැඳල පුදල ටිකක් ලොකු මෑණියො එක්ක කතා කර කර ඉන්නකොට පේනව… පොඩි මෑණියො පුදුම කලබලේ…ඇත්තට ම මොකද්ද ඔච්චර හදිස්සිය…කොහෙ යන්න ද ඔය දුවල වගේ යන්නෙ…ඔච්චර මොකද්ද…සමහර විට කොල්ලෙක් සෙට් වෙලා ද දන්නෙ නෑ…..යනගමන් යන්නෙ ආරාමෙ බල්ලටත් පයින් ගහගෙන……
ඕක ම නෙමෙයි ද පන්සලේ තත්ත්වෙත්…මේ පන්සලේ ඊට වඩා වැඩි යි.දාන,පාංශුකූල,බණ,පිරිත්,කඨින,සෙත් පිරිත්,බෝධිපූජා.ඔය ඔක්කොම අස්සෙ ඉඩක් තිබුණොත් තමයි තමන්ගෙ ඉගෙනීමක් කර ගන්න වෙන්නෙ.
අපේ ළමයින්ට එහෙම ද….අපි ඔක්කොම දේවල් සපයල දීල ආදරෙන් තුරුල් කරගන්නෙත් නැද්ද? මේ අයට අම්ම තාත්ත සහෝදරයො …නැතුව කොච්චර දුකක් ඇද්ද? ඒ අයට පුළුවන් ද ගිහින් අම්මට තුරුල් වෙන්න.මම මේ කතා කරන්නෙ අපේ රටේ තියෙන සාමාන්‍ය පන්සල්වල තත්ත්වය.අපි අපේ ළමයින්ට ඔක්කොම සැප දීල විභාගෙ පාස් වෙන්න බෝධි පූජාවකුත් තියන්න යනව නේ ද?අපි කවදාවත් පොඩි හාමුදුරුවන්ට බෝධිපූජාවක් තියන්න හිතුව ද? අපි ගිහින් හෙව්වෙ පොඩි හාමුදුරුවො විභාගෙ ෆේල් ද කියන එක විතර යි.අපි හෙව්වෙ රෑට කනව ද කියන එක විතර යි.කෙල්ලො එක්ක යාළු ද කියල විතර යි.
පොඩි හාමුදුරුවො ..පොඩි මෑණියො කියන්නෙත් චීවරය ඇතුළෙ ඉන්න කොල්ලෙක් ..කෙල්ලෙක් නේ ද? අපේ ළමයි දිහා බලන විදියට ඇයි අපිට ඒ අය දිහා බලන්න බැරි.මට අහන්න ලැබෙනව පහුගිය කාලෙ සිවුරු හැර යාමේ ප්‍රමාණය 400ක් විතර වෙනකොට මහණ වෙන ප්‍රමාණය 20ක් වගේ සංඛ්‍යාවක් තමයි වෙන්නෙ කියල.ඉස්සර කාලෙ වගේ දැන් මහණ වෙන ඔක්කොම මහණ වෙන්නෙ කන්න නැතුව නෙමෙයි.තමන්ගෙ ඕනකමට ..ආසාවට මහණ වෙන හාමුදුරුවො ඕන තරම් ඉන්නව.ඒ අය සිවුර අතෑරල දාල යන්නෙ ඇයි.සිල් මෑණියො සිවුර දාල යන්නෙ ඇයි.අපි හිතන්නෙ ඒ ඔක්කොම යන්නෙ ප්‍රේම සම්බන්ධ නිසා කියල ද? නෑ ප්‍රේම සම්බන්ධ නිසා යන ප්‍රමාණය 1%ක් වගේ තමයි.අනිත් ඔක්කොම යන්නෙ සිවුර එපා වෙලා.ප්‍රශ්න වෙලා.ඒක හරියට අපේ රටේ සියදිවි නසා ගැනීම් වැඩිපුර වෙන්නෙ ප්‍රේම සම්බන්ධතා නිසා කියල හිතනව වගේ.මේක විශාල ප්‍රශ්නයක්.මේ රටේ භික්ෂූන්වහන්සේට තමයි මේ ප්‍රශ්නෙ තියෙන්නෙ කියල මට හිතෙන්නෙ.මොකද සංස්කෘතික කාරණා එක්ක තමයි භික්ෂූන්වහන්සේ බැඳිල ඉන්නෙ.
හාමුදුරුවො මෙහෙම වෙන්න ඕන කියල අපි පනවල තියෙන සීමා ඇතුළෙ ඒ අය කූඩු වෙලා තියෙන්නෙ.අපි හොඳට ම දන්නවනෙ හිර වෙලා ඉන්න වුණොත් අපි වුණත් මොනව කරයි ද දන්නෙ නෑ කියල.
අනික භික්ෂූන්වහන්සේ කියන්නෙ උපසංස්කෘතියක අවයවයක් .මහා සමාජය අද තියෙන්නෙ කොතන ද? ඉස්කෝලෙ ළමයි ගණිකාවො හොයන් ගිහින් අහු වෙලා නැද්ද? මත්ද්‍රව්‍ය අරන් අහු වෙලා නැද්ද? මිනී මරාගෙන අහු වෙලා නැද්ද? මහා සමාජය කොච්චර දූෂිත ද? මහා සමාජය එහෙම වෙද්දි උපසංස්කෘතියක එහෙම දේවල් වෙන්නෙ නෑ කියල අපිට කියන්න පුළුවන් ද? අපිට නවත්තන්න පුළුවන් ද? මේ භික්ෂූන්වහන්සේ රහත් වෙලා ද?එතකොට ඒ වයසේ මහා සමාජයේ ඉන්න දරුවා ,තරුණයා දිහා බලන විදියට ද අපි භික්ෂූන්වහන්සේ දිහා බලන්නෙ?
අපි ඉස්කෝලවල උපදේශනය ගැන මාරෙට කතා කරනව… මිනිස්සුන්ට සවන් දෙන්නෙක් ඕන ය කියල ලොරි ටෝක් දෙනව.ඒත් ….අපි කොහෙද කතා කරන්නෙ තරුණ භික්ෂූන්වහන්සේට උපදේශනය අවශ්‍ය යි කියල .ඒ අයට ඇහුම්කන්දෙන්නන් අවශ්‍ය ය කියල.අපි ඒ අයට ඇඟිල්ල දික් කළා මිස ඒ අයට ඇහුම්කන්දෙන්න උත්සාහ කළා ද? අපේ ගෙදර අපේ තුරුල්ලෙ ඇහේ දාගෙන අතපත ගගා හදන දරුවත් නොමඟ යනකොට …මේ අම්මෙක් අප්පෙක් නැතුව ඉන්න දරුවන්ට ආදරේ කරන්නෙ කවුද කියල අපි හිතුව ද? අපේ ළමයි රෑට පාඩම් කරනකොට අපි තේ එකක් හදන් යනව…ආදරේ කරනව.පොඩ්ඩක් ඔළුව අතගාල එනව…..
එතකොට පන්සල්වල ඉන්න මේ දරුවො පාඩම් කරනකොට කවුද එහෙම කරන්නෙ.ඒ අයට මුළු ජීවිත කාලෙ ම ඇහෙන්නෙ චෝදනා විතර යි.ඒ අයට රෑට පාඩම් කරනකොට දවල් දවස මතක් වෙන්නෙ නැද්ද?ප්‍රශ්න මතක් වෙන්නෙ නැද්ද?කාට කියන්න ද එතකොට ඒවා.
අපි කියනව ගෑණු පිරිමි භේදයක් එපා කියල .ළමයි දෙගොල්ල ම එකට හැදෙන්න ඕන කියල.ගෑණු අයට පිරිමි යාළුවො ඉන්න පුළුවන් .ඒක සෙක්ස් නෙමෙයි ප්ලේටෝනික ප්‍රේමය කියල ලොරි ටෝක් ඉෂූ කරනව.කවි ..හෑලි ලියනව.ඒත්…භික්ෂූන්වහන්සේ කෙනෙක්ට සිල්මෑණි කෙනෙක් ගෑණු සහ පිරිමි යාළුවෙක් ඉන්න බැරි ද? ඇයි අපි ඒ අයට ඒ අවස්ථාව දෙන්නෙ නැතුව වැටවල් දාන්නෙ.එතකොට නෙමෙයි ද ඒ අයට ගෑණු පිරිමි අමුතු වෙන්නෙ…..? ඒ අයට ගෑණු ගැන තියෙන්නෙ අසහනයක් නම්…..ඒ අසහනේ මහා සමාජෙ නැද්ද? තාත්තල දූල දූෂණය කරන්නැද්ද?
ඒත්…භික්ෂූන්වහන්සේ කෙනෙක් ගෑණු ළමයෙක් එක්ක කතා කර කර හිටියොත් අපි කියන්නෙ මොනව ද?
පහුගිය කාලෙ එහෙම සිද්ධියක වීඩියෝවල අපේ කොල්ලො කියපුව මතක් වෙනව..”කිරි බොන්න ද ආවෙ?”එතකොට මහා සමාජෙ කෙල්ලෙක් කොල්ලෙක් කතා කර කර හිටියොත් අපි එහෙම අහනව ද?ඒ දෙන්න දුටු පමණින් අපිට සෙක්ස් සම්බන්ධ කාරණා මතක් වෙන්නෙ ඇයි? සහෝදරයො වෙන්න,යාළුවො වෙන්න බෑ ද? අපේ සෙක්ෂුවල් ඇරියස් ටික කොච්චර විශාල ද කියල හිතෙනවා.
අපි ලොරි ටෝක් දෙන්නෙ ගෑණු මිනිස්සු අතරෙ තියෙන්න පුළුවන් එක ම ජාතියෙ සම්බන්ධයක් විතරක් නෙමෙයි කියල.එතකොට භික්ෂූන්වහන්සේ අමනුස්සයො ද?
ඔන්න අපිට දැන් හිතෙනව උන්දල ඉන්නෙ නිවන් යන්න.උන්දල බණක් භාවනාවක් කරන් ඉන්නෝන කියල.ඇත්තට ම දැන් භික්ෂුසංස්කෘතිය දිශාගත වෙන්නෙ නිවනට ද? එහෙම නම් භික්ෂූන්වහන්සේ ඉගෙනගන්න අවශ්‍ය නෑ..බණ,දාන,පාංශුකූල,කඨින කිසි ම දේකට අවශ්‍ය නෑ.උන්වහන්සේ යන්න ඕන නිවන් මාර්ගෙ.බුද්ධ දේශනාවට අනුව ධර්මය බෙදා හරින්න පටන් ගන්නෙ රහත් වෙලා.අඩු ම තරමෙ සෝවාන් වෙලා.එතකොට අපි කරන්න ඕන මේ ඔක්කොම සංස්කෘතික දේවල්වලින් භික්ෂූන්වහන්සේ නිදහස් කරල යන්න ගිහින් අඩු ගාණෙ සෝවාන් වෙලා හරි එන්න කියන්න.ඒත්…අපි ඒක ද කරන්නෙ….අපි දාන දෙන්නෙ..පන්සල් හදන්නෙ වාහන පූජ කරන්නෙ පට්ට උත්සව තියන්නෙ හාමුදුරුවො සතුටු කරන්න ද?නෑ අපි සතුටු වෙන්න.අපි ම ගිහින් මහා විශාල සංස්කෘතික කාරණා ගොඩක් අස්සට භික්ෂූන්වහන්සේ දාල ඒකෙ ම නඩත්තු කරල භික්ෂුන්වහන්සේගෙන් නිවන් බලාපොරොත්තු වීම හරි ද?
මම මේ භික්ෂුව මාර හොඳ ය කියනව නෙමෙයි.මහා සමාජෙ යන අතට භික්ෂු උපසංස්කෘතියත් යනවා.ගෑණු තියන් ඉන්නවා.පවුල් නඩත්තු කරනවා කියන තැනින් පටන් අරන් ඔක්කොම වැරදි වැඩ වෙනවා….ඒත් ඒකට ඒ ඒ වැරදි කරන පුද්ගලයාට දඬුවම් කරනවා වෙනුවට.සමස්ත භික්ෂු සංහතිය කෙරෙහි ම අපි වෛරයකින් ඉන්නෙ ඇයි? තරු පහේපන්සල්වල වැරදි වෙනව නම් බස් එකට නඟින පොඩි හාමුදුරුවන්ගෙ බෙල්ලට පිහිය තියන්නෙ ඇයි?
මහා සමාජෙ තාත්ත කෙනෙක් දුවෙක් දූෂණය කරා කියල සමස්ත තාත්තල සංහතියට ම කෙළ ගහනවා ද?
හාමුදුරුවන්ට නිවන් පාරෙ යන්න නොදී අපේ සංස්කෘතිය අස්සෙ රිංගවගෙන දනෙ යි පාංශුකූලෙ යි බණ යි කඨිනෙ යි පිරිත යි ඔක්කොම කරගෙන …පොඩ්ඩ බැරි වෙනකොට උඹල නිවන් පලයල්ල …අපෙන් පිනට කකා ඉන්න හැත්ත ය කියන්නෙ ඇයි? අපි භික්ෂූන්වහන්සේ නඩත්තු කරන්නෙ අපේ ම වාසියට නෙමෙයි ද?
බස් එකක සීට් එක දෙන්නෙත් අකමැත්තෙන්…ඒත් භික්ෂූන්වහන්සේ කෙනෙක් හිටගෙන යනව නම් සීට් එපා කියල අපි කියන්නෙ…”කොල්ලො වෙන්න යනව,සීලයක් නෑ” කියල නෙමෙයි ද?අපි මූණ අමුතු කරන් දෙන සීට් එකේ වාඩි වෙලා තරුණ හාමුදුරු කෙනෙක් යන්නෙ කොච්චර අපහසුතාවෙන් ද? එතකොට භික්ෂූන්වහන්සේ වාඩි වෙලා ගියත් වැරදි යි හිටගෙන ගියත් වැරදි යි නේ ද?
අපි මහ කඳුවල වැරදි නිසා පුංචි වතුරපාරවල් විනාස කරල දැම්මොත් අන්තිමේට බොන්න වතුර පොදක් නැති වෙන්නෙ අපිට නේ ද?
තොටගමුවේ රාහුල හාමුදුරුවො කාන්තාවන්ගෙ පියයුරු හංසයන්ට උපමා කරපු එක අගේ කරල තැන්නෙ හාමුදුරුවො මග් එක හා හග් එක ගැන කියනකොට ඒකට ගල් ගහන්නෙ ඇයි? තැන්නෙ හාමුදුරුවො එතන තමන් හග් කළා කියල වත් රාහුල හාමුදුරුවො අතන තමන් පියයුරු අතගාල බලල ය මෙහෙම කිව්වෙ කියල අපි දන්නව ද?
මේ අපි ඔක්කොම බෝසත් ද?
ඒ අයට ඇහුම්කන්දෙන්නෙ කවුද?මේ අමාරුවෙන් අල්ලගෙන ඉන්න ටික දෙනත් මේක අතෑරපු දවසට අපේ ළමය ලෙඩ වුණා ම හිස ගිනි ගත්ත වගේ බෝධි පූජාවක් තියන්න කියල ගිහින් කියන්නෙ කාට ද……?මේ කියන මාත් ඔබේ කඳවුරේ ම තමයි …එන්න අපි ඔක්කොම එකතු වෙලා ගල් ගහමු.
රන්සි විමලරත්න

Leave a Reply

Your email address will not be published.